කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සැමියාගේ තරම මගී ප්‍රවාහන බස් රථයක දී භාර්යාවකට දැනගන්න ලැබුණු කතාවක් දකුණේ කොනේ නගරයකින් අසන්නට ලැබේ.
විවාහකයෙකි, ව්‍යාපාරිකයෙකි, දෙදරු පියෙකි, විනෝදකාමියෙකි. නිවසේ කටයුතු ද සමබරව පවත්වාගෙන යන අයෙකි. ඔහුට හිමින් ගෙන යන අනියම් සම්බන්ධතා දෙකක් තුනක් ද පවත්වාගෙන ගියේ ය. ඔහු ඒ සඳහා යන්නේ කාටත් හොරා නගරයේ නිවාඩු නිකේතනයකට ය. මාසයකට දෙතුන් සැරයක් නැතහොත් ඊටත් වැඩි වාර ගණනක් ඔහු එතනට යන්නේ ය. මේ නිසා එම නිවාඩු නිකේතනය බලා කියා ගන්නා අයට ඔහු හුරු පුරුදු ය.
සිය කාර්ය කරගැනීමෙන් අනතුරුව මේ සේවකයාට ද ඔහු අත යට ගතමනාවක් දීමට ද අමතක නොකළේය. මේ නිසා මේ දෙදෙනා හොඳ මිතුරෝ වූහ. දෙන්නාට දෙන්නා හුරුය, පුරුදු ය.
එදා ඔහු බස් රථයෙන් සිය භාර්යාවත් සමග ගියේ අවශ්‍යතාවකට ය. බස් නතර කරනුයේ නගරාසන්නයේ ගමනාන්තය ද ආසන්න තැනක ය. ඒ එක්කම බස් රථයේ පිටුපස සිට බසයෙන් පැමිණි අයෙක් මොහු හඳුනාගත්තේ ය. ඔහු ද මොහු හඳුනා ගත්තත්, ඔහු මොහුගෙන් වහන්වීමට තැත් කළේය.
මේ කිසිත් නොදත් නිවාඩු නිකේතනයේ සේවකයා, ‘‘හා බොසා කොහොමද? අදත් යන්නේ අපේ තැනට ද, අද අලුත් එකක් වගේ?’’ යයි ඔහුට කීවේය. ඒ සමගම ඔහු භාර්යාවගේ මුහුණ බැලුවේ ය. ඒ ඇයට සේවකයා කියපු කතාව ඇසුණා දැයි පැහැදිලිවම දැන ගන්නට ය. භාර්යාවගේ සුදු පාට මුහුණ ජම්බු ගෙඩියක් මෙන් රතුවී තිබිණි. දෙඇස් නළලේ ය.
‘‘අයිසේ මේ මගේ වයිෆ්. මොනවද තමුසේ කියන්නේ’’ යයි ඔහු සේවකයාට සැර කළේය. ‘‘සොරි සර්’’ යයි කියමින් ඔහු හනි හනිකට බසයෙන් බැස ගියේය.
මුවින් නොදෙඩූ භාර්යාව යන්න ගිය ගමන අතර මග නතර කර දමා ගියේ, ‘‘ගෙදර එනවකෝ මම තමුසේ අල්ල ගන්නම්’’ කියමින් අඬ අඬාලු. ඒ සමගම ඔහුට පෙනුනේ තරුලු.