ඇමෙරිකානු හඬ ගොඩනැගිල්ල නිරෝධායන කටයුතුවලට වෙන්කෙරේ


(රවින්ද්‍ර ලියනගේ)
 
හලාවත ඉරණවිල පිහිටි ඇමරිකානු හඬ සම්ප්‍රේශනාගාර ගොඩනැගිල්ල කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා වාට්ටු සංකිර්ණයක්  බවට පත් කර තිබේ.
 
මේ වන විට වසා දමා ඇති මෙම ගොඩනැගිල්ල  අද(23)  මෙම කාර්යට බාරගත් බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධක්ෂිකා දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.
 
සංචාරක කටයුතු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මුලිකත්වය  මත, පුත්තලම දිස්ත්‍රික් ලේකම් බණ්ඩාර, පුත්තලම දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිනුෂා පුනාන්දු ඇතුලු මාරවිල මුලික රෝහලේ ‍විශේෂ්‍ය වෛද්‍යවරුන්ද මෙම ගොඩනැගිල්ල   නිරීක්ෂණය කළේය.
 
නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  පුත්තලම  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යලයේදි මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැතිණි. ගොඩනැගිල්ල නවීකරණය කර හැකි ඉක්මණින්ම කොරෝනා ආසාදිතයින් නිරෝධායනයට යොදාගැනීමට අවශ්‍ය සියලුම පහසුකම් වහාම ආරම්භ කළ යුතු බවට සාකච්ජා විය.
 
රෝගීන් 150 ක් නිරෝධානය කිරීම ළඟදීම ආරම්භ කරන බවත් කොරෝනා වයිරසය මෙරටින් තුරන් වීමෙන් අනතුරුව අංග සම්පුර්ණ රෝහලක් බවට පත් කර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනයට ලබා දෙන බවත් සංචාරක කටයුතු  රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.