අලූත් පෙම්වතිය ව්‍යාපාරික තරුණයාගේ කනෙන් රිංගලා


රජරට පැත්තේය. ඔහු තරුණ ව්‍යාපාරිකයෙකි. අවිවාහකය. මිල මුදල් අඩුපාඩුවක් ඔහුට නැත. අඩුවකට ඇත්තේ කර කාර බැඳ ගැනීමට යුවතියකි. මගතොට යන එන අවස්ථාවක මේ තරුණ ව්‍යාපාරිකයාට නගරයේ දී තරුණියක මුණ ගැසිණි. පැහැපත් පෙනුමැති ව්‍යාපාරිකයා දෙස ඇය පෙම් බැල්මක් හෙළුවාය. මඳ සිනහවක් පෑවාය. ව්‍යාපාරික තරුණයා ද ඇය කෙරෙහි සිත් බැඳ ගත්තේය. ඇයට යෝජනාවක් කළේය. තරුණිය ඊට කැමැත්ත පළ කළාය. දෙදෙනාම නගරයේ ලැඟුම්හලකට ගියහ. සතුටු සාමීචියේ යෙදීමෙන් පසුව ව්‍යාපාරික තරුණයා තම සිතැඟි ඉටුකරගත්තේය. ඔහු තරුණියට මුදලින්ද සංග‍්‍රහ කළේය. කල්යත්ම මේ දෙදෙනා පෙම් යුවළකසේ පසු වූහ. නිතර නිතර හමුවීමෙන් දෙදෙනා අතර අන්‍යොන්‍ය බැඳීමක් ඇතිවිය. තරුණ ව්‍යාපාරිකයාගේ සෑම දෙයක්ම තරුණිය පරිහරණය කළාය. ඔහුගේ බැංකු ගිණුම්, ”ටේලර්” කාඞ්පත ද ඇයගේ පරිහරණයට පත්විය. තරුණියගේ ඇඟෑලූම්කම නිසා ව්‍යාපාරික තරුණයා ඇය ගැන සැක කළේ නැත. මේ තරුණයා එක් දිනක් බැංකුවට ගොස් ටේලර් කාඞ්පතින් අවශ්‍යතාවකට මුදල් ගත්තේය. ඔහු අතට පත්වූ ගිණුම් ශේෂ පත‍්‍රය දෙස බැලීය. පුදුමයකි. ඇස් අදහාගත නොහැක. ගිණුමේ රුපියල් 60,000ක අඩුවීමක් ඔහුට පෙනුණේය. ඔහු තම ”පෙම්වතිය” හමුවට ගියේය. ”ටේලර් කාඞ්පතින් මුදල් ගත්තා නේද?” ”අනේ ඔව්, මට ඔයාට කියන්න බැරි වුණා. හදිසියකට මං රුපියල් 5000ක් ගත්තා.” යැයි ඇඟට නොදැනී ඇය කීවාය. ”පන්දාහ? පන්දාහ නෙවෙයි හැට දාහක් අරගෙන... මට බොරු කියන්න එපා.” තරුණයා තරහෙන් කීවේ ය. ”අනේ නැහැ ... අනේ මං එච්චර ගත්තෙ නැහැ ..” යැයි තරුණිය යළිත් කීවාය. ”හරි බලා ගනිමු. ගත්ත නොගත්ත හැටි?” යැයි කියමින් ව්‍යාපාරික තරුණයා පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය. පැමිණිල්ල විභාග කළ පොලිසිය සැබෑ තතු තරුණියගෙන් හෙළිකර ගත්තේය. තමා ගත්  මුදලෙන් 30,000ක් තරුණයාට ආපසු දීමට ඇය පොරොන්දු වූවාය. පසුව අනාවරණය වූයේ තරුණයන් සමග මිතුරුවී ඔවුන් අමාරුවේ දමන ඇය ”කෛරාටික” පෙම්වතියක් බවයි.