පෝද්දල සරත් ආනන්ද ගමගේ
උත්සව ශාලාවක් හිමි කාන්තාවකගේ කතා බහට හා ඇඳුමට වශීවූ සුබසාධක සමිතියක නිලධාරීන් දෙදෙනකු නිසා පවත්වන ලද ලොතරැයි දිනුම් ඇදීමෙන් ලද මුදල්ද එම සමිතියට අහිමිවී ගිය පුවතක් ගැන දකුණු පළාතේ අග නගරය ආසන්න නගරයකින් පසුගියදා වාර්තා විය.
මෙම සමිතියේ සියලු සාමාජිකයෝ අවුරුදු හැට ඉක්මවූවෝ වෙති. ඔවුන්ගේ සමිතියේ දෙවැනි සංවත්සර මහ සභාව හා සමිතියට ආධාර පිණිස මිතුරන් අතරේ අලෙවි කළ ලොතරැයි පත්වල දිනුම් ඇදීමේ උත්සවය පැවැත්වීම තීරණය කිරීමට එහි කාරක සහාව රැස්විය.
එහිදී උප සභාපති විසින් තමාගේ හිතවතකුගේ විලා එකක් ඇතැයි කියමින් මෙවර උත්සවය එහි පැවැත්වීමට යෝජනා කළේය. පසුව සමිතියේ කිහිප දෙනකු එම ස්ථානය පරීක්ෂාවටද ගොස් ඇත. කාලයක් පවත්වාගෙන ගොස් ඇති එම ස්ථානය ඔවුන් නැරඹීමට යනවිට ප්‍රතිසංස්කරණය කරමින් තිබී ඇත. සංවත්සර උත්සවය පැවැත්වීමට පෙර එහි කටයුතු නිමකර දීමට එහි හිමිකරු පොරොන්දුවීම නිසා උත්සවය එම ස්ථානයේ පැවැත්වීමට තීරණය විය.
ස්ථානය යෝජනා කළ උප සභාපතිවරයා දිනක් හදිසියේම අනිත් නිලධාරීන්ට දුරකතනයෙන් කතාකොට දනුම්දී ඇත්තේ, මෙයට පෙර වසරේ සංවත්සරය පැවැත්වූ උත්සව ශාලාවේ හිමිකාරිය ඔහුට හමුවූ බවත්, ඇය ගිය වසරේ ගත් මුදලටත් වඩා අඩු මුදලකට වැඩේ කරදීමට කැමතිවූ බවය. උප සභාපති පසුදාම භාණ්ඩාගාරික සමග එහි ගොස් අත්තිකාරම් මුදල් ලබාදීමට එකඟවී ඇත.
සමිතියේ ලේකම්වරයා හා තවත් කාරක සභිකයන් කීපදෙනකු මෙයට විරුද්ධ වී ඇති අතර, ඔවුන් මුදල් අඩු විකල්ප ස්ථානයක්ද යෝජනා කර ඇත. ඒත් උප සභාපති හා භාණ්ඩාගාරික ‘‘අපි ඒ මිස්ට ඇඩ්වාන්ස් දෙන්නත් පොරොන්දු වුණා” යැයි කියමින් අනිවාර්යයෙන්ම එම ස්ථානයේ උත්සවය පවත්වමු යැයි තරයේ පවසා ඇත. ඒ අනුව එම සංවත්සර උත්සවය පවත්වා ඇත්තේ එම කාන්තාවගේ හෝටල් පරිශ්‍රයේදීය.
මුලින් සංවත්සර මහ සභාව පවත්වා පසුව ලොතරැයි දිනුම් ඇදීමද ඉන් අනතුරුව සාදයද පවත්වා ඇත.
අවසානයේ මුදල් ගෙවීමේදී නාන තටාකයටත්, අමතර ගත් ආහාර වලටත්, සේවා ගාස්තුත් ඇතුළත් කරන ලද රුපියල් 15000 ක පමණ අමතර මුදලක්ද ගෙවීමට ඔවුන්ට සිදුවී ඇත. අවසානයේ ලොතරැයි දිනුම් ඇදීමෙන් ලද මුදල්ද එකතුකර බිල ගෙවා ඇති ඔවුන්, හිස් අතින්ම පිටව ගොස් ඇත. සප්පායම් වෙලා සිටි සාමාජිකයෝ කීප දෙනකු ‘‘අර ගෑනිගෙ කතාවටයි, කොට කලිසමටයි බොලා දෙන්නා හසු වුණා’’ යැයි ඔවුන් දෙදෙනාට චෝදනා කර ඇත.
සිද්ධියට මුල්වූ උප සභාපති හා භාණ්ඩාගාරික මේ වනවිට සාමාජිකයන්ගේ දුරකතන ඇමතුම්වලටද පිළිතුරු නොදෙන බවද, සමිතියේ කටයුතුද එතැන් පටන් ඇනහිට ඇතැයිද වාර්තා වේ.

