අවුරුද්දට ගෙදර යන්න හැදූ සේවකයා වැඩට තියාගත්ත ලොක්කා 1500 ක පගාවක් දීලා


ඔහු අවුරුදු පහක සේවා කාලය ඇති පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකි. පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන්ට බෝනස් ගෙවීමක් සිදු නොවන අතර දිනක් ඔහුගේ නෙත ගැටුණු ප්‍රවෘත්තියකි.


“බෝනස් මුදල ලක්‍ෂ එකහමාරක් කරන්නැයි ඉල්ලා වරාය සේවකයින් සටනක” එහි සඳහන් විය. සේවයට පැමිණිදා සිට ආරක්‍ෂක නිලධාරියා සිංහල අවුරුද්දට ගමේගොස් තිබුණේ නැත. මව්පියන් බිරිඳ ඇතුළු දරුවන් අවුරුද්ද සැමරුවේ ඔහු නොමැතිවය.


සංචාරක නිලධාරියා හමුවුණු ඔහු “සර් මම වැඩට ඇවිල්ලා අවුරුදු පහයි. එක අවුරුද්දකවත් බෝනස් ලැබිලා නැහැ.” යනුවෙන් පැවසීය. “කවුද සෙකියුරිටි සර්විස්වලට බෝනස් දෙන්නේ” සංචාරක  නිලධාරියා  විමසීය. “ඒ වුණාට වෙන ආයතනවල බෝනස් දෙන්නේ රුපියල් පනස් දහස් ගණන්. ඒකත් මදිලු” ආරක්‍ෂක නිලධාරියා ප්‍රවෘත්තිය පෙන්වීය. “ඒවා ලාභ ලබන ආයතන” සංචාරක නිලධාරියාගේ පිළිතුර විය.


“සර් අපේ ආයතනත් ලාභ ලබනවානේ. සේවකයෙකුට අඩු ගානේ අවුරුද්දට රුපියල් එක්දහස් පන්සීයක් දෙන්න බැරිදැයි” ආරක්‍ෂක නිලධාරියා පැනයක් නැඟීය. 


“මේක මගේ සර්විස් එකක් නෙවෙයිනේ” සංචාරක නිලධාරියා කීය. “සර් රුපියල් එක්දාස් පන්සීයක් නැත්නම් මම අවුරුද්දට ගමේ යනවා” ආරක්‍ෂක  නිලධාරියා පැවසීය.


සංචාරක නිලධාරියා බියට පත්වූයේ ආරක්ෂක නිලධාරියා නිවාඩු ගියොත් සිංහල අවුරුද්දට ඔහු වෙනුවෙන් යෙදවීමට වෙනත් අයෙක් සොයාගත නොහැකි හෙයිනි. තම දරුවාට බෙහෙත් ගැනීමටගෙනා රුපියල් එක්දාස් පන්සීය අතට ගත් සංචාරක නිලධාරියා. “මේ එක්දාස් පන්සීය මගෙන් බෝනස් එකක් කාටවත් කියන්න එපා හරිද” යනුවෙන් පවසා පිටව ගියේය. 


ප්‍රදීප් සර් පුදුම කෙනෙක් ආරක්‍ෂක නිලධාරියා තමාටම පැවසීය.                      

 (ක්‍රිස්ටෝපර් සිපියන්)