මවට සමාන වචනයක් කී දරුවකු නිසා මුළු දහම් පාසලක්ම සිනා ගැස්සූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.
එය ඉරිදා දිනයකි. ගමේ විහාරස්ථානයේ පවත්වාගෙන ගිය දහම් පාසල දහම් දරු දැරියෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මේ දහම් පාසලේ තුන වසරේ පන්තිය පවත්වාගෙන ගියේ උසස් පෙළ හදාරා රැකියා විරහිත තරුණියක්.
එදා තුන වසරේ පන්තියේ පාඩම මවුපියන්ට වන්දනා කිරීමය. මේ තරුණිය මවුපියන් යනු කවරේදැයි පන්තියේ සිසු සිසුවියන්ට කියා දුන්නාය. ඉන් අනතුරුව ඇය අම්මාගේ ගුණ වර්ණා කිරීමට පටන් ගත්තාය. ඒ අතරේදී තරුණිය අම්මාට කියන සමාන පද මොනවාදැයි දරුවන්ගෙන් ඇසුවාය. දරුවෝ කිහිපදෙනෙක් අත ඔසවාගෙන ඒ සඳහා උත්තර දීමට පොරකෑහ. එක් අයෙක් අම්මාට ජනනී කීවේය. තවත් සිසුවෙක් ගෙදර බුදුන් යයි කීය. මාතා, මෙන්ම මව කී අය ද මේ අතර සිටියහ.
මේ සිසුන් අතර සිටි සිසුවෙක් ඕවාට වඩා අම්මාට කියන සමාන වචනයක් මම දන්නවා යයි කියමින් තමන් දන්නා උත්තරය කීමට අත ඔසවාගෙන අත කඩාගන්න හැදුවේය. හා හොඳයි ඔයා කියන්නකෝ බලන්න අනෙක් අයට වඩා වෙනස් අම්මාට කියන සමාන වචනය යයි තරුණිය කීවාය. ඒ සැණින් පන්තියෙන් නැගිටගත් සිසුවා අම්මාට කියන සමාන වචනය ඕයි යයි කීවේ මුළු පන්තියම දෙවනත් වන ලෙසය. පන්තියේ උගන්වන තරුණියගේ ඇස් උඩ ගියාය. පන්තියේ අනෙක් ළමයින්ගේ ඔල්වරසන් හඬ හා හූ හඬ මුළු දහම් පාසල පුරාම පැතිර ගියහ. මේ කලබෑගෑනිය මොකක් දැයි බැලීමට එම පන්තියට දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියෝ ද පැමිණියහ. උන්වහන්සේට ද පන්තියේ උගන්වන තරුණිය මේ අනිසි කෑ ගැසීමට හේතුව කීවාය.
ප්‍රධානාචාර්ය හිමියන් දරුවා නැගිට්ටුවා ඇයි පුතා අම්මාට කියන සමාන වචනය “ඕයි” වෙන්නේ කියා කරුණාවෙන් ඇසූහ. ඒ සමඟම අයෙත් මුඛරි වූ මේ ශිෂ්‍යා හාමුදුරුවනේ අපේ තාත්තා හැම වෙලේම අපේ අම්මට කතා කරන්නේ ඕයි, ඕයි කියලානේ යයි කීය.
(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)

