ඡන්දය කල් දමන්නැයි සංඝරත්නය ඉල්ලති


(විනීතා එම් ගමගේ)

රටේ ප‍්‍රධානතම මැතිවරණයක් වන මහ මැතිවරණය සදහා මෙම කාල වකවානුව සුදුසු නොවන බව තම විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි භික්ෂු සංසදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියි.
 
සංඝ සමාජයේ පමණක් නොව අනෙක් ආගමික නායකයින්ගේ ද අදහස මෙයම බවත් රටේ සමස්ත ජනතාවටම බිය සැකයකින් තොරව කටයුතු කළ හැකි තත්ත්වයක් උදාවනතුරු මැතිවරණ පැවැත්වීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් එහි සදහන්වේ.
 
අස්ගිරි මහාවිහාර පාර්ශවය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කුරුප්පේ රතනපාල නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල නාහිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා 25 නමක ගේ අස්සනින් යුතුව යවා ඇති එම ලිපිය යවනු ලැබ ඇත.
 
මේ වනවිට සමස්ත ලෝකවාසි ජනතාව සුවිශේෂී තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි තත්ත්වයක් හමුවේ මහජන ඒකරාශි වීම් කුමන හෝ අරමුණක් උදෙසා මහජනතාව කැදවීම් සිදු නොවිය යුතු බව සෞඛ්‍ය බලධාරින් ඉතා පැහැදිලි ලෙස අවධාරණය කර ඇති බව ද උන් වහන්සේලා එම ලිිපියෙන් පෙන්වා දී තිබේ.  
 
රටේ සෞඛ්‍ය බලධාරින්ගේ පැහැදිලි සහතිකයක් ලබාගෙන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික භවතුන් විසින් සිදුකරන නිසි තක්සේරුවකින් පසුව ඉදිරි මහ මැතිවරණය සදහා දින නියම කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි සදහන් වේ.