සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂාන් තිලකරත්න මහතා එහි නියෝජ්‍ය සභාපති ධූරයට පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය. 2026 අගෝස්තු 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් වීම කර තිබේ.
2018 වසරේදී විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වූ තිලකරත්න මහතා නියෝජ්‍ය සභාපති ධුරයට පත් වීමෙන්, බැංකුවේ ආයතනික යහපාලනය වෙනුවෙන් ඔහු දීර්ඝ කාලයක් පුරා ඉටු කළ මෙහෙවර මෙන්ම ඔහු සතු නායකත්ව හැකියාවද මැනැවින් පිළිබිඹු වේ.
මීට පෙර LOLC Finance PLC හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ තිලකරත්න මහතා, LOLC Holdings PLC හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයකු ද විය.
බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට අධික පළපුරුද්දක් තිලකරත්න මහතා සතුය. 1990 සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 19 ක්ව සිටියදී බැංකු සහයක නිලධාරීවරයකු ලෙස සෙලාන් බැංකුවට එක් වී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා, 1995 වසරේදී LOLC සමූහයට එක් විය. මේ වන විට කළමනාකරණය, ණය සේවා, බෙදාහැරීම් නාලිකා කළමනාකරණය, අලෙවිකරණය, factoring, portfolio management සහ ඉස්ලාමීය මූල්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක වසර 31 කට අධික වෘත්තීය පළපුරුද්දක් ඔහු සතුය.

