( තිළිණි ද සිල්වා )
සෞදි අරාබියේ පවතින කොරෝනා වසංගත හේතුවෙන් එරට මේවන විට සිටින 135,000 ක් වූ ලාංකික ශ්‍රමිකයින් ගැන සොයා බැලීම සඳහා එරට රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කළ බව එරට වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා අද (20) පැවසීය.
එහි පළමු අදියර යටතේ එරට පවතින මෙම වසංගත තත්ත්වය හමුවේ රැකියා අහිමිවූවන් , පොරොන්දු වූ වැටුප් වලින් අඩක් හිමිවූ ලාංකික ශ්‍රමිකයින්ගේ තොරතුරු රැස් කිරීම කටයුතු දුරකතන මාර්ගයෙන් සිදු කෙරෙමින් පවතින බවද වැඩබලන තානාපතිවරයා කීය.
එම තොරතුරු හරහා ඔවුන්ට ඇති හදිසි අවශ්‍යතාවයන් වලදී සහාය වීමට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරන බවද හෙතෙම කීය .
ඒ අනුව එලෙස රැකියා අහිමි වීම් හෝ වෙනත් ගැටලු පවතින ලාංකික ශ්‍රමිකයින් වෙතොත් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක 00966591967312 යන දුරකථන අංකයට හෝ 00966591905178 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි වැඩබලන තානාපතිවරයා එම ශ්‍රමිකයින් ගෙන් හෝ ඔවුන්‍ගේ පවුලේ ඥාතීන් ගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව සෞදි අරාබියේ පැය 24 පුරා පවතින ඇදිරි නීතිය හේතුවෙන් විවිධ අසීරුතාවයන්ට පත්වූ රියාද් නගරයේ සිටින ලාංකික ශ්‍රමිකයින් 200 කට ආසන්න පිරිසකට වියළි ආහාර මල්ලක් ලබා දීමට රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කළේය.
සෞදි අරාබිය යනු ලාංකික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන රට වන අතර 135,000 කට ආසන්න පිරිසක් සිටිති.ඉන් බහුතරයක් දෙනා ගෘහ සේවය , පවිත්‍රතා අංශ , රියදුරු ක්ෂේත්‍රයන්ට අදාළව රියාද් , දමාම් සහ ජෙඩා යන ප්‍රධාන නගර වල සේවය කරති.

