මාවරල පී.එස්. මද්දුමගේ.
ඔහු රජයේ කාර්‍ය්‍යාලයක ප්‍රධාන ලිපිකරු තනතුරක සේවය කළ අයෙකි. තමන් පදිංචි ගමෙන් තරමක දුර බැහැර පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්‍යාලයක සේවය කිරීමට සිදු වීම නිසා, ඔහු කාර්‍ය්‍යාලයට ආසන්න ගමක, තම ආච්චිගේ නිවෙසෙහි නේවාසිකව රාජකාරියට පැමිණීමට පියවර ගත්තේය.
නාඹර තරුණ විය පසු කරමින් සිටියත්, තරබාරු තරුණයකු වූ ඔහු දිනක් පපුවේ අමාරුවක් සෑදී ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු ළඟට ගියේය. මෙහිදී වෛද්‍යවරයා උපදෙස් දී ඇත්තේ ශරීරයේ ස්ථූල බව අඩු කර ගැනීමට ශාරීරික ව්‍යායාම වල යෙදෙන ලෙස ය.
ගම්බද ප්‍රදේශයක ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් නොවූ නිසා නිවෙසේ සිට ව්‍යායාම කිරීමට උපකරණ කට්ටලයක් ගෙන ඒමට අදහස් කළේය. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් තමා ළඟ නොමැති වීම ගැන සිතා කාර්‍ය්‍යාලයේ හිතවතුන් සමග තම අවශ්‍යතාව ගැන කතා කළේය. එවිට, එක් හිතවතෙක් තමා ළඟ බර ඉසිලීමේ යකඩ රෝද සහිත අඩු බර පන්තියේ උපකරණයක් ඇති බව කියා , එය ගෙවීමේ ක්‍රමයට ලබා දිය හැකි බව පැවැසීය.
නොසිතූ භාග්‍යයක්යයි සිතූ තරුණයා, එය හිමි කරුට රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් ගෙවා, තමන් සිටින ආච්චි අම්මාගේ නිවෙසට ගෙන ගොස් වෙනම මඩුවක් තනා එහි තබාගෙන දිනකට පැයක පමණ කාලයක් බර ඉසිලීමේ ව්‍යායාමයෙහි නිරත වීමට පුරුදුව සිටියේය.
කාලය මෙසේ ගෙවී යන අතර තුර දිනක්, මොහු රාජකාරියට ගොස් සිටියදී එම නිවෙසට පැමිණි පරණ යකඩ බඩු එකතු කරන්නෙක් ආච්චි ඇමැතුවේය.”
අම්මේ පරණ යකඩවලට ඉහළ මිලක් දෙනවා. කැඩිච්ච යකඩ බඩු, බත්හාල්, පොල්කටු ආදිය ගන්නවා යැයි කීය.
ආච්චි, පරණ බඩු වෙළෙන්දාට කතාකර පොල් කටු සහ හිස් බෝතල ටිකක් දී මුදල් ලබා ගත්තාය.
වෙළෙන්දා නිවෙසේ වටපිටාවේ සෝදිසිකර බලා, “අම්මේ අර යකඩ රෝද දෙක පරණ යකඩවලට දෙනවාදැයි,,? ඇසීය. “යකඩ බරට මුදල් දෙනවා. මේ ටිකට රුපියල් දාහක් දෙන්න පුළුවන්, යයිද වෙළෙන්දා වැඩි දුරටත් පැවැසීය.
රුපියල් දාහක් යනු ලොකු ගණනක් බව සිතූ ආච්චි “එහෙනම් පුතේ අරගන්න’’ කියා මුණුපුරාගේ ව්‍යායාම කට්ටලය ද විකුණා දැමුවාය.
සවස වැඩ ඇරී නිවෙසට පැමිණි තරුණයා ව්‍යායාම කිරීමට “බර ඉසිලීමේ උපකරණය, නොමැති බව, දැක ආච්චි අම්මාගෙන් ඒ ගැන විමසූ විට සිදු වුණ දේ ආච්චි අම්මා පැවැසුවේ රුපියල් දාහක මුදල ද ඔහු අත තබමිනි.
සිදුවූ ඇබැද්දිය තේරුම් ගත් ඔහු ලාබයටත් ලේසියටත් තමන්ගේ කෙනකු ළඟ නතර වීමෙන් වූ අනර්ථය ගැන සිතා නිහඩ වීයේ දාහේ නෝට්ටුවද ආච්චිටම තබාගන්නා ලෙස දන්වමිනි.