‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට නිදහස්


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
 

                  අපගේ කණගාටුව                              
‘ලටෙක්හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ‘ලංකාදීප වෙබ් අඩවිය‘ පළ කරන ලද  ප්‍රවෘත්තියෙහි කලින් තිබූ ශිර්ෂ
පාඨය පළ වුයේ  ප්‍රමාද දෝෂයකිනි.
ඒ සම්බන්ධයෙන් රවී වෙත්තසිංහ මහතාට අපගේ කණගාටුව පළ කර සිටිමු.
එම ශිර්ෂ පාඨය   ‘ලටෙක්’ හිටපු සභාපති නිදොස් කොට  නිදහස්‘ ලෙස නිවැරදි  ශීර්ෂ පාඨයකින් යුතුව පළකර තිබේ.

ඉඩමක් ලබාදෙන බව පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට ‘ලටෙක්’ හිටපු සභාපති රවී වෙත්තසිංහ මහතාට එරෙහිව පවරා තිබු නඩුවකින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකාර රවී වෙත්තසිංහ මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම ඔහු නිදොස් කර නිදහස් කළේය.

2005 සැප්තැම්බර් මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නාවලදී ඉඩමක් ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන වංචා කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විත්තිකරු සහ පැමිණිලිකරු අතර ඇතිවු ගිවිසුම අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එම ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ නොවන බව සාක්කිකරුවකු විසින් අධිකරණයේදී හෙළි කළේය.

ඒ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවනු ලැබු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේම දැයි හෙළි කරගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂවරයාගේ වාර්තාව කැඳවීමට අවසර ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබීණි.

ඒ අනුව නඩු විභාගය අවස්ථාවේදී අදාළ ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේමදැයි හෙළි කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂවරයාගේ වාර්තාව කැඳවනු ලැබු අතර ගිවිසුමේ ඇති අත්සන විත්තිකරුගේ අත්සන සමඟ නොසැසදෙන බවට රජයේ රස පරීක්‍ෂවරයා සිය වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

විත්තිකරුට වෙනුවෙන් නීතීඥ සඳමල් රාජපක්‍ෂ සහ කැලූම් කුමාරසිංහ යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය මහතා පෙනී සිටියේය.