අලුතෙන් ආ සිසුන්ගෙන් ගුරුතුමියට දිව උලුක් වන දඬුවමක්


(වියලුව වාර්තාකරු) 
නව වසරේ තම පන්ති කාමරයට ඇතුළත් කළ පළමු ශ්‍රේණිය දරුවන්ගේ දිව උලුක් වෙන නාම ලේඛනය දැක එහි පිටපතක් නිවෙසට රැගෙන ගොස් කට පාඩම් කළ ප්‍රාථමික ගුරුවරියක පිළිබඳ පුවතකි.


සිද්ධිය මෙසේය.


අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි ප්‍රාථමික විද්‍යාලයකි.  


නව වසරේ පළමු ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුළත් කර ගැනීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු වූ අතර පන්තිය බාර කෙරුණේ පාසලට අලුතින් පත්ව පැමිණි නවක ගුරුවරියකටය.


තම පන්තියේ දරු දැරියන්ගේ නාම ලේඛනය දුටු ඇය අත් දෙක හිසේ ගසා ගත්තේ එහි ඇති දිව උලුක් වෙන නම් කියවන්නේ කෙසේදැයි තම සහෝදර ගුරුවරියන්ගෙන්ද විමසමිනි.


අල්පප්‍රාණ, මහප්‍රාණවලින් පමණක් නොව කිසි දිනෙක අසා  නැති වචනවලින් යුත් දරුවන්ගේ නම්, හත් අට වරක් කියෙව්වද ඒවායින් බොහොමයක් මතකයේ තබා ගැනීම ද අසීරු කරුණක් විය. ඇය ඒවා උච්චාරණය කළේද ඉතා අපහසුවෙන් වූ අතර නම් තැබූ ඇතැම් මවුපියන්ද එම නම් උච්චාරණය කරන්නට යාමේදී දැඩි අපහසුතාවකට පත්වන බව ඇයට දැකගන්නට ලැබිණි.


කොතෙක් උත්සාහ කළද එය වදයක් වූ තැන ඇය ඊට අපූරු උපායක් කල්පනා කළාය. නාමලේඛනය කඩදාසියක පිටපත් කරගත් ඇය එය සිය නිවසේ මුළුතැන්ගෙයි අලවා යන එන, උයන පිහින වේලාවේ දී එය කටපාඩම් කරන්නට පටන් ගත්තේ එම උපාය ක්‍රියාවට නංවමිනි. ගුරුවරයකු වූ සැමියාට ද එය අපූරු අත්දැකීම් මෙන්ම මහත් කන්දොස්කිරියාවක් ද විය.


බැරිම තැන සැමියා ද බිරියට හවුල්වෙමින් නම් ටික පාඩම් කරන්නට උදව් කළේ කන්දොස්කිරියාව ඉක්මනින්ම අහවර කරගන්නටය.


  දින කීපයකට පසුව සියලු_ නම් නිවැරදිව උච්චාරණය කර ගන්නට සමත් වූ ඇය නිවෙසින් පිටවූයේ මට දැන් සකස්කඬේ වුණත් කියවන්න පුළුවන් යැයි සිය සැමියාට විහිළුවක්ද කරමිනි.