(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා මර්දනය සදහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය කැබිනට් මණ්ඩලයට අද (29) පැයක පමණ පැහැදිලි කිරීමක් කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් පැමිණ කොරෝනා මර්දන වැඩසටහන ගැන ඇමැතිවරුන් දැනුවත් කර ඇත.
කොරෝනා මර්දනය සදහා රජයත්, රාජ්‍ය බුද්ධි අංශයත්, ආරක්‍ෂක අංශ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු අනෙකුත් අංශත් පසුගිය කාලය පුරා ගෙන ගිය වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇත්තේ ඒ නිසා බවත් බුද්ධි අංශ නිලධාරීන් එහිදී පැහැදිලි කළ බව කැබිනට් ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
කොරෝනා මර්දනය ව්‍යාප්තිය පාලනය කර තිබියදී ජා ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ ඇතිවූ තත්ත්වයක් මත නැවත ව්‍යාප්තවීමක් සිදුවූ බවත් වැලිසර නාවික හමුදා සාමාජිකයන්ට කොරෝනා වැළදීමට එය හේතුවක් වූ බවත් බුද්ධි අංශ නිලධාරීන් එහිදී පැහැදිලි කළ බවද ඇමති ගුණවර්ධන මහතා කීවේය.
ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවීමේ සිට අද (29) දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා රෝගීන් හමුවීම, ඔවුන් සොයාගැනීම, බුද්ධි අංශ ගත් ක‍්‍රියාමාර්ග ආදිය ද එහිදී පැහැදිලි කර ඇත.
කොරෝනා ව්‍යාප්තිය මේ වන විට යම් පමණකින් පාලනය වී ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දුන් බවද ඇමතිවරයා පැවසීය.

