ආච්චි වෙනුවෙන් කතාවට ගිය මිනිපිරිය පොලිස් කූඩුවේ


(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිත්තණියගේ වැඩිහිටි දීමනාව ලබාදීම ප්‍රමාද කළැයි ග්‍රාම නිලධාරිනියකට පරුෂ වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කළ බව කියන මිනිපිරියක පෙරේදා (6) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.


මීරිගම හල්පේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමකි. වැඩිහිටි දීමනාව ගෙවීම සිදුවුණේ අදියර කිහිපයක් යටතේය. පළමු හා දෙවැනි අදියර අවසන්ය. ග්‍රාම නිලධාරිනිය තෙවැනි අදියර යටතේ වැඩිහිටි දීමනාව ගෙවීමට පෙරේදා 6 වැනිදා සවස නිවෙසකට ගියාය. වැඩිහිටි මව මුදල ලබාගැනීමට ඉදිරියට එද්දී ගමේ අනෙක් අයට කලින් මිත්තනියගේ මුදල් ගෙනවිත් නොදුන් බව කියමින් ඇගේ මිනිපිරිය ග්‍රාම නිලධාරිනියට දොස් කියන්නට වූවාය.


ඇගේ දොස් පරොස් කීමට පරුෂ වචන ද එක්වූයේ මේ අතරය. මිත්තනියට පළමු අදියරේදී මුදල් නොගෙව්වැයි ඇගේ චෝදනාව විය. එහෙත් පිළිවෙළක් මත මේ කටයුතු කරන බව පිළිගැනීමට මිනිපිරිය අකමැතිවූවාය.


අන්තිමේ ග්‍රාම නිලධාරිනියට තීරණයක් ගැනීමට සිදුවිය. ඒ අනුව තමන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල පොලිසියේ සටහන් විය.


අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර මිනිපිරිය අත්අඩංගුවට ගත්තේය. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.