සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දින තුනේ ණය තීරණ දැනගැනීමේ පහසුකම් සේවාවක්


සෙලාන් බැංකුව විසින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දින තුනෙන් ණය තීරණ සැපයීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය පහසුකම් සඳහා, අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දින තුනක් ඇතුළත ණය ලබාදීමේ තීරණය ලබා ගත හැකි වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට බහුලව වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝගයක් වන, ණය අයදුම්පත් සඳහා ලැබෙන තීරණය වෙනුවෙන් දීර්ඝ කාලයක් ගතවීමේ ගැටලු‍වට විසඳුමක්  සැපයීම මෙහි අරමුණයි. 
බොහොමයක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම හදිසියේම ප්‍රාග්ධනය අවශ්‍ය වන මොහොතකදී, ණය ලබාදීමේ ක්‍රියාවලියේ සිදුවන ප්‍රමාදය  ව්‍යාපාර සැලසුම්වලටද බාධා පමුණුවනු ඇත. මෙම ව්‍යාපාරවලට බොහෝ විට මූල්‍ය ආයතනවලින් ප්‍රතිචාරයක් ලබා ගැනීමට සති කිහිපයක් රැඳී සිටීමට සිදු වන අතර, ඒ හේතුවෙන් මෙහෙයුම් වියදම් කළමනාකරණය කර ගැනීම හෝ නව ව්‍යාපාරික අවස්ථා අත්පත් කර ගැනීම අපහසු වනු ඇත. මෙම අභියෝගය හඳුනා ගන්නා සෙලාන් බැංකුව, ණය අනුමත කිරීම් සම්බන්ධයෙන් වඩාත් වේගවත් බවක්, සුපැහැදිලිතාවක් ලබාදීමට සහ මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා මෙම ‘දින තුනෙන් ණය තීරණ ලබාදීමේ‘ පහසුකම හඳුන්වා දී තිබේ.
මෙම දින තුනෙන් ණය තීරණ ලබාදීම, රුපියල් මිලියන 25ට අඩු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අදාළ වන අතර, ‘අත හිත‘ , ‘දිනන ඇය‘ ණය සහ සෙලාන් බැංකුවට විශේෂිත ක්‍රියාකාරී ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රම වැනි ණය පහසුකම් එයින් ආවරණය කෙරෙනු ඇත. අභ්‍යන්තර ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ තක්සේරු යාන්ත්‍රණ සවිබල ගැන්වීමෙන්, බැංකුව විසින් ණය අයදුම්පත් සමාලෝචනය කර, ණය ලබාදීමට සුදුසු වන්නේද යන්න පිළිබඳ මූලික තීරණය, වැඩ කරන දින තුනක් ඇතුළත ලබාදෙයි. 
එසේම සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමගින් ඒකාබද්ධ වෙමින්, ණය සඳහා ප්‍රමාණවත් ඇපකරයක් ලබාදීමට හැකියාව නොමැති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSME) වෙතට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද ජාතික ණය සුරැකුම් ආයතනය (NCGIL) වෙතද සිය සහාය ලබාදේ. මෙම වැඩසටහන හරහා, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට, රුපියල් 500,000 සිට රුපියල් මිලියන 25 දක්වා පරාසයක වන ණය ලබා ගත හැකි අතර, ජාතික ණය සුරැකුම් ආයතනය විසින් අදාළ ණය මුදලින් සියයට 67 දක්වා ආවරණය වන ඇපකරයක් සපයා සිටී. ඒ ඔස්සේ එම ව්‍යාපාරවල වත්කම් ඔස්සේ ලැබෙන සහතිකයට වඩා, ඒවායේ මූල්‍ය ශක්‍යතාව සහ මුදල් ප්‍රවාහය මත පදනම්ව එම ව්‍යාපාර ඇගැයීමට බැංකුවලට ඉඩ සැලසෙනු ඇත.
මෙම වැඩසටහන මගින් ‘ලිය ශක්ති‘ ඇපකර යෝජනා ක්‍රමයද හඳුන්වා දෙන අතර, එය කාන්තාවන්ගේ හිමිකාරිත්වයෙන් යුතු වන, නැතහොත් කාන්තාවන් විසින් නායකත්වය ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා රුපියල් 500,000 සිට රුපියල් මිලියන 25 දක්වා පරාසයක වන ණය ලබා ගත හැකි සියයට 80 දක්වා වන ඇපකර ආවරණයක් ලබාදේ. නිෂ්පාදනය, සංචාරය, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය සහ අපනයනය වැනි ප්‍රමුඛ අංශවල ව්‍යවසායකයන් සහ ව්‍යවසායිකාවන් සඳහා ණය ප්‍රවේශය පුළුල් කිරීමෙන්,  සියලු‍ දෙනා ඇතුළත් වන ආර්ථික වර්ධනයකට සහය දීමටත්, එසේම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීමටත් සෙලාන් බැංකුව අපේක්ෂා කර සිටී.