අතුරුදන් දියණිය පොලිසියට කසාද සහතිකය දී පෙම්වතා සමඟ ගිහින්
වයඹ ප‍්‍රදේශයේ නිවසක සිටි තරුණියක හිටි හැටියේම නිවෙසින් අතුරුදන් වූවාය. වයසින් අවුරුදු 20ක් වූ ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මවුපියෝ කටුපොත පොලිසියට පැමිණිල්ලක් ද කළහ.
දින දහයක් පමණ ගත වුවද ඇය ගැන හෝඩුවාවක් සොයා ගත නොහැකි විය.
නමුත් ඇයගේ ජංගම දුරකතනයට හිමි අංකයෙන් ඇගේ මාපියන් හට වරින් වර කෙටි පණිවිඩ එවීම ඇය විසින් කරන ලද අතර, ඒ සෑම විටෙකදීම ඇය හා සම්බන්ධ වීමට මාපියන් ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය. ඊට හේතුව කෙටි පණිවිඩය යැවූ සැණෙකින් ජංගම දුරකතනය ඇය විසින් ක‍්‍රියා විරහිත කර තිබීමයි.
”අම්මේ, ඔයගොල්ලො බයවෙන්න එපා. මම හොඳින් ඉන්නවා” ආදී ලෙසින් වූ පණිවිඩ ඇය විසින් එවා තිබූ අතර, මවුපියන්ගේ ද මතය වූයේ කිසිවෙකු විසින් ඇය සිරගත කර රඳවා තබාගෙන ඇති නිසා දුරකතනයෙන් කතා නොකර, රහසින් මෙම කෙටි පණිවිඩ තමන් වෙත ලැබීමට සැලැස්වීමට තම දියණිය කටයුතු කරනු ඇති බවයි.
නමුත් පොලිසිය විසින් ඇයගේ බැංකු ගිණුම පරීක්ෂා කළ විට හෙළිවූයේ කුලියාපිටියේ සුප‍්‍රසිද්ධ බැංකුවක තැන්පත් කර තිබූ ඇයගේ ගිණුමේ මුදල් කිසිවෙකු විසින් රැුගෙන ඇති බවත්, එසේ රැුගත් මුදල් වෙනත් ගිණුමක තැන්පත් කර ඇති බවත්ය. එම නව ගිණුමට හිමි ලිපිනය ලෙසින් සඳහන් වූයේ ඉංගිරිය, ප‍්‍රදේශයේ ලිපිනයකි.
ඉන් පසු ඉංගිරිය පොලිසිය විසින් පරීක්ෂණ ඇරඹූයේ අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමටයි. එහිදී ඇය තරුණයෙකු ද සමග සිටියදී පොලිසියට හමුවිය. ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ ඇය අවුරුදු 23 ක් වූ මෙම තරුණයා සමග සිය කැමැත්තෙන්ම විවාහ වී ඔහු සමග මෙම නිවසට පැමිණි බවයි.
අතුරුදන් වූ තම දියණිය නැවත නිවසට කැඳවාගෙන යෑමට පැමිණි ඇගේ මවුපියන් සුසුම් හෙළමින් ඉංගිරිය පොලිසියෙන් පිටව ගියේ කසාද සහතිකය ඉදිරිපත් කර ඇය අතුරුදන් වූ බවට කළ පැමිණිල්ල කටුපොත පොලිසියෙන් ඉවත් කර ගැනීමටය. තරුණිය ඉතා සතුටින් තම සැමියා ද සමග නිවසට පිටත්ව ගියාය.
ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් (56378) මංජු සහ පොලිස් ආරක්ෂක (309* ශ්‍රීමාල් මහත්වරු පරීක්ෂණ පැවැත් වූහ.

