රජය යටතේ පවතින, ප්‍රසිද්ධ කොළඹ හිල්ටන් හි හිමිකාර, සීමාසහිත හොටෙල් ඩිවොලොපෙර්ස් ලංකා (HDL) සමාගම, 2025 මූල්‍ය වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 48.5ක බදු පසු ලාභයක් වාර්තා කරමින්, 2017 වසරෙන් පසු පළමු වරට නැවතත් ලාභදායී තත්ත්වයට පත්ව ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සභාපති ප්‍රවීර් සමරසිංහ මහතා පැවසුවේ, “2025 මූල්‍ය වර්ෂය සමාගමේ ගමන් මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. අපගේ ලාභදායී තත්ත්වයට නැවත පැමිණීම, විනයගරුක ව්‍යාපාරික උපායමාර්ගයන් ක්‍රියාත්මක කිරීම, මෙහෙයුම් පිලිබඳ නොසැලෙන අවධානය සහ ව්‍යාපාරයේ සෑම මට්ටමකම අඛණ්ඩව ක්‍රියාත්මක කළ සැලසුම්වල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස“ බවයි.
සමාගමේ ආදායම රුපියල් බිලියන 5.38ක මට්ටමේ ස්ථාවරව පැවති අතර (2024: රුපියල් බිලියන 5.39), දළ ලාභය රුපියල් බිලියන 2.68 සිට බිලියන 2.90 දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කාමර භාවිතයේ ප්‍රතිශතය (Occupancy) ඉහළ යාම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමයි.
EBITDA රුපියල් මිලියන 872 සිට බිලියන 1.22 දක්වා වර්ධනය වී ඇති අතර, මෙහෙයුම් ලාභය 2024 වසරේ රුපියල් මිලියන 311 සිට 2025දී රුපියල් මිලියන 746 දක්වා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
රුපියල් මිලියන 623ක මූල්‍ය වියදම් පැවතියද, වසර තුළ ක්‍රියාත්මක කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් හේතුවෙන් ඉදිරි වසරවල ණය ගැනීමේ පිරිවැය අඩුවී මුදල් ප්‍රවාහය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි. දේපළ නැවත තක්සේරු කිරීමෙන් ලැබුණු අතිරික්තය හේතුවෙන් සම්පූර්ණ විස්තීර්ණ ආදායම රුපියල් මිලියන 91.9 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ප්‍රගතියට වැදගත් හේතුවක් වූයේ 2024 වසර අවසානයේ හෝටලයේ කාමර සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමයි. ඒ අනුව, 2015 වසරෙන් පසු පළමු වරට කාමර 368ම සේවයට යෙදවීමට හැකි විය. මෙම නවීකරණය හෝටලයේ සේවාවන් වල ගුණාත්මකභාවය ඉහළ නැංවූ අතර, තරඟකාරීත්වය ශක්තිමත් කරමින් 2025 වසරේ මෙහෙයුම් ප්‍රතිඵල වර්ධනය කිරීමට සෘජුවම දායක වී ඇත.
නිවාඩු සමයන් සහ ප්‍රධාන උත්සව අවස්ථාවල විවේක සංචාරක (Leisure) ඉල්ලුම ඉහළ යාමද සමාගමේ කාර්යසාධනයට සහාය වී ඇති අතර, මෙම ධනාත්මක ප්‍රවණතාව 2026 වසර තුළද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, ව්‍යාපාරික සංචාර සඳහා පවතින ස්ථාවර ඉල්ලුම සහ වෙළඳපොළ විශ්වාසය යළි ගොඩනැඟීමත් සමඟ ආයතනික (Corporate), කණ්ඩායම් (Group) සහ MICE (Meetings, Incentives, Conferences and Exhibitions) අංශ ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි සමාගම විශ්වාසය පළ කරයි.

