මහජන බැංකුවේ නව සභාපති චන්දන ගුණියන්ගොඩ වැඩ අරඹයි


මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස චන්දන ගුණියන්ගොඩ මහතා පත් කළ බව එම බැංකුව පවසයි. පසුගිය අගෝස්තු 25 වැනිදා ඒ මහතා එම ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගැනීමද සිදු කර තිබේ. මහජන බැංකුවේ හිටපු සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතාගෙන් පසුව ගුණියන්ගොඩ මහතා මෙම ධුරය සඳහා පත් කර තිබේ.   

වාණිජ බැංකුකරණයේ වසර 19ක් ඇතුළුව වසර 28කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති ගුණියන්ගොඩ මහතා, මූල්‍ය කළමනාකරණය, උපායමාර්ගික සැලසුම්කරණය, ව්‍යාපාර පරිවර්තනය, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය, පිරිවැය ප්‍රශස්තකරණය, මානව සම්පත් කළමනාකරණය, වත්කම් සහ බැරකම් කළමනාකරණය, අවදානම් කළමනාකරණය සහ නියාමන වාර්තාකරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක නිපුණත්වයෙන් යුතු බව බැංකුව පවසයි. 

මෙම පත් කිරිම කරන අවස්ථාව වනවිට ඒ මහතා බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටි අතර, එලෙස ස්වාධීන අධ්‍යක්ෂවරයකු රාජ්‍ය බැංකුවක සභාපති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් බැංකුව පවසයි.  

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහනට අනුකූලව මෙම කටයුතු සිදු කෙරී තිබේ. එසේම මහ බැංකුව මගින්ද අධ්‍යක්ෂවරුන්ගේ ස්වාධීනත්වය තිරීණය කිරිම සඳහා වන දැඩි නිර්ණායක හඳුන්වාදී ඇති අතර, මෙම පියවර හරහා අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින් ස්වාධීන අධීක්ෂණයේ කාර්යභාරයන් තවදුරටත් ශක්තිමත් වන බවත් බැංකුව පවසයි.