අපූරු නෑවිල්ලෙන් අමාරුවේ වැටිලා



කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



නිවසේ ඇති කරන ලද ගිරවා අපූරුවට නෑව්ව අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
හේ වර්ෂාවකටවත් පාසල් නොගිය අයෙකි. මේ නිසාම සමාජය පිළිබඳව තිබුණ දැනුම නොතිබුණු තරම්ය. ඔහු නිවසේ සුරතලයට ගිරවකු ඇති කළේය. ඒ කූඩුවක බහාය. කැව්වේය, පෙව්වේය, හොඳින් රැක බලා ගත්තේය.


මේ නිසාම ගිරවා ලොකු වූයේ බලා සිටියදීමය. ගිරවා ලොකු මහත් වන්න වන්න ඌ වසුරු දැමීමද ඊට සමගාමීව වැඩි විය. කාලයක් යත්ම ඔහුට මෙය ඉමහත් කරදරයක් වී තිබුණේය. කූඩුව සෝදන විටදී ගිරවා අල්ලා වෙන පෙට්ටියක දැමිය යුතුය. මේ සඳහා ඔහු කෙටි ක්‍රමයක් කල්පනා කළේය. ටිකිරි මොළයට හොඳ අදහසක් ආවේය. එය ක්‍රියාත්මක කිරීමට සිය නිවස ආසන්නයේ ගලා ගිය ගඟද ප්‍රයෝජනයට ගැනීමට සිතුවේය.
 එදා ඔහු ගිරා කූඩුව සේදීමට ගඟ ළඟට ගෙන ගියේ ගිරවාත් එක්කමය. ඒ එක්කම ඔහු ගිරා කූඩුව සේදීමට ගඟේ දැම්මේ ගිරවාත් එක්කමය. විනාඩියකින් දෙකකින් ගිරා කූඩුව ගඟෙන් එළියට ගත්තේය. එවිට ගිරවාට සිදුවූ දේ සිදුවී හමාරය. ඔහු ගිරා කූඩුව සේදීමට යෙදූ අලු‍ත්ම උපක්‍රමය ගැන මුළු ගමේම පැතිර ගියේ හිමින් නෙමේලු‍.