ඇමෙරිකාවේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි


ඉරිදා (19) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී මරණ 2000 හමුවීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 40,661ක් දක්වා ඉහළ ගියේය. එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 759,086ක් විය.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් හා මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපයෙනි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම එරට ප්‍රාන්ත සියල්ලම පාහේ ගෙදර සිටීමේ නියෝග මෙන්ම ලොක්ඩවුන් නියෝග ද ක්‍රියාත්මක කර ඇත.

මෙම සීමා ලිහිල් කර ආර්ථිකය නැවත විවෘත කළ යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් ප්‍රකාශ කරයි. එහෙත් තවමත් රට විවෘත කළ නොහැකි යැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරු මෙන්ම සෞඛ්‍ය බලධාරීහු විශේෂඥයෝ ද පවසති.
කෙසේ නමුත් මෙම ලොක්ඩවුන් සීමා ලිහිල් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකාවේ විවිධ ස්ථානවල විරෝධතා පැවැත්වෙන අතර තමා ද ඒවාට සහාය දක්වන්නේ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින ඇමෙරිකානු ජාතික නිලධාරීන් කලින් සිටම කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ බලධාරීන්ට අනතුරු ඇඟවූ බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

විදෙස් වාර්තා ඇසුරිනි

055