දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක් සඳහා මහජන බැංකුව රජයේ Rebuilding Sri Lanka අරමුදලට රු. මිලියන 300ක මුදලක් පරිත්‍යාග කරයි. මහජන බැංකුව සිය ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ 65 වැනි සංවත්සරයට සමගාමීව මෙය සිදුකරනු ලබයි.
මේ සඳහා වන සංකේතාත්මක චෙක්පත මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනැමීම කොළඹ 01, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදුකරන ලදී. මහජන බැංකුවේ අලෙවිකරණ ප්‍රධානී නාලක විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට සහභාගි විය,
2025 නොවැම්බර් මාසයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය නගරය නාය යාමට ලක් වූ අතර, විශාල පිරිසකගේ නිවාස ද විනාශයට පත් විය. ඔවුන්ට ස්ථිර නිවාස ලබා දීම සඳහා නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ වැඩසටහනට මහජන බැංකුව විසින් මෙම මූල්‍යාධාර පිරිනමන ලදී.
මෙම නිවාස සංකීර්ණය මහල් නිවාස ගොඩනැගිලි 3කින් සමන්විත වන අතර, එක් ගොඩනැගිල්ලකට නිවාස 40 බැගින් නිවාස 120ක් ඉදිකිරීමට අපේක්ෂිතය.
මීට අමතරව ජනතාවගේ පහසුව වෙනුවෙන් මාර්ග, වාහන නැවැත්වීමේ පහසුකම්, අපජල පද්ධති සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන විදුලි පහන්ද මෙහිදී ස්ථාපනය කෙරේ. එමෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, වෙළෙඳසල්, ක්‍රීඩාපිටි සහ බැංකු ශාඛාවක්ද මීට ඇතුළත් වේ. මෙහි එක් ගොඩනැගිල්ලක් මාස 6ක කාලයක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇති බැවින් ආපදාවට ලක්වූ පවුල්වලට ඉක්මනින්ම නව නිවසක පදිංචි වීමේ අවස්ථාවද උදා වනු ඇත.
මෙම ව්‍යාපෘතියේ සියලු සැලසුම් සහ උපදේශන කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් සිදු කරන අතර, ඉදිකිරීම් කටයුතු ජාතික ප්‍රමිතිවලට සහ නිසි නාගරික සැලසුම්වලට අනුකූලව සිදු කෙරේ.

