වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම්


Wickramarachchi Institute of Science & Technology (WIST) විසින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලය (AHK Sri Lanka) සහ Deutsche Gesellschaft for Internationale Zusammenarbeit (GIZ) GmbH සමග එක්ව, දෘෂ්ටි තාක්ෂණ ශිල්පී (Optical Technician) පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද සහතිකපත් ප්‍රදානෝත්සවයක් පසුගියදා දෙල්කඳ පිහිටි WIST පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසු සිසුවියන් 40 කට අධික පිරිසක් මෙහිදී සහතික හිමිකරගත්හ.  
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය, කිසිදු භේදයකින් තොරව සැමට ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් සඳහා අවස්ථාව උදාකර දීම සහ ඒ ඔස්සේ ආබාධ සහිත පුද්ගලයන්ට අර්ථවත් වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අත්වැලක් වීම සඳහා දරනු ලබන පුරෝගාමී ප්‍රයත්නයක තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. WIST සහ GIZ’ විසින් එක්ව පිරිනමන ලද Optical Technician සහතිකපත් පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන් මෙම සුදුසුකම් හිමිකරගත් අතර, ඔවුහු තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් සහතිකකරණය කරන ලද Optician (Ophthalmic) ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) 3 වන මට්ටම ද ලබාගත්හ. මෙම පාඨමාලාව මගින් ශ්‍රී ලංකාවේ ඉහළ ඉල්ලු‍මක් සහිත දෘෂ්ටි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ජීවිත ගොඩනංවා ගැනීමට අවශ්‍ය තාක්ෂණික නිපුණතා සහ ප්‍රායෝගික කුසලතා සමඟ ඉහළ පිළිගැනීමක් සහිත සුදුසුකම්ද හිමි වේ. 
මෙහිදී අදහස් දක්වමින් Wickramarachchi Institute of Science & Technology හි සභාපති ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා පැවසුවේ, මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය අධ්‍යාපනය සැමට විවෘත දෙයක් බවට පත් කිරීම සඳහා ආයතනය දක්වන දීර්ඝකාලීන කැපවීම මැනැවින් පිළිබිඹු කරන බවයි.
“සෑම පුද්ගලයකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට, කුසලතා වර්ධනය කරගැනීමට සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනංවා ගැනීමට නිසි අවස්ථා හිමි විය යුතුයි. මේ සහතිකපත් ප්‍රදානෝත්සවය හුදෙක් අධ්‍යාපනික ජයග්‍රහණ සැමරීමක් පමණක් නොව, මෙම සුවිශේෂී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ධෛර්යය, අධිෂ්ඨානය සහ හැකියාවට පිදෙන උපහාරයක්ද වනවා. ඔවුන්ගේ ගමනේ කොටස්කරුවකු වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වන අතර, ඔවුන් සියලු‍ම දෙනාට දියුණුව කරා යමින් සමාජයට අර්ථවත් ලෙස දායක වීමට අවස්ථාව ලැබෙන, කාටත් විවෘත අධ්‍යාපන ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම සඳහා අප අඛණ්ඩව කැප වී සිටිනවා.” ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා පැවසීය.
මෙම වැඩසටහන, අධ්‍යාපනයට ඇති බාධා ඉවත් කිරීම, රැකියා වෙළෙඳපොළේ පවතින සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන්ට විශ්වාසයෙන් යුතුව ශ්‍රම බලකායට එක්වීමට අවස්ථා උදාකර දීම සම්බන්ධයෙන් WIST, AHK Sri Lanka සහ GIZ’ දක්වන පොදු උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරයි. අධ්‍යාපන ප්‍රවේශය පහසු කිරීම සඳහා දරන අඛණ්ඩ ප්‍රයත්නයක කොටසක් ලෙස J.M. Wickramarachchi & Co. (JMW) ආයතනය ද මෙම වැඩසටහනට එක් වූ සියලු‍ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව පිරිනැමූ අතර, එමගින් මූල්‍යමය දුෂ්කරතා තවදුරටත් අවම කරමින් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීමට ඔවුන් දිරිගන්වන ලදි.
මෙම උපාධි ප්‍රදානෝත්සවයට වැඩසටහනේ හවුල්කාර ආයතනවල නියෝජිතයන් සහ සම්භාවනීය ආරාධිතයෝ රැසක් සහභාගි වූහ. ඒ අතර  Wickramarachchi Institute of Science & Technology හි සභාපති ආචාර්ය මිහිර වික්‍රමාරච්චි, JMW හි ප්‍රධාන විධායක නිලධාරිනී සහ WIST හි අධ්‍යයන උපදේශිකා ලීසා වික්‍රමාරච්චි, WIST  හි අධ්‍යක්ෂ සහ JMW හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්ය කෝල් ලෝමාස්, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කාර්යාලයේ ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස්, WIST හි ප්‍රධාන උපදේශිකා මහාචාර්ය සාවිත්‍රි වසුන්දරා විමලසේකර, WIST හි අධ්‍යාපන හා පුහුණු අංශ ප්‍රධානී කුෂානි නදීමා සමරසේකර, GIZ GmbH  හි ව්‍යාපෘති තාක්ෂණික අංශ ප්‍රධානී කුමුදිනී රෝසා යන මහත්ම මහත්මීහු ද වූහ.