හොරණ නගරයේ ජාත්‍යන්තර මැණික් පොළක් ආරම්භ කිරීමට සැලසුම්


හොරණ - චමිලා අල්විස්
හොරණ නගරය ජාත්‍යන්තර මට්ටමේ මැණික් කැපීමේ හා වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් බව⁣ට පත් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ හොරණ නගරයේ ජාත්‍යන්තර මැණික් පොළක් ආරම්භ කිරීමටද රජය සූදානම් බව කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
හොරණ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ දස වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය. 
ශ්‍රී ලංකාව සතුව මැණික් කැපීම හා ඔප දැමීමේ ලෝක මට්ටමේ විශේෂඥතාවක් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නවීන තාක්ෂණය හා පර්යේෂණ පහසුකම් එක් කරමින් කර්මාන්තය තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරන බවද පැවසීය.


හොරණ අධිවේගී මාර්ගයට සහ කටුනායක ගුවන් තොටුපොළට ආසන්නව පිහිටීම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට විශේෂ වාසියක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මැණික් සංගමයේ දස වැනි සංවත්සරය සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි, ප්‍රාදේශීය සභාවේ සභාපති නිර්මල ද සිල්වා, මැණික් සංගමයේ සංවිධායක ජයන්ත බන්ධුප්‍රිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති එස්. ශමින්ද, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා, මැණික් සංගමයේ සභාපති කමල් ඇතුළුවගේ, ලේකම් වරුණ ශාන්ත ලියනගේ, භාණ්ඩාගාරික අනුර ෆොන්සේකා ඇතුළු මැණික් සංගමයේ සාමාජිකයෝ සහභාගී වූහ.