ජාතික කර්මාන්ත අසාර්ථක වන්නේ ඇයි?


ජාතික ව්‍යාපාර අසාර්ථකවීමට හේතුව එම ව්‍යාපාරවල දෝෂයක් නොව පිටරටින් ගෙන එන ආදේශක සමග තරග කිරීමට මෙරට ජාතික ව්‍යාපාරවලට හැකියාවක් නොවීමය. මෙරට පාලකයන් මෙන්ම ජනතාව ද කිසිම අවස්ථාවක ජාතික ව්‍යාපාර සාර්ථකවීමට ඉඩලබා දුන්නේ නැත. එක දිනකින් කිසිම රටක කර්මාන්තයක් සාර්ථක නොවේ. ඒ සඳහා නිෂ්පාදනය ආරම්භ කර දීර්ඝ කාලයක් ගතවීම අවශ්‍යය. ලංකාවේ දී සිදු වූයේ යම් කර්මාන්තයක් ආරම්භ කර එය සෙමින් වර්ධනය වෙද්දී එයට ආදේශක භාණ්ඩ දේශීය භාණ්ඩයට වඩා අඩු මිලට විදේශයෙන් මෙරටට ගෙන ඒමය. නිරතුරුවම ගුණාත්මක භාණ්ඩය මිල දී ගන්නා ජනතාව හැරෙන්නේ විදේශීය භාණ්ඩය වෙතය. මෙරට රෙදි කර්මාන්තයේ සිට යකඩ හා වානේ, සීනි ඇතුළු සියලු කර්මාන්තවලට අත් වූයේ එම ඉරණමය.
වෙලෝනා බැනියම් සහ කමිස මෙරට ඇඟලුම් කර්මාන්තයේ සාර්ථක වූ කර්මාන්තයක් විය. එක්දහස් නවසිය පනස් හය වසරේ ලංකාදීප පුවත්පතක වෙලෝනා රෙදි ගැන මෙවැනි දැන්වීමක් වෙයි.


සාර්ථක වූ ජාතික ව්‍යාපාරයක්
ජාතික කර්මාන්තයක් ඇත්ත වශයෙන් සාර්ථක වූ බවට කදිම නිදර්ශනයක් සීමාසහිත ලංකා රෙදි විවීමේ කර්මාන්ත ශාලාව වර්ෂ කිහිපයකට පෙර ආරම්භ කරන ලද මෙම ආයතයන පිටරටින් ගෙන්වනු ලබන නිෂ්පාදනයන් හා සමාන උසස් වර්ගයේ බැනියම් හා කමිස නිෂ්පාදනය කිරීමෙන් ද ජාතික සුබ සිද්ධිය සඳහා උසස් සේවයක් කරන්නේය. අරගන්න... වෙලෝනා බැනියම් හා කමිස වෙලෝනා නාමය වඩාත් ජනප්‍රිය වූයේ 1970-77 සමයේ ආනයනික රෙදිපිළි ඇතුළු ද්‍රව්‍ය තහනම් කළ සමයේය. රටේ ඉල්ලුමට සමාන සැපයුමක් ලබා දීමට නොහැකි තරමටම වෙලෝනා බැනියම් සහ කමීස අලෙවි වූයේ විදේශ නිෂ්පාදන මෙරට නොතිබූ නිසාය. එහෙත් එකල ද මෙරට අමුද්‍රව්‍ය ප්‍රමාණය මදි නිසා ඉන්දියාවෙන් සිට කපු පුළුන් ආදිය ගෙන ඒම සීමා වූයෙන් මෙම කර්මාන්තයට ද බාධා සිදුවිය. හම්බන්තොට කපු පුළුන් වගා කළ ද එය ප්‍රමාණවත් වූයේ නැත. එම දුෂ්කර අවධියේ වේගයෙන් වර්ධනය වෙමින් පැවැති වෙලෝනා රෙදි ව්‍යාපාරය කඩා වැටුණේ 1977 අභිනව එජාප රජය භාණ්ඩ ආනයන තහනම ඉවත් කිරීමත් සමගය. ආහාර ද්‍රව්‍යය ද අලුත්ම රෙදිපිළිඳ වේගයෙන් මෙරටට ගලා ඒමත් සමගම දේශීය රෙදිපිළි කර්මාන්තයේ අභාවය ද සිදුවිය.
දේශීය රෙදිපිළි කර්මාන්තයේ ස්වයං පෝෂිතවීම සඳහා මෙරට ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණවත් නැති බව සත්‍යයකි. එජාප රජය එයට හේතු වශයෙන් කියා සිටියේ විදේශයෙන් අමුද්‍රව්‍ය වන නූල් සහ කපු පුළුන් ආදිය ආනයනය කර මෙරට දී රෙදි වියනවාට වඩා අඩු මිලට රෙදි ගෙන ආ හැකි බවය. වැඩ සිද්ධ වූයේ ද ඒ පිළිවෙළටමය.


සීනි
සීනි මෙරටට හඳුන්වා දුන්නේ යටත් විජිත පාලකයන් විසිනි. එතෙක් මෙරට ජනතාව පාවිච්චි කළේ පැණි සහ හකුරුය. මෙරටට කෝපි සහ තේ වගාව පැමිණීමත් සමග ඒවා පානය කිරීම සඳහා සීනි ද මෙරටට ආනයනය කෙරිණි. එහි ලුහු කර්මාන්තයක් (කුඩා) ලෙස උක් පැණි උණුකර සීනි නිපදවිණි. එම ගොවි පොළේ අක්කරයකින් නිපදවා ගත් සීනි ප්‍රමාණය ටොන් එකකි.
පර්‌යේෂණ සඳහා එම ගොවිපොළේ උක් අක්කර 70ක් රජය මගින් වවා තිබිණි. මෙහි යන්ත්‍ර සූත්‍ර ද විශාල ඒවා නොවීය. එම ගොවිපොළේ සීනි නිපද වූයේ යන්ත්‍රය ට්‍රැක්ටරයකින් කරකැවීමෙනි. මෙම ක්‍රමයට ගෙවතුවල ද උක් වවා සීනි නිපදවා ගත හැකි බවට එකල ජනතාව දැනුවත් කර තිබේ.
ගොවිපොළෙන් කපා ගත් උක් ගස් ලොරි මගින් යන්ත්‍රයට ගෙන එන අතර එමගින් වරකට උක් ගස් 4ක් හෝ 5ක් යන්ත්‍රයට දමා මිරිකා ගනී. උක් යුෂ ඒ අසල ඇති ටැංකි කරා බට මගින් ගලා යාමටත් පැණි උණු කිරීම දක්වා ගෘහ කර්මාන්තයක් ලෙස අනෙක් කටයුතු සිදු කිරීමටත් එම ගොවිපොළේ පියවර ගැනිණි. සීනි නිපදවීමෙන් පසු ඉවතට ගලා යන කොටස ගව ආහාර ලෙස විකුණා දැමිණි. මෙම ගොවිපොළ 1955-56 සමයේ ආදර්ශමත් ගොවිපොළක් ලෙස සැලකිණි. ගැමියන්ට ද ලෙහෙසියන් සීනි සාදා ගතහැකි ආකාරය එමගින් කියා දුන්නේය. පසුව කන්තලේ සහ හිඟුරාන මහ කම්හල් ආරම්භ වූයේ පොළොන්නරුව උක් ගොවිපොළේ සාර්ථකත්වය නිසාය.
එහෙත් කනගාටුවට කරුණ නම් එම ගොවිපොළ ද රාජ්‍ය යන්ත්‍රයේ කාලානුරූප දැති රෝදයට හසුවී අක්‍රිය වී ගොවිපොළ වැසී යාමය. ගෘහ කර්මාන්තයක් ලෙස සීනි සෑදීමට මග පෙන්වූ අවස්ථාවේ එය ආරම්භ කළේ අද වන විට දේශීය කර්මාන්තයක් ලෙස සීනි කර්මාන්තයේ විශාල නැගීමක් සිදුවිය හැකිව තිබිණි. එහෙත් එම අගනා උපදෙස් නොතකමින් පිටරටින් ගලා එන සීනි ටොන් කන්දරාවෙන් ගම් බිම් වැසී ගියේය. මෙරටට සීනි පුරුදු පුහුණු කළ යටත් විජිත පාලකයන් මෙරටින් නික්ම ගියත් ඔවුන්ගේ රටවල සීනි අස්වැන්න නොකඩවා මෙරටට ගලා එයි.
ලංකාවේ ක්‍රියාත්මකව තිබී වැසී ගිය කුඩා කර්මාන්ත ප්‍රමාණය අතරින් කිහිපයක් මෙසේය. පොල් රාවලින් අරක්කු නිෂ්පාදනය කළ කළුතර දිස්ත්‍රික්කයේ ස්කාගාර, නිරිත දිග මුහුදු බඩ ප්‍රදේශයේ ලණු පැදුරු, බුරුසු සහ කඹ සෑදීමට ගෘහ කර්මාන්තයක් වශයෙන් පොල් ලෙලි තැලීම මඩකළපුවේ හා රටේ සෙසු ප්‍රදේශවල ව්‍යාප්තව තිබූ අත්යන්ත්‍ර රෙදිපිළි කළුතර ඉදිකොළ තොප්පි සහ බෑග් මලු නිෂ්පාදනය, ගාල්ලේ කැස්බෑ ලෙලි භාණ්ඩ එකල ජනප්‍රියව තිබුණ ද මේ සියල්ල පාරිසරික හා වෙනත් හේතු මත අභාවයට ගියේය.
කාක්කපල්ලියේ පිහිටි කඩදාසි කර්මාන්ත ශාලාව මාදම්පේ ඇසිටික් ඇසිඩ් කම්හල, කටුනායක පිහිටි පොල් ලෙලි කර්මාන්ත ශාලාව, ගිංතොට තුනී ලෑලි කම්හල වසා දමන ලද සෙසු කර්මාන්ත ශාලාවය. සමාජවාදී රටවලින් තෑගි ලැබුණු මහා කම්හල් වන තුල්හිරිය පේෂකර්ම, ඔරුවල වානේ, කන්තලේ සීනි, ලංකා ටයර් වැසී ගිය ජාතික සම්පත්ය.


තවමත් ධීවර කර්මාන්තයක් නෑ
රටවටා මුහුද ඇතත් තවමත් මෙරට ධීවර කර්මාන්තයක් නැත. ඇත්තේ එදිනෙදා පරිභෝජනයට පමණක් මසුන් මැරීමය.
මෙරට ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ආධාර දීමට 1973 වසරේ දී සෝවියට් සංගමය ඉදිරිපත් වුවද මෙරට බලධාරිහු එම ආධාරය ප්‍රතික්ෂේප කළහ. සෝවියට් යෝජනාව වූයේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට අවශ්‍ය යාත්‍රා පිටරටින් මෙරටට සැපයීමය. එහෙත් ආරක්ෂක හේතු නිසා එම යෝජනාවට එකඟ විය නොහැකි බව එවක රජය පැවසුවේය. එකල ඇමරිකාව සහ රුසියාව අතර තිබූ ‘‘සීතල යුද්ධය’’ නිසා සෝවියට් ආධාර ගැනීමට එවක රජය පැකිලුණේය. ඒ වනවිටත් විශාල ප්‍රමාණයේ සෝවියට් ධීවර යාත්‍රා ඉන්දියාවට සහ බංගලාදේශයට එරටින් සපයා තිබිණි. එම යාත්‍රා මසුන් ඇල්ලුවේ මෙරට මුහුදු සීමාවේය. එහෙත් මෙරටට පමණක් සෝවියට් ආධාර අනවශ්‍ය විය. එකල එම ආධාරය ලබා ගත්තේ නම් වර්තමානය වන විට මෙරට ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය කොතරම් දියුණුවක් ලබා තිබෙනු ඇති ද?
එක් පුද්ගලයකුගේ ආහාරයට දිනපතා මාංශ ජනක ධාතු අඩුම ගණනේ ග්‍රෑම් 40ක් අවශ්‍ය බව විද්‍යාඥයන්ගේ මතයයි. එහෙත් මෙරට ජනතාවගේ ආහාරයෙහි අඩංගු වන මාංස ජනක ධාතු ප්‍රමාණය දිනකට ග්‍රෑම් 36කි. රටවටා මුහුද ඇතත් මසුන් ඇල්ලීම තවමත් ප්‍රාථමික මට්ටමේ පැවතීම හා මසුන් ඇල්ලීමට යන අධික වියදම මෙයට හේතුවය. විශාල ප්‍රමාණයේ යාත්‍රා තිබේනම් කුඩා යාත්‍රා විශාල ප්‍රමාණයත් අනවශ්‍ය වන අතර අතිරික්ත මත්ස්‍ය අස්වැන්න විදේශයන්ට සපයා විශාල ආදායමක් ලබා ගත හැකිය. එහෙත් වී වගාව තරමටම මෙරට මත්ස්‍ය අස්වැන්න ද එදිනෙදා ආහාරයටවත් ප්‍රමාණවත් නොවේ.
ලංකාව වටා මුහුදු තීරය වර්ග කිලෝමීටර් 1700ක් දිගය. මේ මුහුද අවට වර්ග කි.මීටර් 538000ක ප්‍රමාණයක් අපට මසුන් ඇල්ලීම සඳහා වෙන්වී තිබේ. මේ මුහුදු ප්‍රමාණයෙන් වර්ෂයකට ඇල්ලිය හැකි මාළු ප්‍රමාණය ටොන් 396000ක් බව ගණන් බලා තිබේ. එහෙත් දැනට අල්ලන මාළු ප්‍රමාණය ටොන් 280000 ක් පමණකි. එයින් සියයට 85 ක්ම මසුන් අල්ලන්නේ වෙරළෙන් සැතපුම් 25ක් ආසන්න ප්‍රමාණයේ සැරිසරන කුඩා යාත්‍රාවලිනි. රටට අවශ්‍ය තරමින් නොව රට පැටවීමට පවා මාළු අප අවට මුහුදෙන් ලබා ගැනීමට හැකියාව ඇතත් එය කළ නොහැකිව තිබෙන්නේ අපේ ධීවර කර්මාන්තය වෙනුවෙන් ප්‍රමාණවත් තරමින් මුදල් ආයෝජනය කර එය නවීන ක්‍රම අනුව දියුණු කිරීමේ වැඩ පිළිවෙලක් තවමත් ඉදිරිපත්වී නොමැති නිසාය.
අද වනවිට අතීතයේ ඉතා දුප්පත්ව සිටි මාලදිවයින ධීවර හා සංචාරක කර්මාන්තයෙන් විශාල ආර්ථික දියුණුවක් ලබමින් සිටියි. එරට අතීතයේ කුඩා ඔරුවලින් මෙරටට උම්බලකඩ ගෙන ආ බවට මෙරට ප්‍රකටව ඇත. එකල ඔවුන් නිපදවූයේ උම්බලකඩ පමණකි. එහෙත් අද ඉතා නවීන නාවික යාත්‍රා මගින් ගැඹුරු මුහුදේ මසුන් මරණ උපාංග ද එරට සතුය. ඒ සඳහා අරාබි රටවලින් ආධාර උපකාර ද ලැබී ඇත. එහෙත් ලංකාවේ ධීවර කර්මාන්තය තවමත් යැපීම සඳහා පමණක් වෙන්ව තිබීම කනගාටුවට කරුණකි. අමුද්‍රව්‍ය හිඟ නිසා වෙනත් බැර කර්මාන්ත ආරම්භ කිරීමට මෙරටට ඉඩ අවස්ථාව අඩු වුවත් කර්මාන්තයක් ලෙස ධීවර කර්මාන්තය දියුණු කිරීමට බාධාවක් නැත. එකම බාධාව වැඩ පිළිවෙලක් නැතිකමය. රටවටා මුහුදක් ඇතත් 2023 වසරේ රුපියල් බිලියන හයක ටින් මාළු මෙරටට ආනයනය කර තිබීමෙන්ම රටම අසාර්ථක බවට තවත් තර්ක කුමටද?