(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් සමගම රට පුරා සුරා සල් වසා දැමීම නිසා මත්පැන් නොමැතිකම හේතුවෙන් අන්තර් ජාලයෙන් දැක සිය නිවෙසේ සාදාගත් මත්පැන් පානය කොට අනූනවයෙන් ජීවිතය බේරාගත් පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් දකුණින් වාර්තා වේ.
හේ මත්පැනට පුරුදු වී සිටි අයකු වන අතර, සුරාව සඳහා ගත්තේ ගමේ ගොඩේ බඩුනොව සුරා සල්වල බඩුය. හිටි හැටියේම සුරා සල් වැසීම ඔහුගේ පුරුද්දට ලොකු බාධාවක්වූවේය. ගමේ බඩු සමහර තැන්වල තිබුණත් කොරෝනා ඇඳිරි නීතිය නිසා ඒවා ගැනීමට නොහැකිවීමත් තමාගේ තත්ත්වය අනුව ගමේ බඩු ගැනීම මහත් මදිකමක්වීමත් නිසා ඔහු දෙලොවක් අතර අතරමංව සිටියේය.
මේ අල්ලපනල්ලේ අන්තර් ජාලය ඔස්සේ නිවෙසේ සිටම පානයට අවශ්‍ය මත්පැන් සාදා ගැනීම පිළිබඳව ඔහු දැනුම්වත් වූයේය. ඔහු ඒ සඳහා ගත්තේ තමන්ගේ වටපිටාවෙන් ඉතා පහසුවෙන් සොයා ගත හැකි කෙසෙල්, බෙලි, වරකා වැනි පලතුරුය. අන්තර්ජාලයෙන් දැනුම්වත් කළ ප්‍රමාණයට වඩා ඊස්ට් දැමුවේත් වඩිය දින දෙකක්ම පල්වීමට ඇරියේත් හොඳ ගතියක් ඇති බඩු සාදා ගැනීමටය.
ගෙදර නිෂ්පාදනය කළ මත්පැන් පානය කළේ දින කිහිපයක්ම බඩු නැතිව සිටීමේ හිඟයත් මග හැරීමේ අරමුණෙනි. මත්පැන් පානය කොට ගතවූයේ ටික වේලාවකි. ඔහුට ඉන්න හිටින්නට බැරි තරමටම බඩ රිදෙන්න ගත්තේය. මේ ගැන කාටවත් කීමට ද නොහැකි නිසාම ඔහු කොතරම් බඩ රිදුණත් ඉවසා සිටියේය. එන්න එන්නම බඩේ රිදුම වැඩිවූවා මිස අඩු නොවූවේය. ඉවසන්න බැරි තරමට තමාට බඩ රිදෙන බව ගෙදර අයට කීවේය. ගෙදර අය ඔහුට ගමේ ගොඩේ දන්නා කියන වෙදහෙදකම් කළහ. එහෙත් කිසිම අඩුවක් නම් නොවීය. අවසානයේදී ඔහු සිහිසුන්ව වැටුණේය. මෙයින් බියටපත් වූ නිවැසියන් ඔහු වහාම ළඟම තියෙන රෝහලට රැගෙන ගියහ.
මෙසේ හදිසි බඩේ රිදීමක් අතිවූයේ ඇයිදැයි යන්න සොයා බැලූ වෛද්‍යවරුන්ට නිවැසියන්ට ඇත්තම කියන්නට සිදුවූයේ ඔහුගේ රෝගීත්ත්වය වඩාත් බරපතළ වූ නිසාමය. ඔහු සාදාගෙන පානය කොට ඇති මත්පැන් විෂවී ඇති බව තේරුම්ගත් ගමේ රෝහලේ වෛද්‍යවරුන්, මොහු බේරා ගැනීමට තමන්ට නොහැකි බව තේරුම්ගත් නිසාමදෝ ඔහු වහාම ගිලන් රථයකින් නගරයේ ප්‍රධාන රෝහලට මාරු කර යැව්වේය.
නගරයේ ප්‍රධාන රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු සෙසු වෛද්‍යවරු සිහි සුන්ව සිටි ඔහු වටකරගෙන ක්ෂණීකවම ප්‍රතිකාර නොකළානම්. මේ වනවිටත් ඔහු පරලොව ගොස් හමාරය.