මහජන බැංකුවට 2026 පළමු අර්ධයේදී රු.බි. 32.6ක වාර්තාගත බදු පෙර ලාබයක්


 මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා


  • රුපියල් බිලියන 20.5ක වාර්තාගත ඒකල බදු පසු ලාබයක් 
  • රුපියල් බිලියන 32.6ක වාර්තාගත ඒකල බදු පෙර ලාබයක් 
  • සමස්ත මෙහෙයුම් ආදායම සියයට 17.7ක වර්ධනයක් සමග රුපියල් බිලියන 95.2ක් දක්වා ඉහළට 

මහජන බැංකුව, 2026 ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලසීමාව තුළ සිය ශක්තිමත් බව අඛණ්ඩව පවත්වා ගනිමින්, ඉහළ ලාබදායීත්වයක් අත්කර ගන්නා ලදී. මේ සඳහා ස්ථාවර, මූලික බැංකුකරණ කාර්යසාධනයේ අඛණ්ඩ වර්ධනය, වැඩිදියුණු වූ ලාබය සහ සාධනිය මූල්‍ය කළමනාකරණය වැනි සාධක හේතුවිය.

ඒ අනුව, දිනෙන් දින වෙනස් වෙමින් පවතින ගෝලීය සහ දේශීය ආර්ථික තත්ව මධ්‍යයේ වුවද, තම ඉපැයීම් ශක්‍යතාව සහ මූල්‍ය තත්වය අඛණ්ඩව ශක්තිමත් වීම මනාව පෙන්නුම් කරමින් මහජන බැංකුව අදාළ කාලසීමාව තුළ රුපියල් බිලියන 32.6ක බදු පෙර ලාබයක් සහ රුපියල් බිලියන 20.5ක වාර්තාගත බදු පසු ලාබයක් වාර්තා කරන ලදී.

මහජන බැංකුවේ ප්‍රධාන ආදායම් මාර්ග ඔස්සේ අත්කරගත් මෙම පුළුල් වර්ධනය, මෙම ඉහළ ලාබදායිත්වය සඳහා මූලික වශයෙන් හේතු විය. පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 80.9ක මුදල හා සසඳන විට, සමස්ත මෙහෙයුම් ආදායම සියයට 17.7කින් ඉහළ ගොස් එය රුපියල් බිලියන 95.2ක් දක්වා වර්ධනය වි ඇත. එමෙන්ම ශුද්ධ පොලී ආදායම සියයට 18.9ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එය රුපියල් බිලියන 69.3 සිට රුපියල් බිලියන 82.4ක් දක්වා ඉහළ අගයක් අත්පත් කරගැනීමට සමත්ව ඇත.
මහජන බැංකුව සිය ශුද්ධ පොලී සීමාවේ අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරන ලදී. වත්කම් හා බැරකම්වල පොලී අනුපාත, මිල ගණන් ඵලදායී ලෙස නැවත සකස් කිරීම සහ විධිමත් ශේෂ පත්‍ර කළමනාකරණය හේතුවෙන් එම අගය සියයට 4.1 සිට සියයට 4.4 දක්වා ඉහළ නැංවිණි. මෙම ප්‍රතිඵලයෙන් ණය හා අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් විචක්ෂණශීලී ප්‍රවේශයක් පවත්වා ගනිමින්, අඛණ්ඩ ව්‍යාපාරික වර්ධනය, ශක්තිමත් ලාබදායීත්වයක් සහිත ඉපැයීම් බවට පරිවර්තනය කිරීමට මහජන බැංකුව සතු හැකියාව මනාව පිළිබිඹු වෙයි,

බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.8ක මට්ටමක ස්ථාවර වීමත් සමග, එහි ශේෂ පත්‍රයේ අඛණ්ඩ ස්ථාවර ව්‍යාප්තියක් සහ මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කරන ලදී.

එමෙන්ම  දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය ප්‍රථම වරට රුපියල් ට්‍රිලියන 2.0 ක සන්ධිස්ථානය ඉක්මවා යමින් රුපියල් ට්‍රිලියන 2.1 ක් දක්වා ඉහළ යෑම තවත් විශේෂත්වයකි. මෙම ජයග්‍රහණයෙන් බැංකුවේ ප්‍රධාන ණය දීමේ ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ වර්ධනය මෙන්ම, ස්ථාවර සමස්ත මූල්‍ය තත්වයක් පවත්වා ගනිමින් සිය ව්‍යාපාරය පුළුල් කිරීමට මහජන බැංකුව සතු හැකියාව මනාව පිළිබිඹු වේ.
ණය ලබාදීමේ ක්‍රියාකාරකම්වල සිදුවී ඇති වර්ධනය වඩාත් ශක්තිමත් මූලික ආදායම් උත්පාදනය සහ වැඩිදියුණු වන ලාබ සීමා යන කරුණුවල එකතුව මහජන බැංකුවේ අඛණ්ඩ ලාබදායීතාවට ශක්තිමත් පදනමක් සපයා ඇති අතර, එහි ප්‍රධාන ව්‍යාපාරික අංශ තුළ ස්ථාපිත වී ඇති ධනාත්මක වර්ධනය තවදුරටත් ශක්තිමත් කරයි.

2026 වසරේ මුල් භාගය තුළ බැංකුවේ ලාබදායීත්වය සහ විචක්ෂණශීලී ශේෂ පත්‍ර කළමනාකරණය හේතුවෙන් එහි ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්වය තවදුරටත් ශක්තිමත් විය. 2026 ජුනි 30 වන විට බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය සියයට 18.2ක් දක්වා ඉහළ ගිය අතර, එය පළමු කාර්තුව අවසානයේ පැවති සියයට 17.9 සහ 2025 වසර අවසානයේ පැවති සියයට 16.5 හා සාපේක්ෂව ගත් කල කැපී පෙනෙන වර්ධනයකි. මෙම අනුපාතය නියාමන අවම මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. එමෙන්ම, බැංකුවේ  ඔසැර 1 ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතය සියයට 12.7ක් ලෙස වාර්තා විය.

සියලු‍ම මුදල් වර්ග ආවරණය වන පරිදි ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 212.3ක් සහ රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය සියයට 255.9ක් ලෙස වාර්තා විය. මෙම ශක්තිමත් ද්‍රවශීලතා සංචිත සහ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය මනාව පෙන්නුම් කරමින් මහජන බැංකුවේ ද්‍රවශීලතා මට්ටම ශක්තිමත්ව පැවතිණි.

සමස්ත ණය ප්‍රමාණයේ අඛණ්ඩ වර්ධනයට සමගාමීව මෙම ප්‍රධාන වත්කම් ගුණාත්මකභාවය පිළිබඳ දර්ශකවල සිදුවී ඇති දියුණුව මග`ින්, වැඩිදියුණු කළ ණය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග, විචක්ෂණශීලී ණය අවදානම් කළමනාකරණය සහ ශක්තිමත් මූල්‍ය තත්වයක් පවත්වාගෙන යමින් ඔරොත්තු දීමේ හැකියාව සහිත ශේෂ පත්‍රයක් පවත්වාගෙන යාම කෙරෙහි බැංකුව දක්වන අඛණ්ඩ අවධානය පිළිබිඹු කෙරේ.

සමූහයක් ලෙස මහජන බැංකුව 2026 වසරේ පළමු භාගය තුළ ශක්තිමත් වර්ධනයක් අඛණ්ඩව වාර්තා කළ අතර, ඒ සඳහා  මූලික බැංකුකරණ කටයුතු සාර්ථකව පුළුල් වීම, වැඩිදියුණු කළ සීමාවන් සහ විනයගරුක වූ විධිමත් පිරිවැය සහ අවදානම් කළමනාකරණය යන සාධක දායක විය. පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 31.0ක බදු-පෙර ලාබයට සාපේක්ෂව, සමූහය රුපියල් බිලියන 37.4ක බදු-පෙර ලාබයක් වාර්තා කළ අතර ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය සියයට 20.6ක වර්ධනයකි.

සමූහයේ ශේෂ පත්‍රය ස්ථාවරව පවත්වා ගනිමින් සිටින අතර සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.1ක් ලෙස වාර්තා විය. එමෙන්ම, දළ ණය සහ අත්තිකාරම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එමගින් සමූහයේ ව්‍යාපාරික අංශයන් තවදුරටත් ශක්තිමත් වී ඇති බව සහ ප්‍රධාන ව්‍යාපාරික අංශ හරහා ව්‍යාපාරික වර්ධනය අඛණ්ඩව සිදුවන බව තහවුරු වේ. එමෙන්ම ඵලදායී ශේෂ පත්‍ර නැවත මිල නියම කිරීම සහ අඛණ්ඩ ණය දීමේ ක්‍රියාකාරකම්වල සහාය ඇතිව සමූහයේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 79.0 සිට රුපියල් බිලියන 97.0 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර,  එය සියයට 22.9ක වර්ධනයකි.

සමූහයේ ශුද්ධ පොලී සීමාව සියයට 4.4 සිට සියයට 4.8 දක්වා වර්ධනය වූ අතර, ඒ තුළින් වත්කම් හා බැරකම් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ පොලී ආදායම් උපයන වත්කම්වල ප්‍රතිලාභ වැඩිදියුණු වීම පිළිබිඹු වේ. සමස්තයක් වශයෙන් ගත් කළ මෙම කාලසීමාව තුළ සමූහය සිය ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සහ මූල්‍යමය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවත්වාගත් අතර, එමඟින් රටේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගන්නා ලදී.

2026 වසරේ මුල් භාගය තුළ මහජන බැංකුවේ කාර්යසාධනය පිළිබඳව අදහස් දැක්වූ එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා, ‘නිතර වෙනස් වූ භූ-දේශපාලනික තත්වයන් සහ අඛණ්ඩ ආර්ථික අවිනිශ්චිතතා හේතුවෙන් වඩාත් සංකීර්ණ වූ ගෝලීය පසුබිමක් මධ්‍යයේ වුවද මහජන බැංකුව සිය ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව විදහා දැක්වූ බව පැවසිය.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින්  ‘නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය සහ දේශීය වටපිටාවක් තුළ බැංකුව සතු අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව සහ එහි ශක්තිමත් මූලික ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධාරණය කළේය. 

බැංකුවේ ශක්තිමත් මූලික ආදායම් උත්පාදනය, වැඩිදියුණු කළ ලාභ ආන්තිකයන්, ශක්තිමත් වත්කම් ගුණාත්මකභාවය සහ ස්ථාවර ශේෂ පත්‍ර තත්වය, එහි උපායමාර්ගික අවධානය සහ විනයගරුක මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව පිළිබිඹු කරන බවත්, එමගින් මහජන බැංකුව සිය ධනාත්මක වර්ධන වේගයේ ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගැනීමෙන් විවිධ අභියෝගවලට ශක්තිමත්ව ප්‍රතිචාර දැක්වීමට හැකි වන බවත් ඔහු සඳහන් කළේය.