
කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති දිමුතු අබේසේකර මහතා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගාල්ල ශාඛාවේ වැඩබලන ශාඛා කළමනාකරු බිමල් රත්නායක මහතා විසින් ගාල්ල ශාඛාව විවෘත කරනු ලැබූ අවස්ථාව.
කොළඹ කොටස් හුවමාරුවේ රට පුරා විසිරුණු ශාඛා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, එහි නවතම ශාඛාව ගාල්ලේදී නිල වශයෙන් විවෘත කෙරිණි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී. බී. පී. එච්. දිසාබණ්ඩාර, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම ශාඛාව විවෘත කෙරිණි.
කොළඹ කොටස් හුවමාරුව සතු මාතර, මහනුවර, කුරුණෑගල, මීගමුව, යාපනය, මඩකලපුව, අනුරාධපුර, රත්නපුර, පානදුර, බණ්ඩාරවෙල, කෑගල්ල සහ ගාල්ල යන ශාඛා ජාලයට අමතරව, 2026 මැයි මාසයේදී ගම්පහ ප්‍රදේශයේද නව ශාඛාවක් විවෘත කිරීමට නියමිතය.
ගාල්ලේ පිහිටි මෙම නව ශාඛාව මගින් මධ්‍යම තැන්පතු ක්‍රමය යටතේ ගිණුම් විවෘත කිරීම, කොටස් තැරැව්කාර සමාගම් අටක (8) සේවා ලබාගැනීම සහ අනාගත ආයෝජකයන් සඳහා අධ්‍යාපනික වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම ඇතුළු පුළුල් පරාසයක සේවා රැසක් සපයනු ලබයි.
මීට අමතරව, කොළඹ කොටස් හුවමාරුවේ පවතින විවිධ ලැයිස්තුගත කිරීමේ ක්‍රමවේද ඔස්සේ ප්‍රාග්ධනය රැස්කර ගැනීම සඳහා ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරිකයන්ට ප්‍රවේශය ලබාදීමේ සේවාවද මෙම ශාඛාව හරහා ලබා දේ.
ගාල්ලේ කුරුඳු සහ තේ කර්මාන්තය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ අතර පවතින සබඳතාව පිළිබඳව සමාරම්භක දේශනයේදී අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති දිමුතු අබේසේකර මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නෙළුව, ඇල්පිටිය සහ අම්බලන්ගොඩ වැනි ප්‍රදේශ, කුරුඳු සහ තේ ආර්ථිකයට සක්‍රීයව දායක වන ව්‍යාපාර පවතින ප්‍රදේශ. එම ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට තමන් සතු අතිරික්ත මුදල් දීර්ඝකාලීන ඉහළ ප්‍රතිලාභ ලබා දෙන මාර්ගවල ආයෝජනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින්. කොළඹ කොටස් හුවමාරුවේ නවතම ශාඛාව ගාල්ලේ විවෘත කිරීම හරහා ඔවුන්ට ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජන අවස්ථාව උදා වන බව අපට විශ්වාසයි.”
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී. බී. පී. එච්. දිසාබණ්ඩාර මහතා එම උත්සවයේදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “කොළඹ කොටස් හුවමාරුවේ 12 වැනි ශාඛාව ගාල්ලේ විවෘත කිරීම ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරනවා. මේ වන විට අපගේ ව්‍යාප්තිය සෑම පළාතකම දක්නට ලැබෙනවා. අපගේ මීළඟ ප්‍රමුඛතාව වන්නේ මෙතෙක් මෙවැනි සේවා අවම වශයෙන් ලැබුණු දිස්ත්‍රික්ක වෙත ළඟා වීමයි. එමගින් රට පුරා සිටින පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට කොටස් වෙළෙඳපොළ අවස්ථාව වෙත ප්‍රවේශ වීමට හැකි බව සහතික කිරීම අපගේ අරමුණයි.”
ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය. “අපගේ දැක්ම වන්නේ දුරස්ථ ප්‍රදේශ ද ඇතුළුව, රට පුරා විසිරී සිටින සුළු පරිමාණ ආයෝජකයන් සහ ව්‍යවසායකයන් ආකර්ෂණය කර ගනිමින් සැබෑ ලෙසම සියලු දෙනා ඇතුළත් කරගත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ගොඩනැගීමයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලුම ප්‍රජාවන් නියෝජනය කරන පුද්ගලයන්ට, ප්‍රාග්ධන වෙළෙඳපොළ හරහා ධනය උත්පාදනය කිරීමට සහ රටේ ආර්ථික ප්‍රගතියේ කොටස්කරුවන් වීමට අවශ්‍ය ශක්තිය ලබා දීම අපගේ අරමුණයි.”

