කොරෝනා වයිරස වසංගතය චීනය විසින් හිතාමතා සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක වලට මුහුණ දියයුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
චීන රජය වසංගතය හැසිරවූ ආකාරය සම්බන්දව එල්ලවන විවේචන සැලකිල්ලට ගනිමින් ඔහු මේ බව පවසා තිබේ.
"වසංගතය ආරම්භ වීමට පෙර චීනයට එය නැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසා දැන් මුළු ලෝකයම දුක් විඳිනවා. එය වැරැද්දක් නම්, වැරදීමකින් සිදුවූ වැරැද්දකි. නමුත් එය ඔවුන් දැනුම්වත්ව සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක ඔවුන්ට ලැබිය යුතු යැයි මා විශ්වාස කරනවා" යැයි ට්‍රම්ප් මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ දිනපතා පැවැත්වෙන ධවල මන්දිර සාකච්ඡාවට එක් වෙමිනි.
කෙසේ වුවද මෙහිදී ඇමරිකාව ගන්නා ක්‍රියාමාර්ග ගැන ඔහු කිසිවක් පවසා නැත.
කොරෝනා වයිරස වසංගතය සම්බන්දව විනිවිද භාවයකින් කටයුතු නොකිරීම ගැන මීට පෙර ද ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ සහායකයින් චීනයට චෝදනා කර තිබිණ.
ලෝක සෞඛය සංවිධානය චීනයට විශේෂයෙන් සලකන බව පවසමින් එයට ලබාදෙන ආධාර නැවැත්වීමට ද ඇමරිකානු ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර කටයුතු කළේය.
වයිරසයේ මූලාරම්භය චීනයේ පිහිටි ඇමරිකානු කඳවුරක් බවට මීට පෙර චීන නිලධාරීන් කිහිපදෙනකු නැගූ චෝදනා ට්‍රම්ප් රජය කෝපයෙන් ප්‍රතික්ෂේප කළේය.
කෙසේවුවද විවේචකයින් පවසන්නේ 2020 පැවැත්වීමට නියමිත ඇමරිකානු මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ චීන විරෝධී මනෝභාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා මැතිවරණ ලංසුවක් ලෙස ට්‍රම්ප් චීනය විවේචනය කරන බවයි.
මෙම මාරාන්තික වයිරස අර්බුදය සමග කටයුතු කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ සහයෝගීතාවයක් අවශ්‍ය මොහොතක ලෝක බලවතුන් වාග් යුද්ධයක පැටලීම නුසුදුසු ක්‍රියාවක් බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
චීනයේ වුහාන්හි වයිරස සම්බන්ද පර්යේෂණ කරන විද්‍යාගාර පිළිබඳව ද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න කර ඇත.
වයිරස සම්බන්ද පර්යේෂණ කිරීමට චීනය දරන ලද උත්සාහයේ කොටසක් ලෙස කොරෝනා වයිරසය වර්ධනය වී ඇති බවට දින කිහිපයකට පෙර "ෆොක්ස් නිවුස්" ආයතනය මගින් ද වාර්තාවක් නිකුත් කර තිබිණි.
ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ වයිරසය චීන විද්‍යාගාරයකින් නිකුත් වූවාද යන්න සොයාබැලීමට තම රජය උත්සාහ ගන්නා බවයි. ඇමරිකාව පවසා සිටින්නේ වයිරසයෙන් මියගිය සංඛ්‍යාව සම්බන්දව චීනය නිකුත් කළ සංඛ්‍යාලේඛණ පවා විශ්වාස කළ නොහැකි බවයි.විශ්වසනීය තොරතුරු සැපයීම සඳහා චීනයට සදාචාරාත්මක බැඳිමක් ඇති බවද ඔවුහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

