ප්‍රතිසංස්කරණය කළ යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ


 


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික මට්ටමේ ප්‍රධාන සහ විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත. අවාසනාවකට මෙන්, එහි උපායමාර්ගික වැදගත්කම, සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍ර, කෙටි කාලීන ‘ඉක්මන් විසඳුම්’ පිටස්තර ලෝකයෙන් උපුටා ගන්නා ලද විසඳුම් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පටු ඉදිරි දැක්ම මගින් මුළුමනින්ම පාහේ යටපත් කර ඇත. අතීතයේදී, බොහෝ විට, අධ්‍යාපන  ප්‍රතිසංස්කරණ කර ඇත්තේ ද දේශීය හා ගෝලීය සන්දර්භ (Context) දෙකෙහි අනාගත අවශ්‍යතා මත නොව දේශපාලන අභිප්‍රායන් මත බව අපි අත්විඳ ඇත්තෙමු.

තවද, අතීතයේදී අන්තවාදී වාමාංශික පක්ෂ අර්ථවත් ප්‍රතිසංස්කරණ උත්සාහය කඩාකප්පල් කළ බව ද දනිමු. ඒවා විශේෂයෙන්ම තෘතියික (tertiary) අංශයට අහිතකරව බල පෑ අතර ඒ නිසා අවසානයේ තරුණයන්ගේ හැකියාව මත ජීවිත ගොඩනගා ගැනීමට තිබූ අවකාශය සහ අනාගත ජීවිතය කඩාකප්පල් වූ සැටි අපි දුටුවෙමු.

ඕනෑම ප්‍රතිසංස්කරණයක මූලික අරමුණ වන්නේ පුද්ගල සහ සමාජීය දියුණුව සැලසීම සහ අනාගතයට මුහුණදීම සඳහා සමාජය සූදානම් කිරීමයි. අධ්‍යාපනය යනු මූලික වශයෙන් පවුලෙන් ආරම්භ කරනා, රටක දරුසම්පත සමාජගත කිරීමේ ක්‍රියාවලියකි. මවුපියන්ගෙන්, විශේෂයෙන් මව, සාම්ප්‍රදායිකාව දරුවකුගේ පළමු ‘මානව සම්පත් කළමනාකරුවකුගේ’ භූමිකාවට පණපොවනු ලබයි. විස්තෘත පවුල (Extended family) දරුවන් ඇති දැඩි කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන අතර, බොහෝ අවස්ථාවලදී, එම දරුවන් මවුපිය තත්වයට පත්වන විට ද දිගටම මඟපෙන්වීම ලබා දෙයි. එබැවින් හැදෙන වැඩෙන පරිසරය පුද්ගලයකුගේ සංවර්ධනයට උපායමාර්ගිකව කේන්ද්‍රීය වන අතර, එය ප්‍රාථමික අධ්‍යාපනය ගොඩනැගීමට අඩිතාලම ස්ථාපිත කරයි. එය ද්විතියික අධ්‍යාපනය  (Secondary Education) සාර්ථකව නිම කිරීමට බෙහෙවින් උපකාරී වන අතර එය තෘතීයික අධ්‍යාපනයට (tertiay education) සහ ලෝකයේ යථාර්ථයට මුහුණ දීම සඳහා මානසිකව සහ කායිකව හැඩගස්වා සූදානම් කරයි.

අධ්‍යාපනය යනු මානව හැසිරීම් (human behaviour)  මානයන් ආකල්ප, කුසලතා සහ දැනුම යන ත්‍රිවිධ මාන (dimensions) හරහා පුද්ගලයකු හැඩගස් වන ‘පරිවර්තන ක්‍රියාවලියක්’ ලෙස තේරුම් ගත යුතුය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පියවර ගැනීමට පෙර, සමාජයේ මූලික ව්‍යුහය, අධ්‍යාපනයේ සිවිල් පදනම, සංස්කෘතික, පවුල් සහ ප්‍රජා වටිනාකම් කිරීමේ මහඟු කර්තව්‍යයයේ උපාය මාර්ගික වැදගත්කම (Strategic importance) පළමුව පිළිගත යුතුය. කලින් අතහැර දමා තිබූ ප්‍රතිපත්ති නැවත බලාත්මක කිරීම හෝ දියුණු හෝ දියුණු වෙමින් පවතින විදේශීය සංස්කෘතීන්ගෙන් උපුටා, ණයට ගත් හෝ වෙනස් කරන ලද ආකෘති අනුගමනය කිරීම ඉතා අවදානම්සහගතය. තවද අධ්‍යාපනයේ සෑම අංශයක්ම ඩිජිටල්කරණය කිරීම සඳහා ඇති අතිමහත් උද්‍යෝගය ද ප්‍රායෝගික නොවේ. මන්දයත් සමාජයට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ඩිජිටල් ආකෘති බවට පරිවර්තනය කළ නොහැකි බොහෝ නිපුණතා අවශ්‍ය වන නිසාවෙනි.

පවුල, පූජනීය ස්ථානය සහ පාසල ස්වභාවික වූත්, ප්‍රායෝගික වූත් අධ්‍යාපනික ආකෘතියක් අපේ සංස්කෘතියෙන් අපිට දායාද කර ඇත. පවුල උපායමාර්ගිකව වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර, ආගම කුමක් වුවත්, පවුලෙන් ගොඩනගන දරුවාට, ආගමික ස්ථාන මගින් සමාජයට හිතකර පෞරුෂයක් දායාද කරන අතර අධ්‍යාපන ආයතන එම පෞරුෂය සමාජය උදෙසා යම් මෙහෙවරක් කිරීම සඳහා දැනුම, නිපුණතා සහ කුසලතාවලින් පරිපූර්ණ කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය මානව සංහතියේ ආරම්භයේ සිටම, අඛණ්ඩව, සෑම ශිෂ්ටාචාරයක් සඳහාම ශක්තිමත් අත්තිවාරම් දමා ඇත. 

ප්‍රතිසංස්කරණය කිරීමේදී පළමුව ‘ප්‍රතිසංස්කරණවාදීන්’ ශ්‍රී ලංකාවේ මූලික සංස්කෘතික සහ සමාජීය වටිනාකම් පද්ධතියට’ අදාළව, පවතින අධ්‍යාපන ක්‍රියාවලියේ පද්ධතිය සහ අනාගත අවශ්‍යතා අතර ඇති හිඩැස් තේරුම් ගත යුතුය. ශ්‍රී ලංකාවේ ‘වටිනාකම් පද්ධතිය (value system) පදනම් තුනක හොඳින් ස්ථාපිත වී ඇත. පවුල, ආගමික පරිසරය සහ පාසල්, මෙම රටේ ‘සංස්කෘතිය’ ගොඩනැගීම සහ ඉතාමත් සාර්ථකව ඉටුකරමින් යයි. මෙහිදී ‘සමාජීය තත්වය හෝ ස්ථරය’ යම් යම් හිතකර හෝ අහිතකර බලපෑමක් එල්ලකිරීමේ ප්‍රවනතාව නොවැළැක්විය හැකි කාරණයක් බව අපි ඉඳුරාම දනිමු.

ප්‍රතිපත්ති සම්පාදකයන්ට, සැලසුම්කරුවන්ට තනිකරම ශාස්ත්‍රීය ප්‍රවේශයක් ප්‍රතිසංස්කරණ සඳහා ගත නොහැක. මවුපියන්ට ද තම දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතියට ‘පහසු මාවතක්’ අඛණ්ඩ තක්සේරු කිරීම්, විභාග සහ ආවර්තිතා ඇගයීම් ඉවත් කිරීමෙන් සෙවිය නොහැක. මෙම ක්‍රියාවලිය ඔවුන්ගේ ‘කාර්යබහුල’ ජීවන රටාව නිසා සමහරුන්ට ‘වෙහෙසකර හෝ දුෂ්කර’ ලෙස හැඟෙන්නට අවකාශ ඇත. අද වන විට, බොහේ මවුපියන් විශේෂයෙන් මව්වරුන් තම දරුවන් වෙනුවෙන් පාසලෙන් නිවසේදී සම්පූර්ණ කිරීමට දෙන වැඩ, මවුපියන්  විශේෂයෙන් මව්වරුන් විසින් සම්පූර්ණ කර දෙන බව ප්‍රසිද්ධ රහසක් වන අතර යෞවන සිසුන් විශාල සංඛ්‍යාවක් කාලය ඉතිරි කර ගැනීමට සහ දුර්වල ශ්‍රේණි වළක්වා ගැනීමට කෙටි අදූරදර්ශී ක්‍රම වෙත යොමුවන බව නොරහසකි. මෙම දරුවන්ගෙන් සමහරක් කටුක යථාර්ථ සමග තනි වූ විට බලගැන්වීම (empowerment) අධ්‍යපනයේ ප්‍රධාන සහ අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයකි.

ස්ථාපිත වටිනාකම් පද්ධතියක් ඇති ශ්‍රී ලංකාව වැනි සමාජයක රැඩිකල් ප්‍රතිසංස්කරණ කිරීම ‘කාල බෝම්බයක්’ බවට පත්විය හැකි අතර එවන් අදූරදර්ශී ක්‍රියාකලාපවලින් සමාජය අස්ථාවර විය හැකි අතර සංස්කෘතික ව්‍යුහයට ද හානි කළ හැකිය. එබැවින් 2030 සඳහා අපේක්ෂා කරන ඕනෑම ‘ප්‍රතිසංස්කරණමය වෙනස්කම්’ පරෙස්සමෙන් සැලසුම් කළ යුතු අතර ඒවා පියවරෙන් පියවරට, ක්‍රමානුකූලව ආරම්භ කළ යුතුය. ස්ථාපිත වීමට, අනුගතවීමට සහ ඒකාබද්ධ වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.

එවැනි ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුත්තේ ප්‍රධාන පහසුකම් සපයන්නන්ගේ නායකත්වයෙනි. එනම් දේශීය ගුරුවරුන්, අධ්‍යාපනඥයන්, ආගමික නායකයන් සහ ජාතික, පළාත්, පෞද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් ප්‍රධානීන්ය මෙහි අරමුණ වන්නේ ඔවුන්ගේ විශේෂඥතා සහ අත්දැකීම් හුවමාරු කරගැනීම, කුසලතා ඵලදායි ලෙස භාවිත කිරීම සහ අධ්‍යාපන පද්ධතිය පුරා හොඳම භාවිතයයන් (best practices) යොදා ගැනීම දිරිමත් කිරීමයි.

ශ්‍රී ලංකාවේ මූලික සංස්කෘතික සහ සමාජීය වටිනාකම් ආරක්ෂා කරන ආකල්ප හැඩගැස්වීමේදී, නව දැනුම හා කුසලතා හඳුන්වා දීම සඳහා ‘ප්‍රතිසංස්කරණ’ අත්‍යවශ්‍ය වේ. ප්‍රායෝගික උදාහරණයක් සලකා බලන්න අද බොහෝ සේවායෝජකයෝ ඉංග්‍රීසි භාෂාවෙන් දක්ෂ ලෙස වැඩ කළ හැකි අපේක්ෂකයන් සොයා ගැනීමට වෙහෙස දරති. එවන් කුසලතා ඇති තරුණ ප්‍රජාව විරලය.

මෙම පරතරය පියවා ගැනීම සඳහා 6 ශ්‍රේණියේ සිට සියලුම පාසල්වල ‘ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය’ ලබා දීම (ස්ථීර පදනමක්) අවශ්‍ය වන අතර, දැනටමත් ‘ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය’ ලබා දෙන පාසල්වල මෙහෙයුම් පද්ධතිය ශක්තිමත් කළ යුතුය. කෙසේ වෙතත්, එවන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට පෙරාතුව, එය ‘කළමනාකරණය කළ හැකි’ කළමනාකරණ ව්‍යුහයක් ස්ථාපනය කර ඒ තුළ නව පරම්පරාවේ පහසුකම් සපයන්නන් (facilitators from thg new generation) සංවර්ධනය කිරීම සහ පවතින අයගේ කුසලතා අඛණ්ඩව ඉහළ නැංවීම  කළ යුතුය.

1960 සහ 1970 ගණන්වලදී ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් පිරිසක් සිටි අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පුළුල් ජාතික අභියෝග සහ ව්‍යසන හේතුවෙන් රට හැර ගියහ. මේ අවස්ථාවෙන් ඵල නෙළාගත් අන්තවාදී වාමාංශික ව්‍යාපාර, තරුණයන්ට, ඉංග්‍රීසි භාෂාව අධිරාජ්‍යවාදයේ මෙවලමක් ලෙස හුවාදැක්වීමට මිස, එය ගෝලීය දැනුම් හා අවස්ථා සඳහා අත්‍යවශ්‍ය දොරටුවක් ලෙස හඳුන්වා නොදීමට වග බලාගත්හ.

අද වාණිජ ලෝකය පුළුල් පරාසයක නිපුණතා ඉල්ලා සිටී. අනාගතයට සරිලන කුසලතා සඳහා පදනමක් ගොඩනැගීමට කුසලතා සහ දැනුම යන දෙකෙහිම පුද්ගලයකුගේ වටිනාකම වැඩිදියුණු කිරීමට ‘වෘත්තීමය අධ්‍යයන (vocational studies)  වාසිය භාවිත කළ යුතු අතර, ගණිතය, ඉතිහාසය, කලාව, සොබාදහම, සෞඛ්‍යය වැනි මූලික විෂයයන් දිගටම කරගෙන යා යුතුය. මූලික කාර්මික කුසලතා වලින් ආරම්භ කර, ගෘහස්ථ, වාණිජ හා කාර්මික විදුලි වැඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ක්‍රමලේඛනය, ප්‍රාථමික නීතිය සහ නියාමන අධ්‍යයන, බදුකරණය, ඇලුමිනියම්, යකඩ සහ වානේ නිෂ්පාදනය, සැලසුම් කිරීම, ක්‍රීඩා වැනි ක්ෂේත්‍ර නිපුණතා, කුසලතා, දැනුම පමණක් නොව ස්වශක්තිය කෙරෙහි ප්‍රබල විශ්වාසයක් ඇති කිරීමට ද මහෝපකාරී වේ. උදාහරණයක් ලෙස, කෘතිම බුද්ධිය ගැන (AI) ඉගැන්වීමට පෙර, රැකියාවට සහ පෞද්ගලික ජීවිතයට උපකාරී වන සරල යෙදුම් (simple apps) භාවිත කිරීමට ඉගෙන ගත යුතුය. එය ‘දිවීමට’ පෙර ‘ඇවිදීමට’ ඉගෙන ගැනීම තරම්ම සරලය.

ජාත්‍යන්තර අත්දැකීම් මගින් මුල් කාලීන කුසලතා සංවර්ධනයේ වැදගත්කම තවදුරටත් ඉස්මතු කරයි. චීනයේ, ක්‍රීඩා හරහා වයස අවුරුදු තුනේ සිට හතර දක්වා කාලය තුළ දරුවන්ට තාර්කික චින්තනය (logical thinking) සහ මූලික ක්‍රමලේඛන (basic programming) සංකල්ප හඳුන්වා දෙනු ලැබේ. මූලාශ්‍රවලට අනුව, 2025 සැප්තැම්බර් මාසයේ සිට, වයස අවුරුදු හයේ සිට ආරම්භ වන ළමයින් සඳහා රට පුරා AI අධ්‍යාපනය අනිවාර්ය වී ඇත. චීනයේ මූලික අධ්‍යාපන ක්‍රමය, පෙර පාසල් අධ්‍යාපනය (සාමාන්‍යයෙන් අවුරුදු තුනක්), ප්‍රාථමික අධ්‍යාපනය (අවුරුදු හයක්, වයස අවුරුදු හයේ පමණ සිට ආරම්භ වේ.) සහ ද්විතීයික අධ්‍යාපන (අවුරුදු හයක්) සමන්විත වන අතර එය කුසලතා සහ දැනුම සංවර්ධනය සඳහා දිගුකාලීන, ව්‍යුහගත ප්‍රවේශයකින් සමන්විතයි.

ලිංගික අධ්‍යාපනයේ වැදගත්කම මෑතකදී සැලකිය යුතු අවධානයක් දිනාගෙන ඇති අතර, බොහෝ විට පවතින සමාජමය සහ ආගමික සංස්කෘතික වටිනාකම් සමග ගැටිය හැකිය. ලිංගික තේරීම් පිළිබඳ අනවශ්‍ය ප්‍රචාරය හේතුවෙන් සමාජ සහ ආගමික කොටස් කනස්සල්ලට පත්ව ඇත. 1980 සහ 1990 ගණන්වලදී, ලිංගික අධ්‍යාපනය ද්විතීයික අධ්‍යාපනය තුළ පරෙස්සමෙන් ඒකාබද්ධ කරන ලද අතර, නිශ්චිත වයස් මට්ටම් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලදී. යෞවනයන් සහ තරුණයන්ගේ මනස අනවශ්‍ය කළඹා විකෘත කළ හැකි  හැමදේම වාරණයට හෝ තහනමට ලක්කරන ලදී. එකල තරුණ දූ පුතුන් හට, වැඩිහිටියන් වීමේදී, වගකිවයුතු සහ ශිෂ්ටසම්පන්න සමීප ජීවිතයකට මග පෙන්වීම සඳහා ආගමික ආයතන සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. ‘පුද්ගල ලිංගිකත්වය’ පෞද්ගලික කාරණයක් බවත් එය පෞද්ගලිකව පැවතිය යුතු බවත්, අධ්‍යාපනය පුද්ගලික තේරීම්වලට බලපෑම් කිරීමට වඩා දැනුවත්භාවය ඇති කිරීමට සහ  ශිෂ්ටසම්පන්න සිරිත් විරිත් ඇති කිරීමට රාජ්‍යය සහ සියලු පුරවැසියන් බැඳී සිටින බවත්, අප  හොඳින් වටහාගත යුතුව තිබේ.

 ‘ස්ථාවර (stable), ’තිරසාර (sustainable), ‘සම්පත්දායක (resourceful)’ සමාජයක් සහ ‘සංස්කෘතිකමය විනයක්’ ඇති රටක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනය ‘අරමුණ සහිත (purposeful)’ සහ දේශපාලන හෝ සැඟවුණු න්‍යාය පත්‍රවලින් ‘නිදහස්’ ව තැබීමට වගබලාගන්නා බවට රජය සහ ජනතාව සහතික කළ යුතුය.