අල්ලස් ගත් ගිරාදුරුකෝට්ටේ කොස්තාපල්ට සිරදඬුවම්


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 3,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ගිරාදුරුකෝට්ටේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (3) නියම කළේය.


වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යන අන්දමට ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද නියම කළේය.


සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ මනෝජී හේවාවසම් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.


විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ ගිරාදුරුකෝට්ටේ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් සංජීව සරත් නන්දසිරි නමැත්තාටය.


2014 මැයි මස 22 වැනිදාත් 2014 මැයි මස 24 වැනිදාත්  අතර කාලයේ ගිරාදුරුකෝට්ටේදී රථවාහන වරදක් කළ පුද්ගලයකුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා ඔහුගෙන් රුපියල් 3,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත අල්ලස් කොමසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.


පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ මනෝජී හේවාවසම් මහත්මිය පෙනී සිටියාය.