බැංකු කාඩ් පතේ රහස් අංකය අනියම් සැමියාට දී රටින් ලැබුණු රට මුදල් රාක්ෂයකුට පූජා කළ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
කත මෙරටය. සැමියා පිටරටය. එවනුයේ ඩොලර්ය. ඒ ඇගේ බැංකු ගිණුමටය. එවන ඩොලර් ප්‍රමාණය අනුව පරිවර්තන වන රුපියල් ගණන ද ඉතා අධිකය. බැංකුවේ පෝලිමේ නොසිට ද ඇයට තමා එවන මුදල් ගැනීමට කාඩ් පතක් සාදා දුන්නේ ද සැමියා රට යාමට කලින්ය.
සැමියා එවන රට මුදල් ගැනීමට ඇය වරින් වර බැංකුවට ගියාය. ඒ ත්‍රිරෝද රථයකිනි. ත්‍රිරෝද රථ රියදුරා කොලු ගැටයෙකි. ඇහැට කනට පේන පොත්ත රතු හාදයෙකි. ඇයට මේ හාදයා පිළිබඳව සිතක් පහළ විය. ගැටයා ඊට එක පයින්මය. ඒ හේතු දෙකක් නිසාය. එකක් නොමිලයේ ලබා ගත හැකිවීමය. අනෙක අතට මිටට රට සල්ලි ටිකක් ලබා ගැනීමට හැකිවීමය.
දෙන්නා දැන් ඉදිකට්ටයි නූලයි මෙන්ය. දැන් සැමියා එවන රට සල්ලි ගැනීමට ඇය බැංකුවට නොගියාය. කාඩ් පතේ රහස් අංකය දී බැංකුවට යැවූවේ ත්‍රිරෝද රථ රියදුරු ගැටයාය. ඒ අනුව සියතටම මුදල් ටික ලැබුණි. ත්‍රිරෝද රථ රියදුරු ගැටයාට ඒ සඳහා ගෙව්වේ නියම ගාස්තුවට වඩා හතර පස් ගුණයකින් වැඩි මුදලකි.
සැමියා තමා එවූ මුදලින් සිය පියාගේ හෘද සැත්කමට මුදල් බැංකුවෙන් අරන් දීමට ඇයට උපදෙස් දුන්නේය. සැමියාගේ ඒ උපදෙස් පිළිපැද්ද ඇය සිය අවශ්‍යතාවය රහසේ ආශ්‍රය කළ ත්‍රිරෝද රථ ගැටයාට දුරකතනයෙන් දැනුම් දුන්නාය. ඔහු එය දිගින් දිගටම මග හැරියේය. අවසානයේ දී බැරිම තැන ඇය වෙනත් ත්‍රිරෝද රථයකින් බැංකුවට ගියාය. තමාට අවශ්‍ය මුදල සඳහන් පෝර්මය පුරවා බැංකු පොතත් සමගම බැංකුවේ කවුළුවට දුන්නාය. රුපියල් ලක්ෂ දහයක් ගන්න තියා රුපියල් දසදහසක්වත් ගන්න මුදල් එහි නැති බව බැංකුවේ නිලධාරියා කී විට බැංකු කාඩ් එකේ රහස් අංකය දුන්නු රහස් සැමියාව ඇයට ඉබේටම සිහි වූයේ දෙවියන් බුදුන් ද සමග ලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත