සුළු සහ මධ්‍ය ව්‍යාපාර දිරිගැන්වීමට ප්‍රතිපත්තියක්?


 


සාරා කන්දේගොඩ


සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කෙරෙහි සැලකිය යුතු අවධානයක් තිබේ. කෙසේ නමුත් ආර්ථිකයට දායක කරගන්නා ප්‍රමාණය ගැන ගැටලු ඇත. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල තැනකට පත්විය. ව්‍යවසාය හතළිස් දහසකට වඩා වසා දමා ඇති බව ලෝක බැංකු වාර්තාවක් දක්වයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අලුතින් අදහස් කරන පරිදි ශ්‍රී ලංකාව මහා පරිමාණ ආයෝජන සඳහා ලබා දෙන සහනවලින් ප්‍රතිලාභ සීමිතය. දැනට ප්‍රකාශයට පත් කර ඇති, ඇතැම් ව්‍යාපර සඳහා වූ බදු සහන තවත් වටයකින් අඩු කරන සේ යෝජනා කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සක්‍රීයභාවය උදෙසා රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කෙරෙහි අලුත් ආරම්භයක් සුදුසුය. 
සුළු හෝ කුඩා කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවබෝධ කරගත යුතුවේ. ලෝක බැංකුවේ නිර්නායක අනුව අනූනම දෙනකුට අඩු ශ්‍රම බලකායක් සේවයේ නිරත ව්‍යවසායය කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකි. කුඩා හෝ මධ්‍ය පරිමාණ අංශය සංවර්ධනය කළ යුතුය යනුවෙන් යෝජනා කරන්නේ එවැනි කොටසක් ද යන්න ශ්‍රී ලංකාව තීරණය කළ යුතුව ඇත. සාමාන්‍යයෙන් අය වැය සහ වෙනත් යෝජනා මගින් රටට අඟවන පරිදි සුළු සහ මධ්‍ය පරිමාණ දිරිගැන්වීම යනු අලුත් ස්වයං රැකියා පරපුරක් බිහි කිරීමය. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක පිරිසක් නිර්මාණය කිරීම ඉතාමත් වටිනා අවස්ථාවකි. අඩුම තරමින් ව්‍යවසාය දහය බැගින් රට පුරා සියලුම දිස්ත්‍රික්කවල ආරම්භ කිරීමෙන් පසු ඒවායේ අවස්ථා සමග රටට එකතුවන අලුත් ආර්ථික බලය ඉතාම ප්‍රබල විය හැකිය.


ස්වයං රැකියාවලින් පමණක් දියුණුවක් ලබාගැනීම
බලයට පත්වන ආණ්ඩු ස්වයං රැකියා අවස්ථා සඳහා සහන ප්‍රකාශයට පත් කරති. පසුගිය වසර පනහකට අධික කාලය තුළ සුළු ව්‍යාපාර හෝ කර්මාන්ත සඳහා විශාල වශයෙන් ණය සපයා ඇත. ඒවා ලබාගන්නා තරුණ පිරිස් ස්ථිර රැකියාවක් ලැබුණ වහා ව්‍යවසාය අත්හැර තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරති. ලබාගත් ණය ආපසු ගෙවීම අවිධිමත් වන අතර වාණිජ බැංකුවල මෙහෙයුම් බරපතළ ගැටලුවලට ලක්වේ. ආණ්ඩුවල නියම කිරීම් හේතුවෙන් ආණ්ඩුවේ බැංකු නිකුත් කර ඇති ස්වයං රැකියා ණය ප්‍රමණය සලකා බැලීමෙන් පසු මෙම අභ්‍යන්තරය හඳුනාගත හැකිය. අධ්‍යයනයක්, පසුවිපරමක් රහිතව ආරම්භ කරන ක්ෂණික ව්‍යාපෘති  අත්‍රණාත්මකව අවසන්ව තිබේ. මේවා ගැන පර්යේෂණාත්මකව අවධානය යොමු කළ හොත් අභ්‍යන්තරය හඳුනාගත හැකිවේ.
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතිකර රට දියුණු කිරීම ගැන කරන සංවාද සහ සැපයෙන සහාය ගැන විශාල ආන්දෝලන ඇතිවෙයි. වාණිජ බැංකුවක සහාය වහාම ලැබී ව්‍යාපාරයකට මග දක්වනු ඇති බව උපලක්පනය කරන අවස්ථා තිබේ. කෙසේ වෙතත් අවම වශයෙන් මාස හයක්වත් ගනුදෙනු විශ්වාසයක් රහිතව සුළු මුදලක් හෝ ණයකට දෙන්නේ නැත. පුද්ගල හෝ දේපොළ ඇප අවශ්‍ය කෙරේ. ශ්‍රී ලංකාවේ ඇපකරණය සම්බන්ධව සලකා බලන පසු ණය තොරතුරු කාර්යාංශයේ ක්‍රියාවලිය ද සංකීර්ණය. එහි ලේඛන ගත නොවූ පුද්ගල ඇපකරුවකු සොයාගැනීම දුෂ්කරය.
ආයෝජන ප්‍රාග්ධනය සහිත තරුණයන් සහාය ඉල්ලන්නේ නැත. පුද්ගල දක්ෂතාව සලකා ව්‍යවසාය පසුබිම සකස් කරන හා පුහුණුව සමග ලබාදෙන මග පෙන්වීම ඉතාම සුක්ෂම වෘත්තීය ආකාරයක් ගත යුතුව තිබේ. ලෝකයේ ඇතැම් රටවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මග පෙන්වීම වෙනම වෘත්තියකි. ආරම්භයේ සිට අමුද්‍රව්‍ය සපයා ගැනීම, වෙළෙදපොළ දිනාගැනීම, ප්‍රචාරණය, පාරිභෝගික සබඳතා සහ අලෙවි ක්‍රම ගැන අවබෝධය සැපයේ. ව්‍යවසාය අත්හරින්නට ඉඩ නොලැබෙන පරිදි සම්බන්ධීකරණ පසුවිපරමක් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ලෝක ආර්ථිකයෙන් විශාල කොටසක් බව දැක්වේ. අනෙක් අතට එය මහා පරිමාණ ව්‍යාපාර ජාල සමග ඇති කරගන්නා සැපයුම් සමූහයක් බවට ද පත්වේ. 


සියයට අසූවකට වඩා අලුත් යුගයකට 
ශ්‍රී ලංකාවේ දැනට පවතින සියලුම කර්මාන්ත සහ ව්‍යාපාර සම්බන්ධයෙන් නිසි සමාලෝචනයක් කළහොත් අවබෝධ කරගත හැකි පැති තිබේ. ඒවායෙන් සියයට අසූවක පමණ ශ්‍රම බලකායේ සාමාන්‍ය සියයට අඩුය. එය සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යවසායයකි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය යනු නිර්වචනය කරගැනීම අවශ්‍යය. ව්‍යවසාය රට තුළ බහුල කරන පසුබිම සකස් කරන අතර, අලුත් පැතිවලින් ව්‍යාපාර අරඹන්නට දිය හැකි රුකුල හෝ අනුබලය කුමක් දැයි වෙන් වෙන් වශයෙන් දැක්විය යුතුය. අය වැයෙන් හෝ ආණ්ඩුවට අයත් ආයතනයකින් සුළු හෝ මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කරන්නට අවශ්‍ය දැනුම, පුහුණුව ලබා දෙන්නේ නම් හුදෙක් එය බැංකුවෙන් රුපියල් ණයක් නිදහස් කරන ආකාරයේ ඉතා ප්‍රාථමික මෙහෙයුමක් නොවීම ඉතාමත් වැදගත්ය. පුද්ගල ණය නිකුත් කර ඔවුන් ස්වයං රැකියා ලාභීන්කිරීම වෙනුවට ව්‍යවසායක්ව සමූහයක් ස්ථාපිත කළ යුතුය.
ව්‍යවසාය සඳහා පසුබිම සංකීර්ණ තැනක පවතී. දශක කිහිපයකට කලින් පැවැති ස්වභාවය අභිබවා ගොස් ඇත. කර්මාන්ත හා සේවා කෘතීම බුද්ධියට යටත්ව තිබේ. ශ්‍රමය වෙනුවට යන්ත්‍ර බහුලව යොදා ගැනේ. කාර්ය පහසුවන අතර පලදායීතාව ඉහළ නැගේ. නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ප්‍රමාණයකින් පාලනය කළ හැකිය. 
දැනට කරගෙන යන ව්‍යාපාරවල පවා පසුබිම වෙනස් කිරීම වැදගත්ය. නවීකරණය හා පැවැත්ම අලුත් කරන අංශ සඳහා අනුබල සැපයිය යුතුවේ. විදුලිය බල පිරිවැය ඉහළ යන අතර එයට විකල්ප වශයෙන් තමන්ගේ සෝලා පද්ධති සඳහා අනුබල සැපැයීම සුදුසුය. ප්‍රවාහන වියදම සලකා බලන පසු විදුලිය වාහන වලට යොමු කිරීම හා පුද්ගල වාහන වෙනුවට පොදු වාහන සංචිත භාවිත කිරීමෙන් වියදම අවම කරගත හැකි ආකාරය අවබෝධ කර දිය යුතුව තිබේ. අලෙවිය සම්බන්ධ පැරණි ආකෘති වෙනුවට අන්තර් ජාලයෙන් කෙළින්ම පාරිභෝගිකයන් සම්බන්ධ කරගන්නා ක්‍රම දියුණු වී ඇත. මෙවැනි අවස්ථා සඳහා පරිගණක හා අන්තර්ජාල පහසුකම්, ඒවායේ යෙදවුම් හා පද්ධති ගැන ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශ මෙහෙයැවීම අවශ්‍ය කෙරේ.


ව්‍යවසායකයන් බිහිකරන්නට කලින් ආකල්ප 
ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සපයන යෝජනා ක්‍රම අරඹා උනන්දුවක් දක්වන පිරිස ඉලක්ක කරගෙන ක්‍රියාකාරකම් අවශ්‍ය කෙරේ. ඡන්ද කාලයේ දී ව්‍යවසාය නංවන අතර බිඳ වැටුණ ව්‍යාපාරවලට ණය දෙන වෙනම ආයතන බිහිකිරීම ගැන කියැවිණ. පසුගිය දා ණය ඇපකරණ ක්‍රියාවලියක් ආරම්භ කරන ලද අතර එය සංකීර්ණය. ව්‍යවසායකත්වය තුළින් නිෂ්පාදනය වැඩි කළ යුතුවේ. නිපදවන දෙය සඳහා වෙළෙදපොළ පහසුකම් සංවිධානය කළ යුතුය. අපනයනය ඉලක්ක කරගෙන නිපදවීම මෙහි දී ඉතාම වැදගත්ය. ආර්ථිකය බිඳ වැටෙන්නනට හේතුව විනිමය හිඟය බව අමතක කළ යුතු නැත. 
දක්ෂ තරුණ පිරිස් විදේශ රටවල් බලා පිටත්ව යන ප්‍රවනතාවක් ඉහළටම පැමිණ තිබේ. රට තුළ අවස්ථා අහිමිවීම හේතුකොටගෙන දස දහස් ගණනින් පුහුණු හා නුපුහුණු පිරිස් පිටරටවලට පිටත්ව යමින් සිටී. රජයේ රැකියා අපේක්ෂා කරන තරුණ පෙළ එයට වෙනස් පැතිවලට යොමුවන පරිදි ආකල්ප ඇති කිරීම වැදගත්ය. නිෂ්පාදනයට යොමු කළ හොත් ආර්ථිකයට විශාල ශක්තියකි. 
2024 සඳහා වූ ලෝක ව්‍යවසායකත්ව දර්ශකයට පරිදි ඉඩ ඇති හොඳම රටවල් සියයක ලැයිස්තුවක් සකස් කර ඇත. ශ්‍රී ලංකාව අසූ වැනි ස්ථානයේ පසුවේ. නවෝත්පාදනයට ඉඩ අඩුය. තරගකාරීත්වය සාමාන්‍ය තත්වයක පවතී. පුහුණු ශ්‍රමය අඩු අතර යටිතල පහසුකම් ප්‍රමාණවත් නැත. ප්‍රාග්ධනය සපයා ගැනීම දුෂ්කරය. රට තුළ ව්‍යවසායකයන් ඇති කරන වැඩපිළිවෙළවලට කලින් ජාත්‍යන්තරය පෙන්වා දෙන මෙම කරුණු සාවධානව අධ්‍යයනය කිරීම සුදුසුය. තීරණ ගන්නා සහ ප්‍රතිපත්ති හදන නිලධාරීන් අභ්‍යන්තරය හඳුනාගෙන කටයුතු කිරීම වටී. මෙම ලැයිස්තුව අනුව ව්‍යවසායකත්වයට වඩාත් හිතකර රට බවට ඇමරිකාව පත්ව ඇත. දෙවැනුව ජර්මනිය හා බ්‍රිතාන්‍ය හොඳම තැන් වශයෙන් වාර්තා කර තිබේ. 


පුද්ගල බදු වෙනුවට ව්‍යවසායකත්වය
පසුගිය වසර දහයක කාලය තුළ මෙරට රජයේ සේවය කරන පිරිස දෙගුණයක් වී තිබේ. මෙවැනි පසුබිමක ආර්ථිකය දුර්වලවීම වැළැක්විය නොහැකිය. දියුණු රටවල පළමු උපාය ධනය බිහිකිරීමට ඉඩදීමයි. ධනය නිපදවිය හැක්කේ ව්‍යවසායකත්වයටය. රටට දැනෙන ආර්ථීක වර්ධනයක් පවත්වාගෙන යන්නට නම් දළ දේශීය නිෂ්පාදිතයේ සියයට අටක් දහයක් අතර වාර්ෂික වර්ධනයක් පවත්වාගෙන යා යුතුය. එය දැනට පවතින සියයට පහක ප්‍රතිශතය ප්‍රමාණවත් නැත. මෙම වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් වශයෙන් සියයට 25 ඉක්මවීම අවශ්‍යය. ආණ්ඩුවේ ආයෝජනය සාමාන්‍යයෙන් සියයට පහක පමණ ප්‍රමාණයක් වන විට ඉතිරි පරතරය පියැවිය යුතු පෞද්ගලික අංශයයි. රට තුළ ව්‍යවසායකත්වය හා එයින් අලුත් ව්‍යාපාර බිහිවන විට එයින් රජයට තවත් බදු ආදායම් මාර්ග පාදාගන්නට හැකියාව ලැබේ. 
ජනතාව මත තව තවත් බදු බර පැටැවීම වෙනුවට ව්‍යවසායකත්ව ක්‍රමවේද ඉතාම වැදගත්ය. රජය බදු ප්‍රවර්ධන සතියක් ප්‍රකාශයට පත් කරනලද අතර අලුත් බදු ලිපිගොනු මිලියන ගණනක් හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් මෙම ලිපිගොනුවල දත්ත පරීක්ෂා කළ පසු බදු ගෙවිය හැකි පිරිස සහ ලබාගත හැකි ආදායම ගැන තක්සේරුවක් ලැබේ. විකල්ප පියවරක් වශයෙන් ජනතාවගේ ආදායම වැඩි කරගත හැකි පරිදි ප්‍රසාරණයක් අවශ්‍ය කෙරේ. ප්‍රසාරණය තුළින් වැඩි ආදායමක් උපයන පසු කොටසක් බදු වශයෙන් ලබා ගත හැකිවේ. රජයේ සේවයට බඳවා ගන්නා පිරිස ඉහළ නංවන අතර ඔවුන්ට වැඩි වැටුප් සඳහා මහජනතාව මත බදු යනු රටක් දියුණු කරන මාර්ගයක් නොවේ. 


විරැකියා අනුපාතය වැඩිවන ඉදිරි කාලසීමාව
අලුත් වාර්තා අනුව මෙරට තරුණයන් අතරින් අවුරුදු 15-24 අතර වයස් කණ්ඩායමේ විරැකියා ප්‍රතිශතය ඉතා ඉහළය. 2024 වසරේ විරැකියා ප්‍රතිශතය සියයට 4.4 ක් වශයෙන් තිබුණි. ඉතිහාසයේ වැඩිම විරැකියා අනුපාතය වාර්තා වෙන්නේ දශක තුනකට කලින්ය. එය සියයට හයක ප්‍රතිශතයකි. රට හැර යන ප්‍රවණතා හේතු කරගෙන පාලනය වී ඇත. එයින් බැහැරව විරැකියාව දුරුකිරීමේ දී ව්‍යවසායකත්වය ද අංශයකි. අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර නිසි පියවර ගැනීම අවශ්‍යය. කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශවල උන්නතියක් වෙනුවෙන් පුළුල් වෙනස්කම් ඇති කළ යුතුය. 
රට සංවර්ධනය කිරීමේ දී අලුත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම අවශ්‍යය. බැංකු පද්ධතිය සමග සම්බන්ධයක් නැති තරුණ පිරිස වෙනුවෙන් අලුත් අරමුදල් සම්පාදනය කර ව්‍යවසායකත්වයකට රාමුව සකස්කිරීම අවශ්‍යය. අඩුම තරමින් ව්‍යවසාය සඳහා සපයන අරමුදල්වල අවදානම් ණය සඳහා රක්ෂණ ක්‍රමයක් ඇරඹිය හැකි අතර එම රක්ෂණය ව්‍යවසායකයන්ගේ තවත් බරක් නොවන පරිදි සකස් කළ යුතුවේ. ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ ජන කොටස්වලට තියුණු බලපෑමක් කළේය. විරැකියා අනුපාතය එහි ප්‍රතිඵලයකි. ආකල්ප වෙනස්කිරීමකින්, ආර්ථික ප්‍රතිසංස්කරණයකින් විශාල වෙනස්කම් ඇති කළ හැකිය. ඉගෙන ගැනීම අවසන් කළ පසු ආණ්ඩුවේ රැකියාවක් අපේක්ෂා කරයි. යමක් නිපදවා හොඳ ව්‍යවසායකයකු බවට පත්වන අධිෂ්ඨානය සුළු පිරිසකට ඇත. ඔවුහු අසීමිත බාධක මැද නැගී සිටින්නට වැර දරති. රට ගොඩනැගීමේ දී ව්‍යවසාය සම්බන්ධව ප්‍රතිපත්ති හදන්නට ආණ්ඩුව තීරණ ගත යුතු මොහොත උදා වී තිබේ.