පසුගිය වසරේ පළමු අර්ධයට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයක්
සම්පත් බැංකුව 2026 වසරේ ජුනි 30 වන දිනෙන් අවසන් වූ පළමු අර්ධය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, මුළු මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 ක් ලෙස සටහන් කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 17 ක වර්ධනයකි. මේ සඳහා මූලික වශයෙන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම (NII) හා ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම දායක වූ අතර එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙළින් සියයට 11ක සහ සියයට 26 වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, අපහායන අයකිරීම් සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් බැංකුවේ ඉපැයීම් කාර්යසාධනය සීමා වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස, ශුද්ධ මෙහෙයුම් ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 10 ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කරන ලදී.
නව උපායමාර්ගික මුලපිරීම් ක්‍රියාවට නැංවීම සඳහා සිදු කළ නව සේවක බඳවා ගැනීම් හා තොරතුරු තාක්ෂණය ආශ්‍රිත අඛණ්ඩ ආයෝජන හේතුවෙන් මෙහෙයුම් වියදම් ඉහළ යාම මධ්‍යයේ බැංකුව රුපියල් බිලියන 16.6 ක බදු පසු ලාබයක් වාර්තා කළ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 13 ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ප්‍රතිඵලය බැංකුවේ ව්‍යාපාරික ආකෘතියේ ශක්තිමත්භාවය මනා අවදානම් කළමනාකරණය සහ පාර්ශ්වකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරමින් තිරසාර ලාබදායීතාවක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබිඹු කරයි.
2026 ජූනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සම්පත් සමූහයද රුපියල් බිලියන 26.6 ක බදු පෙර ලාබයක් සහ රුපියල් බිලියන 17.9 ක බදු පසු ලාබයක් වාර්තා කරන ලදී.
සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොලී ආදායම රුපියල් බිලියන 97.8 ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 9ක වර්ධනයකි. මේ සඳහා ණය කළඹෙහි සිදු වූ අඛණ්ඩ වර්ධනය හා අවදානම් මත බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතයෙහි (AWPLR) සිදු වූ උච්ඡාවචනය මූලික වශයෙන් හේතු විය.
පොලී වියදම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 8 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 55.1 ක් ලෙස වාර්තා වූ අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ තැන්පතු පදනමේ වර්ධනය සහ ණය කළඹෙහි සිදුවූ වේගවත් වර්ධනයට සහාය වීම සඳහා ලබාගත් අමතර ණය ගැනීම්ය. කෙසේ වෙතත්, පොලී ආදායමේ වර්ධනය පොලී වියදමෙහි වර්ධනය ඉක්මවා ගිය බැවින්, ශුද්ධ පොලී ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 11 කින් වර්ධනය වී රුපියල් බිලියන 42.8ක් ලෙස වාර්තා විය. වෙනස්වන පොලී අනුපාත සහිත පරිසරයක් තුළ වුවද පොලී ආන්තිකය කාර්යක්ෂමව කළමනාකරණය කරමින් අඛණ්ඩ වර්ධනයක් පවත්වාගෙන යාම සඳහා බැංකුවේ ඇති හැකියාව මෙමගින් පෙන්නුම් කරයි.
මේ අනුව, බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) දල 2025 වසරේ වාර්තා කළ සියයට 4.11 සිට සියයට 4.21 දක්වා වර්ධනය විය. වෙළෙඳපොළ පොලී අනුපාතිකවල හිතකර වෙනස්වීම් හමුවේ ණය හා අත්තිකාරම් කළඹෙන් ලැබූ ප්‍රතිලාභ අනුපාතිකවල වර්ධනය හා ණය කළඹෙහි සිදු වූ අඛණ්ඩ වර්ධනය මෙම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක විය.
2026 වසරේ පළමු අර්ධය සඳහා සම්පත් බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 30කින් වර්ධනය වී රුපියල් බිලියන 20.5ක් දක්වා ඉහළ ගියේය. මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වූයේ ගාස්තු හා කොමිස් ආදායමේ අඛණ්ඩ වර්ධනය සහ විදේශ විනිමය ගනුදෙනුවලින් ලැබූ ආදායමේ සැලකිය යුතු ඉහළ යාමයි.
බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සියයට 26 කින් වර්ධනය වී රුපියල් බිලියන 12.2 ක් ලෙස වාර්තා වූ අතර, බැංකුවේ ණය කළඹෙහි අඛණ්ඩ වර්ධනය සහ ප්‍රධාන ව්‍යාපාරික අංශයන්හි ගනුදෙනු පරිමාවන් ඉහළ යාම මෙම වර්ධනය සඳහා හේතු විය.
එමෙන්ම, මුළු විනිමය ආදායමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් රුපියල් බිලියන 7.2 ක් වාර්තා කළ අතර, එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 198 ක වර්ධනයකි. මෙම වැඩිවීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ සලකනු ලබන කාලපරිච්ඡේදය තුළදී ඇමෙරිකානු ඩොලරයට (USD) සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 26.12 කින් අවප්‍රමාණය වීම සහ විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණයේ ඉහළ යාමයි.
කෙසේ වෙතත්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීමෙන් ලැබූ ප්‍රාග්ධන ලාබ 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා වූ රුපියල් බිලියන 3.5 සිට සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 1.0 දක්වා අඩුවිය. පවතින වෙළෙඳපොළ පරිසරය යටතේ ප්‍රාග්ධන ලාබ වාර්තා කිරීමට තිබූ අවස්ථා සීමිත වීම මෙම අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු විය.
බැංකුව විසින් 2026 පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 5.0 ක අපහායන අයකිරීමක් හඳුනා ගත් අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 1.2 ට සාපේක්ෂව රුපියල් බිලියන 3.8 ක වැඩි වීමකි. මෙම වර්ධනය වූ අපහායන වියදම් සඳහා බැංකුවේ ණය කළඹේ අඛණ්ඩ වර්ධනය හා අනුගමනය කරන ලද විචක්ෂණශීලී ප්‍රතිපාදන ප්‍රතිපත්තිය බලපානු ලබයි.

