අවුරුදු උළෙලේ මඬේ දිව්වාට තෑග්ග සබන් කෑල්ලක්


අවුරුදු උත්සවයකදී මඬේ දිවීමේ තරගයකදී සංවිධායක මණ්ඩලයට උදව් කිරීමට ආ අයට ගෙනා සබන් කෑල්ලක් වැරදීමකින් ජයග්‍රාහකයාට ලබා දී වූ ජංජාලයක් සබරගමු පළාතේ අවුරුදු උත්සවයකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය.

මෙම අවුරුදු උත්සවයේ විවිධ අවුරුදු ක්‍රීඩාවලට අමතරව මඬේ දිවීමේ තරගයක් ද සංවිධානය කර තිබිණි. මඬේ දිවීමේ තරගය සඳහා වටිනා ත්‍යාග ලබාදෙන බවට ද දැනුම් දී තිබිණි. මඬේ දිවීමේ තරගය ඇතුළු සෑම තරගයකටම එවෙලේම තෑගි ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබුණු අතර මඬේ දිවීමේ තරගයේ ජයග්‍රාහකයින් තිදෙනාට ද තරග අවසානයේ ත්‍යාග ලබාදුන්නේය. කෙසේ වෙතත් මෙම තරගයේ ජය ලබා තිබුණේ ගමේ චණ්ඩියෙකි.

පාර්සලය පොඩි වුවත් වටිනා දෙයක් ඇති බව සිතා ඔහු නිවෙසට ගොස් ඇත්තේ පිරිසුදු වී නැවත පැමිධෑමටය. පාර්සලය ලිහා බැලූ ඔහුට දෙවියන් සිහිවිය. එහි ඇත්තේ බේබි සබන් කැටයකි. වහා අවුරුදු උත්සවයට පැමිණි ඔහු “ආ මල්ලිලා මාව ජෝක් එකට ගත්ත ද” යැයි ඇසුවේ සරම කැහැපට ගසා ගනිමිනි. “මොකද අයියේ වෙලා තියෙන්නේ” යැයි සංවිධායක මණ්ඩලයේ පුද්ගලයකු ඇසූ විට ඔහු බේබි සබන් කැටය පෙන්වා ඇත. “අනේ සොරි අයියා වැරදීමක්, අපි ඕක ගෙනාවේ උත්සවයට උදව් කළ පොඩි ළමයින්ට දෙන්න” මෙන්න ඔයාගේ තෑග්ග මේක වටිනා අත් ඔරලෝසුවක් පාර්සල් දෙකම පොඩි නිසා කලබලයට පැටළුණා. ප්‍රශ්නය නිරාකරණය විය.

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)