මිහින්තලේ වෙළඳ කුටි වල් වැදී කුඩා වෙළෙන්දෝ දුෂ්කරතා රැසක


 මිලියන ගණනක් වැය කොට ඇති වෙළෙඳ කුටි විනාශ වෙමින් ඇති අන්දම


  • ලක්ෂ ගණනක් වැයකර හැදූ කඩකෑලි වසර දහයක් තිස්සේ තවමත් කැලේ
  • වෙළෙඳ කුටි හැදුවා පමණයි, සුදුස්සන් අතර බෙදාදීමක් කර නැහැ
  • වෙළෙන්දෝ අව්වෙන්, වැස්සෙන් පීඩාවට
  • වෙළෙඳ කුටි රිළවුන්ගේ, සුනඛයින්ගේ අගුපිල් වෙයි
  • මිහින්තලය ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කරන ලෙසත් ඉල්ලීමක්

බුල්නෑව ප්‍රදීප් රණතුංග 


යු.බී. චන්ද්‍රාවතී

ඩී.එම්. දිසානායක

කේ.බී. වසන්තා මල්ලිකා

ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ කඳු පාමුල මිලියන ගණනක් මුදලක් වැයකර 2014 වර්ෂයේ දී ඉදිකර ඇති කුඩා වෙළෙඳ කුටි මෙතෙක් සුදුස්සන් වෙත ලබාදීමට පියවර ගෙන නැතැයි ඒ ආශ්‍රිතව වෙළෙදාමෙහි නියුතු වෙළෙන්දෝ පවසති. මේ හේතුවෙන් අව්වෙන්, වැස්සෙන් හිරිහැර විදිමින් වෙළෙදාමේ යෙදීමට සිදුව ඇති බව ඔවුහු පවසති. එවක නාගරික සංවර්ධනය අධිකාරිය මගින් ඉදිකර ඇති මෙම කුඩා වෙළෙඳ  කුටි 20 ක් මෙසේ නිකරුනේම විනාශ වෙමින් තිබේ. 

අවුරුදු විස්සකට ආසන්න කාලයක් තිස්සේ මිහින්තලය පුද භූමිය ආශ්‍රිතව වෙළෙඳාමෙහි නියුතු යු.බී. චන්ද්‍රාවතී මහත්මිය ඒ පිළිබඳව මෙසේ පැවසුවාය.

“කාටවත්ම ප්‍රයෝජනයක් නැතිව මේ කඩකෑලි විනාශ වෙන එක ගැන ඇත්තටම දුකයි. අපි කඩකෑලි ඉස්සරහා තියාගෙන වෙළෙඳාමක් කරගෙන කීයක් හරි හොයාගන්නවා. ඒත් වහින දවස්වලට වෙළෙඳාම් කරන්න විදිහක් නෑ. පායන කාලෙට දූවිලි විමානේ. සමහරු නම් තාවකාලික කඩකෑලි හදන් ඉන්නවා. අපිට එහෙමවත් නෑ. අපි කඩකෑලි ඉස්සරහා ඉන්නකොට, බල්ලෝ, රිළව් එහෙම ඒවා ඇතුළේ ඉන්නවා. අපිත් ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්නනේ මේ බලන්නේ. අපෙන් කාටවත් කරදරයක් නෑ. ඒත් අපිට කාගෙන්වත් උදව්වක් නෑ. හදපු දෙයක්වත් ඒකනේ අපිට නොදෙන්නේ.”

මෙම වෙළෙඳුන් මෙහි එන වන්දනාකරුවන් වෙත නෙලු‍ම්, ඕලු‍ ආදි මල් වර්ග, විවිධ රසකැවිලි, පලතුරු, අත්කම් නිර්මාණ, කුඩා සෙල්ලම් බඩු, තේ පැන් ආදිය අලෙවි කරමින් දිවිගෙන යෑමට වෙහෙස වෙති. සමහරෙකු ඔවුන් විසින්ම ඉදිකොට ගත් තාවකාලික වෙළෙඳ කුටි තුළට වී වෙළෙඳාවේ යෙදෙති. සමහරකුට එවැන්නක් හෝ නොමැත. එසේ වෙළෙඳාමේ යෙදී සිටින පිරිස 65 කට අධික බව සඳහන්වේ.

කලක සිට මෙහි රසකැවිලි වෙළෙඳාමේ යෙදී සිටින කේ.බී. වසන්තා මල්ලිකා මහත්මිය මතුව ඇති දුෂ්කරතා පිළිබඳව මෙසේ පැවසුවාය.

“රිළවුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. පොඩ්ඩක් හරි එහේ මෙහේ වුණොත් ඉවරයි. මේ නිකං නිකරුනේ ඇතෑරලා දාලා තියෙන කඩකෑලි තුන් පැත්තකින් වට කරලා, ඉස්සරහින් හදිසියකට වහගන්න පුළුවන් පිළිවෙළකට හදලා දුන්නොත් නම් කරදරයක් නැතිව වෙළෙඳාමක් කරගන්න පුළුවන් වෙයි. අඩුම තරමින් කඩකෑලි බෙදලා දුන්නොත් අපිට එහෙම දෙයක් හරි කරගන්න පුළුවන්. ඒ කිසි දෙයක් නෑ නිකංම මේ ගොඩනැගිලි විනාශ වෙලා යනවා. දැන් මේවා හදලා අවුරුදු දහයකට වැඩියි.” 

අව්ව, වැස්ස සේම වඳුරන්ගෙන් සහ රිළවුන්ගෙන් මෙම වෙළෙඳුන්ට ඇති පීඩාවල ද අඩුවක් නැත. ඇහි පිය හෙළන සැනින් රිළවුන් වෙළෙඳාමට ඇති දෑ රැගෙන පැන යන බව ඔවුහු පවසති. වෙසක් සහ පොසොන් පොහොය දිනවලදී හැරුණු විට ව‍සරේ අනෙක් බොහෝ දිනවල මිහින්තලා පුදබිම වෙත වන්දනාකරුවන්ගේ පැමිණීම දැඩි ලෙස පහත වැටේ. මෙපරිද්දෙන් තවමත් මෙම ඓතිහාසික භූමිය ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් නොවීමද දෛනික කුඩා වෙළෙඳුන්ගේ ජීවනෝපාය බිදවැටීමට හේතුවී තිබේ. 

වසර ගණනාවක සිට මෙහි වෙළෙඳාමේ යෙදී සිටින ඩී.එම්. දිසානායක මහතා පැවසුවේ මෙවැනි කතාවකි.

“මට මතකයි මේ කඩ කෑලි මීට අවුරුදු ගාණකට කලින් බෙදන්න හැදුවා. හැබැයි ඒ මෙතැන ඉන්න අපිට නෙමෙයි පිට ඉන්න අයට. අපි විරුද්ධ වුණ හින්දා ඒක නැවතුණා. මෙතැන ඉන්න අයගෙන් සුදුසුම අය බලලා මේ කඩ ටික බෙදලා දීලා අනිත් අයටත් වෙළෙඳාමක් කරගන්න සුදුසු වැඩපිළිවෙළක් හැදුවා නම් මේ ප්‍රශ්නේ ඉවරයි. මේ ඉන්න හැමෝම ජීවත් වෙන්නේ, දරුවන්ට උගන්නන්නේ මේ හොයා ගන්න කීයෙන් හරි. ලොකු පිනක් අපිට මේ උදව්ව කරන්න පුළුවන් නම්.” 

මිහින්තලය පුදබිම ආශ්‍රිතව ඉදිකර ඇති රථගාල් තුනක් දැකගත හැකිව තිබේ. ඉන් එක් රථ ගාලක් මෙසේ විනාශ වෙමින් ඇති වෙළෙඳ කුටි වෙත යාව පිහිටා තිබේ. කුඩා වෙළෙඳුන් වැඩිම පිරිසක් සිටින්නේද කදු පාමුළ පිහිටි මෙම රථගාල ආශ්‍රිතවය. මිහින්තලය පුදබිමට පිවිසෙන මාර්ගයෙහි පිහිටි වතුර මල ආසන්නයේ තවත් රථ ගාලක් පිහිටා තිබේ. උඩමලු‍වෙහි තවත් රථගාලක් පිහිටා තිබේ. ඉදිකොට ඇති ස්ථිර වෙළෙඳ කුටි සීමාසහිත වීමත්, වෙළෙඳුන් වැඩිවීමත් මෙහි ඇති අර්බුදයේ තවත් පැතිකඩකි. මේ සියලු‍ තත්ව කෙරෙහි අවධානය යොමු කරමින් මිහින්තලය කදු පාමුළ වෙළෙඳ කුටි සුදුස්සන් වෙත බෙදාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස මෙහි වෙසෙන කුඩා වෙළෙන්දෝ බලධාරින් වෙතින් ඉල්ලීමක් කරති.