හෝමාගම ප්‍රියන්ත ජයලත්
ජල සැපයුම් විසන්ධි කරන සේවකයාගේ ලිපිනයට අයත් නිවෙස මාරුවී වෙනත් නිවසක ජල සැපයුම විසන්ධි කිරීමේ පුවතක් නුගේගොඩ ඇඹුල්දෙණිය බෝධිය පාර ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
සිද්ධිය වූ දින නිවසේ හිමිකරුවන් නිවෙසින් බැහැරව ගොස් සිට ඇත. එදින සවස නැවත නිවෙසට පැමිණ සුපුරුදු පරිදි ජලය පරිහරණය කරමින් නිවසේ වැඩ කටයුතු කරගෙන ගොස් තිබේ.
ඊට පසුදින නැවත සුපුරුදු පරිදි නිවසේ කෑම සකස් කරමින් සිටිය දී ටිකෙන් ටික ජල සැපයුම අඩාළ වී ගොස් ජල සැපයුම හිටි හැටියේ සම්පූර්ණයෙන්ම නැවතී ඇත. පසුව නිවසේ හිමිකරු විසින් ජල ටැංකිය පරීක්ෂා කිරීමේ දී එහි ජලය නැති බව පෙනී ගියේය. අනතුරුව ඔහු එසේ වීමට හේතුව කුමක්දැයි විපරම් කරමින් ජල මීටරය තිබෙන ස්ථානයට ගොස් ඇත. එහිදී ඔහුට ජල සැපයුම විසන්ධි කර ඇති බව දැකගන්නට ලැබිණ.
ඔහු එසේ වීමට හේතුවක් නොමැති බව සිතමින් ජල සම්පාදනයේ සේවකයන් විසින් ජලය විසන්ධි කර ඇති බවට එහි තබා ගොස් තිබූ දැන්වීම අතට ගෙන කියවා ඇත. එම අවස්ථාවේ ඔහුට දෙවියන් සිහි විය.
එම ජල බිල් පතේ ලිපිනය වෙනත් නිවෙසකට අයත් ලිපිනයක් බවත් ජල සම්පාදනයේ සේවකයන්ට වැරදීමකින් මෙය සිදු වී ඇති බවත් එම අවස්ථාවේ ඔහුට වැටහිණ.
ඔහු ඒ පිළිබඳව වහාම ජල සම්පාදන මධ්‍යස්ථානයට දැනුම් දී ඇත. අනතුරුව එහි සේවකයෝ නැවත පැමිණ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ලිපිනයට අයත් නිවෙස සොයා එම නිවසේ ජල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කළහ.