මිල පහළ වැටී ළතැවෙන පුත්තලමේ ලු‍ණු ගොවියෝ


ශ්‍රී ලංකාවේ ලු‍ණු අවශ්‍යතාවෙන් සියයට 50 ත් 55 ක් ලැබෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මුන්දලම, මන්ගලඑළිය, පාලවිය, දළුව, කල්පිටිය, වනාතවිල්ලු‍ව ප්‍රදේශවලින් 

මහ පැවිල්ලට පුත්තලමේ ලු‍ණු අස්වැන්න සරුවෙද්දි මිල පහළට

ඉන්දියන් ලු‍ණු කිලෝ 50ක් රුපියල් 4,000 ක්. 

පුත්තලම ලු‍ණු 2,000ට බහී

මීල පහත වැටිම හමුවේ පවතින වියදම් එක්ක කර්මාන්තය ගෙනියන්න අමාරු තත්වයක් 

අක්කර 10,000 කට ආසන්න භුමි ප්‍රමාණයක මේ වන විට ලු‍ණු වගාකරලා 

පොකුණු ඉස්සන් ඇති කිරීමට යොදා ගත් ඉස්සන් ටැංකි විශාල වශයෙන් ලු‍ණු වගාවට යොදාගෙන 

දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනිමේ අරමුණින් ඉන්දියන් ලු‍ණු සඳහා සියයට 40 ක වෙළෙඳ බද්දක්’


ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ 


මහ වැසි හේතුවෙන් පසුගිය කාලයේ පුත්තලමේ අහිමිව ගිය ලු‍ණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතී. එහෙත් අහස උසට ගිය ලු‍ණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලු‍ණු ලේවායවල කළ සංචාරයේදී තහවුරු වුණි.

ශ්‍රී ලංකාවේ ලු‍ණු අවශ්‍යතාවෙන් සියයට 50 ත් 55 ක් පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මුන්දලම, මන්ගලඑළිය, පාලවිය, දළුව, කල්පිටිය, වනාතවිල්ලු‍ව, ප්‍රදේශවලින් ලැබේ. අක්කර 10,000 කට ආසන්න භුමි ප්‍රමාණයක මේ වන විට ලු‍ණු වගාකරන අතර එහි වගාකරුවෝ 1,000 ක පමණ පිරිසක් එක්ව සිටිති.

පුත්තලම ලු‍ණු වගාව ආරම්භය සිදුවන්නේ ශත වර්ෂ ගණනාවකට පෙර බව සාක්ෂී සහිතව සනාථ වෙයි. එහි එක් සාක්ෂියක් ලෙස සදහන් කළ හැක්කේ මුස්ලිම් ජාතික ගවේෂකයකු වන මොරෝක්කෝ ජාතික ඉබ්න බතුතා 1,304 සිට 1368 ලෝව වටා කළ සංචාරය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එහිදී පුත්තලම නගරය ඔහුගේ එක් නැවතුම් පලක් වි තිබීමය.

එහිදී ඔහු පුත්තලමේ ලු‍ණු කර්මාන්තය පිළිබඳව තැබු සටහන් රැසක් ඇති බව කියයි.

එහෙයින් පුත්තලමේ ලු‍ණු කර්මාන්තයට ඇති ඉතිහාසය මනාව පැහැදිලි වෙයි. ඒ නිසාම “සුකිරි වගේ පුත්තලමේ මිදුනු ලු‍ණු” කියමනක්ද ජනවහරේ තදින් බැදි පවති.

ඒ තරමට පුත්තලම ලු‍ණු කර්මාන්තයට ඇලි ගිය අතීතයක් පවතී.

ලු‍ණු කර්මාන්තයට මේ වන විට අලු‍ත් දායකත්වයක් ලැබි තිබේ. ඒ දශක කිපයකට පෙර පොකුණු ඉස්සන් ඇති කිරීම සඳහා යොදා ගත් ඉස්සන් ටැංකි විශාල වශයෙන් ලු‍ණු වගාවට යොමු කිරීමය. එලෙස පොකුණු ඉස්සන් වගාවට යොදා ගත් ඉස්සන් ටැංකි මෙලෙස ලු‍ණු නිෂ්පාදනය සඳහා යොදා ගැනීම සිදුව ඇත්තේ ලු‍ණු නිෂ්පාදනය සඳහා වැය වන අඩු ප්‍රාග්ධනයත් ඉස්සන් වගාවෙදී විවිධ රෝග හා අධික වියදම හමුවේ එය දැරීමට ඇතැම් ව්‍යාපාරිකයන් මැලි වීමත් සමගය.

එසේම අඩු ප්‍රාග්ධනයක් යොදවමින් නිසි වියළි කාලගුණ තත්වයක් පවතින මාස වලදී සාරවත් ලු‍ණු අස්වැන්නක් ලබා ගැනිමට හැකිවීමත් හොඳ ආදායමක් ලබා ගැනිමට හැකිවිමත් මත ලු‍ණු කර්මාන්තයට නැඹුරු විම දැක ගත හැකිය. 

කෙසේ නමුත් ගෙවි ගිය කාලයේ නොනනත්වා පුත්තලම දිස්ත්‍රික්කයට ලැබුණ වැසිත් සමග නිසි ලු‍ණු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වී තිබුණි. පුත්තලම දිස්ත්‍රික්කයට ලැබුණ වැසි දිවයිනේ අනෙක් ප්‍රාදේශවලට ද ලැබීමත් සමග රටපුරා ලු‍ණු නිෂ්පාදනයට බාධා එල්ල වීම හේතුවෙන් ඉන්දියාවේ ගුජරාට්වල සිට මෙරටට ලු‍ණු ආනයන කිරීමට රජය කටයුතු කළේය.

ඒ සඳහා රජයේ වාණිජ විවිධ නිතිගත සංස්ථාව මගින් මෙට්‍රික් ටොන් 12,000 ක් පළමුව රැගෙන ආ නමුත් එය නිසි ලෙස කළමනාකරණ කර ගැනීමට නොහැකිවීමෙන් ලංකා සෝල්ට් ආයතතනය හරහා ලු‍ණු ගෙන්විම සිදුව තිබේ. 

පසුව ලු‍ණු ආනයනය කිරීමට ලු‍ණු කර්මාන්තශාලා හිමිකරුවන් සමග මහා පරිමාණ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් කටයුතු කර තිබු අතර ඒ අනුව මෙට්ට්‍රික් ටොන් 115,000 කට (එක් ලක්ෂ පහළොස් දාහකට) ආසන්න ප්‍රමාණයක් රැගෙන ඒමට කටයුතු කර ඇති බව කියයි.

කෙසේ නමුත් මේ වන විටත් එයින් මෙට්ට්‍රික් ටොන් 20,000 ක ප්‍රමාණයක් වරායෙන් නිදහස් කර ගනිමින් පවති.

කෙසේ වෙතත් මේ වන විට පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක ලු‍ණු අස්වැන්න ලබා ගනිමින් සිටින අතර ලු‍ණු නිෂ්පාදකයන් ඉන්දියන් ලු‍ණු කිලෝ 50 බැගයක් රුපියල් 4,000 කට ලබා ගනිමින් සිටියදි පුත්තලමේ ලු‍ණු කිලෝ 50 ක බෑගයක මිල රුපියල් 1,800 ත් 2,000 දක්වා පහත වැටි ඇති බව කියයි.

මේ පිළිබදව අදහස් දැක්වු පුත්තලම ලු‍ණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති රනිෂ් බදුර්දීන් මෙලෙස පැවසීය.

“මේ වෙද්දි පුත්තලමේ ලු‍ණු අස්වැන්න ලැබෙමින් පවතිනවා. අපේ ලු‍ණු වගාකරුවන් මේ දවස්වල ලොකු වෙහෙසක් ගන්නවා අස්වැන්න ලබා ගන්න. හොද අව් රශ්මිය අපිට සහනයක්.

හැබැයි ලු‍ණු මිල පහත වැටි තිබීම අපිට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. අපේ වගාකරුවන්ට මේ මිල ප්‍රමාණවත් නැහැ. අපි හිතන්නේ මෙයට වඩා හොඳ මිලක් තිබුණොත් හොඳයි. ඒ වාගේම අපිට ලු‍ණු වගා සඳහා ඉල්ලූ ඉඩම් පසුගිය ආණ්ඩු වලින් ලබා ගන්න බැරි වුණා. මේ නිසා අලු‍ත් රජයට අපි කියන්නේ මෙම කටයුතු සකසා දී පුත්තලමේ ලු‍ණු නිෂ්පාදනය වැඩි කරන්න උදව් කරන්න කියලා.

පුත්තලම ලු‍ණු නිෂ්පාදකයන්ගේ සංගමයේ වගාකරුවකු වන එස්. එම්. රිස්වි මෙසේ පැවසීය.

“පසුගිය කාලයේ වැසි එක්ක අපිට ලු‍ණු නිෂ්පාදනය කරන්න බැරිව ගියා. ඒ නිසා මේ වන විට පවතින වියළි කාලගුණය අපිට යහපත් වෙලා තිබෙන්නේ. එහෙත් මීල පහත වැටිම හමුවේ අපිට යන වියදම් එක්ක කර්මාන්තය ගෙනියන්න ටිකක් අමාරුයි. අපිට ගැළපෙන ලෙස යම් සහනයක් ලබා දීලා එය කරගෙන යන්න උදව් කරන්න කියලා තමයි ඉල්ලීම් කරන්නේ.

එම්. යු. අෆ්රුප් තරුණ වගාකරුවෙකි. තම පියාගේ ලේවායේ කටයුතු බාරව සිටින්නේ මෙම තරුණ ව්‍යවසායකයාය. මේ ඔහු කියූ කතාවයි.

“ලු‍ණු නිෂ්පාදනය දකින කෙනකු හිතන්නේ එතරම් ලොකු වැඩක් නොවෙයි කියලා. එහෙත් එය නිසි ලෙස කළ යුතු කර්මාන්තයක්. කම්කරු කුලිය ඇතුළු අනිකුත් වියදම් ගිහාම දැන් තියෙන මිලෙන් අපිට ලැබෙන්නේ පොඩි ගාණක් විතරයි. ඒ නිසා අපිට මේ කර්මාන්තය පවත්වාගෙන යන්න ගැළපෙන මුදලක් ලැබිය යුතුයි.

පසුගිය කාලයේ කිලෝ 50 රුපියල් 12,000ටත් ගියා. ඒ තරම් විශාල මුදලක් අපිට එපා. කර්මාන්තයට ගැළපෙන මුදලක් තමයි ලැබිය යුත්තේ.

වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතාගෙන් මේ වන විට ලු‍ණු සම්බන්ධව සිදුවන ක්‍රියා වලිය පිළිබදව කළ විමසිමේදී මෙසේ පැවසීය.

“රටතුළ ලු‍ණු අවශ්‍යතාව අනුව පසුගිය කාලයේ පැවති වර්ෂාව හේතුවෙන් ඉල්ලු‍මට ගැළපෙන සැපයුම ලංකාවේ ලු‍ණු නිෂ්පාදනයෙන් ලබා දීමට නොහැකිවිම නිසාතමයි ඉන්දියාවේ ජුජරාට්වලින් ලු‍ණු රැගෙන ඒමට සිදුවුණේ.

ඇත්තටම අපි ඉන්දියන් ලු‍ණු සඳහා සියයට 40ක වෙළෙඳ බද්දක් ගැහුවා. ඒ දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනිමේ අරමුණින්. අනිත් කරුණ තමා රට තුළ ලු‍ණු ලැබෙන වකවානුව කාලසිමා සලකා බලා පසුගිය ජුනි 10 වැනි දා වනවිට ලු‍ණු ආනයනය නවතා දැමුවා.

කෙසේ නමුත් මේ වන විට දේශීය ලු‍ණුවල මීල පහත වැටී තිබේනවා. ඇත්තටම එය තමා රටතුළ පැවතිය යුතු මිල. මොකද නිෂ්පාදකයා හා පාරිභෝකයා යන දෙපාර්ශවය අපි ආරක්ෂා කළ යුතුයි.