

සමස්තයක් ලෙස, ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන මෙතෙක් සාර්ව ආර්ථික ස්ථායීභාවය යථා තත්වයට පත් කිරීම සාර්ථක වී ඇත. උද්ධමනය පාලනය වීම, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වීම, විදේශ සංචිත ඉහළ යාම, බදු ආදායම් වර්ධනය, සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම සාර්ථකතා අතර වේ. එහෙත්, අවසන් සාර්ථකත්වය රඳා පවතින්නේ 2027 දක්වා සහ ඉන්පසු ද පවතින ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ සියලු පුරවැසියන්ට ප්‍රතිලාභ ලබාදෙන සමාන හා තිරසාර වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම මතයි.
ශ්‍රී ලංකාව වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වීම සිදුව ඇත්තේ ඉතා මන්දගාමීව වේ. විශේෂයෙන් ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම හැරුණුකොට අපනයන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල්ව ලබාදෙන වෙළෙඳ ගිවිසුම් මෙරටට නැති තරම් වේ. නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම වේගවත් කිරීමේ අටියෙන් ආර්ථික පරිවර්තන පනත මගින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා විය.
මෙරට ආර්ථිකය 2022 දී බිඳවැටීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගත් වැඩසටහන, නිදහසින් පසු ඉතිහාසයේ ඉතා වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ අවස්ථාවක් ලෙස සැලකේ. රාජ්‍ය ණය ගෙවීම් නතර කිරීම, ඉහළ උද්ධමනය, විදේශ විනිමය හිඟය සහ මූලික භාණ්ඩ හිඟය යන බරපතළ තත්වයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකාව, 2023 මාර්තු මාසයේදී International Monetary Fund සමග ඇ.ඩො. බිලියන 3කට ආසන්න (SDR 2.286 බිලියන) වටිනා වසර හතරක විස්තීරණ ණය (Extended Fund Facility) වැඩසටහනක් අනුමත කර ගන්නා ලදී.
2027 දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ අරමුණ වූයේ ආර්ථික ස්ථායීභාවය ප්‍රතිස්ථාපනය කිරීම, ණය ස්ථායීතාව සහතික කිරීම, සමාජයේ පහළ ආදායම් ලබන ජන කොටස් ආරක්ෂා කිරීම සහ දිගුකාලීන වර්ධනය සඳහා පදනම තැබීමයි. මෙතෙක් ගමන් මඟ සැලකූ විට, මෙම වැඩසටහන යටතේ ආර්ථික අංශයේ සැලකිය යුතු ස්ථායීතාවක් ළඟා කර ගැනීමට සමත්ව ඇති අතර, සමහර සමාජ හා ව්‍යුහාත්මක අභියෝග ජය ගැනීමට තවමත් ඉතිරිව ඇත. විශේෂයෙන්ම දිගුකාලීනව ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් සඳහා අවශ්‍ය කෙරෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුව ඇත.
ආර්ථික බිඳවැටීමෙන් ස්ථායීභාවය වෙත ගමන
2022 දී මෙරට ආර්ථික අර්බුදය උච්චතම තත්වයට පත් විය. ඉහළ රාජ්‍ය ණය බර, දිගුකාලීන අයවැය හිඟ, විදේශ ණය මත අධික පරිභෝජනය, හා රාජ්‍ය ආදායම් පදනම සීමිත වීම වැනි ගැටලු පෙර සිටම පැවතිණි. ආසන්නතම හේතු ලෙස එයට එකතු වූයේ ආදායම් බදු කප්පාදු, COVID-19 හේතුවෙන් සංචාරක ආදායම් කඩා වැටීම, සහ ගෝලීය භාණ්ඩ මිල ඉහළ යාමයි. 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම් තාවකාලිකව නවතා දමා, ඉතිහාසයේ පළමු වරට ස්වෛරී ණය ගෙවීම අත්හිටුවීමක් සිදු කළේය. විදේශ විනිමය සංචිත ශූන්‍යයට ආසන්න විය. ඉන්ධන සහ ඖෂධ හිඟය පැතිර ගිය අතර, උද්ධමනය සියයට 70කට ආසන්න මට්ටමට ඉහළ ගියේය.
IMF වැඩසටහනේ පළමු අරමුණ වූයේ මෙම බිඳවැටීම නවත්වමින් ආර්ථික ස්ථායීභාවය ගෙන ඒමයි. ඒ සඳහා මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම, විනිමය අනුපාතය වෙළෙඳපොළ බලවේග යටතේ සකස්වීමට ඉඩහැරීම, සහ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සහ වියදම් තාර්කීකරණය මගින් රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම සඳහා පියවර ගැනීම ඒ යටතේ ප්‍රමුඛ විය. එමෙන්ම, මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ණය කළමනාකරණය, දූෂණය පිටුදැකීම සඳහා නව අණපනත් හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම ද මේ යටතේ සුවිශේෂී විය. මෙම සමස්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීමට හැකියාව ලැබිණි. විදේශ විනිමය සංචිත නැවත ඉහළ ගොස්, ව්‍යාපාරික විශ්වාසය යථා තත්වයට පත් විය. 2022 සහ 2023 දී ආර්ථිකය සංකෝචනය වුවද, 2024-2025 කාලය තුළ GDP වර්ධනය සියයට 4-5 අතර මට්ටමකට ඉහළ ගියේය. සංචාරක කර්මාන්තය තුළ නැවත පිබිදීමක් ඇතිවූ අතර ඒ හේතුවෙන් ඒ හරහා ලැබෙන විදේශ විනිමය ඉහළ යන ලදී.
රාජ්‍ය මුදල් ශක්තිමත් කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම
IMF වැඩසටහනේ වඩාත් ප්‍රමුඛතම කොටස වූයේ රාජ්‍ය මුදල් ප්‍රතිසංස්කරණයයි. 2022 දී ආදායම්-ජාතික ආදායම් අනුපාතය සියයට 8.2 පමණක් විය. ලෝකයේ අඩුම බදු ආදායම් මට්ටම්වලින් එකක් විය. බදු පදනම පුළුල් කිරීම, VAT සහ ආදායම් බදු සංශෝධනය, සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම මගින් 2025 වන විට එය සියයට 13.5කට ආසන්න මට්ටමකට ඉහළ ගියේය. ඉන්ධන හා විදුලි ගාස්තු පිරිවැයට අනුව සකස් කිරීමෙන් රාජ්‍ය ආයතනවල අලාභ අඩු කළේය. මෙය දේශපාලනිකව සංවේදී වුවද, රාජ්‍ය මුදල් ස්ථායීභාවය සඳහා අත්‍යවශ්‍ය විය. අයවැය හිඟය අඩු වී, ප්‍රාථමික අතිරික්තයක් ළඟා කර ගැනීම IMF ඉලක්කයක් විය. ඊට අමතරව, 2022 දී GDP හි සියයට 145කට ආසන්න වූ රාජ්‍ය ණය බර, විදේශ සහ පෞද්ගලික ණය හිමියන් සමග කළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් හරහා 2025 වන විට සියයට 105කට ආසන්න මට්ටමකට අඩු විය. ජාත්‍යන්තර ණය සම්මතයන් අනුව මෙම ප්‍රතිව්‍යුහගත කිරීම ශ්‍රී ලංකාවට දිගුකාලීන ණය ගෙවීම් කළමනාකරණයට ඉඩ සලසයි. ණය ශ්‍රේණිගත කිරීම් ද යම් ප්‍රමාණයකින් උසස් විය.
ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ
IMF වැඩසටහන කෙටිකාලීන ස්ථායීභාවයට පමණක් සීමා නොවීය. දිගුකාලීන වර්ධනය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය විය. මහ බැංකුවේ නීතිමය ස්වාධීනත්වය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය, සහ පාලන විනිවිදභාවය වැඩි කිරීම මෙහි කොටස් වේ. විශේෂයෙන්, CEB වැනි රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා, අලාභ අඩු කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම අරමුණු කරයි. දූෂණ විරෝධී පියවර සහ මූල්‍ය පාලන ප්‍රතිසංස්කරණ ද මෙම වැඩසටහනේ කොටසකි. ඉදිරියට, සංචාරක කර්මාන්තයෙන් පමණක් නොව, නිෂ්පාදන හා සේවා අංශ විවිධාංගීකරණය, පෞද්ගලික ආයෝජන ආකර්ෂණය, සහ වෘත්තීය කුසලතා සංවර්ධනය වැදගත් වේ. මේ සඳහා වූ වැඩසටහන් ආර්ථික පරිවර්තන පනත තුළ අන්තර්ගත වූ අතර ඊට අදාළ පාර්ලිමේන්තු අනුමැතිය 2024 වර්ෂයේ දී ලබා ගන්නා ලදී.
ආර්ථික ප්‍රතිසාධනය සහ සමාජ සාධාරණත්වය
සාර්ව ආර්ථික දර්ශක සැලකිය යුතු ලෙස දියුණු වූවත්, සමාජීය බලපෑම් තවමත් සැලකිල්ලට ගත යුතුව ඇත. බදු වැඩිවීම් සහ ගාස්තු සංශෝධන හේතුවෙන් පවුල් ආදායම් මත පීඩනයක් ඇතිවිය. දුප්පත්කම 2022-2023 කාලයේ ඉහළ ගියේය. IMF වැඩසටහන යටතේ පහළ ආදායම් ජන කොටස් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබුණද, ඒවා සෑම අවස්ථාවකම ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. එහෙත්, ආර්ථික ස්ථායීභාවය නැවත ලබාගැනීමකින් තොරව පැවතියේ නම් දුප්පත්කම තවදුරටත් ගැඹුරු විය හැකිව තිබුණි.
විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් සමාජයේ පහළ ආදායම් ලබන ජන කොටස්වලට සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට තවදුරටත් බලපෑම් එල්ල වූ අතර ආර්ථිකය තුළ ඇතිවූ ධනාත්මක වෙනස්කම්වල ප්‍රතිලාභ ලැබීම තවදුරටත් කල්ගත වීමට එක් හේතුවක් විය. ආර්ථික ස්ථායීතාව සහ පසුගිය කෙටි කාලය තුළ ආර්ථිකය තුළ අත්විඳින ලද ධනාත්මක වෙනස්කම් නාගරික ප්‍රදේශ ආශ්‍රිත ඉහළ ආදායම් ලබන ජන කණ්ඩායම්වලට ප්‍රතිලාභ ගෙන දුන්න ද පහළ ආදායම් ලබන සහ නාගරික ප්‍රදේශවලින් බැහැරව ජීවත්වන පිරිස්වලට තවමත් ආර්ථික ස්ථායීතාවේ සහ වර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමක් සිදුව නොමැති බව පැහැදිලි කරුණකි. ඒ සඳහා සියලු දෙනා ඇතුළත් වන ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් ළඟා කරගැනීම සිදුවිය යුතුව ඇත.
IMF මෙවර පණිවිඩය
ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණි IMF කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva විසින් ශ්‍රී ලංකාව දැනට අත්කරගෙන ඇති ප්‍රගතිය “සාර්ථක කතාවක්” (success story) ලෙස විස්තර කළ අතර විශේෂයෙන්ම මෙතැන් සිට දිගුකාලීනව ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් සහ සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට මුලපිරීම සහ අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. මෙහිදී විශේෂයෙන්ම අවධානයට යොමුව ඇත්තේ ආර්ථික පරිවර්තන පනත යටතේ යෝජනා කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වන අතර ඊට අමතරව රාජ්‍ය ව්‍යාපාර, සාධක වෙළෙඳපොළ ලිහිල්කරණය මෙන්ම ආර්ථිකය නවීකරණය සහ විවිධාංගීකරණය සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ ද සැලකිල්ලට ගත යුතුව ඇත.
වර්තමානය වනවිට ගෝලීයව ඉතා ඉහළ ආර්ථික අවිනිශ්චිතතාවක් පවතින අතර වෙළෙඳ සහ ආයෝජන පරිසරය ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට අයහපත් එකක් බවට පත්ව ඇත. මෙවන් පරිසරයක් තුළ කලාපීයව වෙළෙඳාම සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්‍යක්ෂතුමිය විසින් අවධාරණය කර තිබීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක්ව ඇත.
ආර්ථික පරිවර්තන පනත තුළ ප්‍රධාන අංශ පහක් පිළිබඳව අවධානය යොමුව පවතී. පළමුව, විදේශ ආයෝජන ලබාගැනීම සඳහා ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම වෙනුවෙන් අවශ්‍ය වන්නා වූ ආයතනික ප්‍රතිසංස්කරණ ඒ යටතේ යෝජනා වී පවතී. විශේෂයෙන්ම, තරගකාරීව සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආයතනික ව්‍යුහයක් ඇති කිරීමට ඒ සඳහා අවශ්‍ය වන්නා වූ කුසලතා සහිත මානව සම්පතක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත. ඒ අනුව දැනට සෘජු විදේශ ආයෝජන සඳහා පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවට Invest Sri Lanka නමින් නව ආයතනයක් පිහිටුවීම මේ යටතේ අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම, වියට්නාමය, සිංගප්පූරුව, සහ කොස්ටරිකාව වැනි රටවල් සාපේක්ෂව ඉතා ඉහළ විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුළට ලබාගැනීම පිටුපස ඇති ප්‍රධාන රහස වන්නේ විදේශ ආයෝජකයන් සමග කටයුතු කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනවල කාර්යක්ෂමතාව සහ වෘත්තීයභාවයයි.
එවැනි රටවල් එකී ආයතන මගින් ආයෝජකයන් සඳහා ඉතා තරගකාරී ලෙස පහසුකම් සපයනු ලබන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තනි කවුළුවක් (single window) යටතේ සේවා සැපයීමක් සිදුකරනු ලබයි. විදේශ අයෝජන ප්‍රවර්ධනය සඳහා වැදගත් වන තවත් අංශයක් වන්නේ ආයෝජන කලාප සහ කර්මාන්තපුර ඉතා සාර්ථකව පවත්වාගෙන යාම වේ. එහිදී ආයෝජකයන්ට අවශ්‍ය වන පහසුකම් සැපයීම වැදගත් වේ. ඉහත සඳහන් කළ බොහොමයක් රටවල් ආයෝජන කලාප තරගකාරීව කටයුතු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සපයා ඇති අතර ඒ අනුව එක් එක් ආයෝජන කලාප තම කලාපයට ආයෝජකයන් අද්දවා ගැනීම සඳහා අයෝජකයන්ට අවශ්‍ය කෙරෙන පහසුකම් තරගකාරීව සැපයීමක් සිදු කෙරේ.
වර්තමානය වනවිට ආයෝජන ප්‍රවර්ධනය සහ ආයෝජන කලාප පවත්වාගෙන යාම යන කාර්යයන් දෙකම සිදුවන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් වන අතර බොහොමයක් රටවල, විශේෂයෙන්ම ඉහළ විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇති රටවල එම කාර්යයන් දෙක සඳහා ආයතන දෙකක් කටයුතු කරනු ලැබේ. ඒ අනුව යමින් ආර්ථික පරිවර්තන පනත තුළ ද Zone Sri Lanka නමින් නව ආයතනයක් පිහිටුවීම සඳහා යෝජනා කර පවතී. එමෙන්ම, නව ගෝලීය පරිසරය තුළ වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා රටවල් විසින් ද්විපාර්ශ්වික සහ කලාපීය වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වෙමින් කටයුතු කරනු ලබයි. අසල්වැසි ඉන්දියාව විසින් දැනටමත් ලෝකයේ ප්‍රධාන රටවල් සහ කලාප සමග එවැනි ගිවිසුම්වලට ඇතුළු වී හමාරය. උදාහරණයක් ලෙස මෑතක දී ඉන්දියාව ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම යුරෝපා හවුල සමග නව ගිවිසුම්වලට එළැඹිණි. ඊට පෙර එක්සත් රාජධානිය, නවසීලන්තය මෙන්ම මැදපෙරදිග රටවල් කිහිපයක් සමග ගිවිසුම්ගත විය.
ශ්‍රී ලංකාව වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වීම සිදුව ඇත්තේ ඉතා මන්දගාමීව වේ. විශේෂයෙන් ඉන්දු-ලංකා වෙළෙඳ ගිවිසුම හැරුණුකොට අපනයන සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල්ව ලබාදෙන වෙළෙඳ ගිවිසුම් මෙරටට නැති තරම් වේ. නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීම වේගවත් කිරීමේ අටියෙන් ආර්ථික පරිවර්තන පනත මගින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලයක් (Office of International Trade) පිහිටුවීමට යෝජනා විය. එවැනි ආයතනයක් මගින් වෙළෙඳ ගිවිසුම් සඳහා අවශ්‍ය කෙරෙන පසුබිම මෙන්ම ඊට අදාළ සාකච්ඡා විධිමත්ව කිරීමේ හැකියාව පවතී. ශ්‍රී ලංකාව සඳහා නව වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීමකින් තොරව ඍජු විදේශ ආයෝජන පිළිබඳව අපේක්ෂාවක් ඇතිකර ගැනීමේ හැකියාවක් නොමැත. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයකට විදේශ ආයෝජකයන් ඇදී එන්නේ වෙළෙඳපොළ අවස්ථා පැවතියහොත් පමණි. දේශීය වෙළෙඳපොළට භාණ්ඩ සැපයීම සඳහා ඔවුහු අරමුණු නොකරති. එබැවින් විදේශ ආයෝජන ප්‍රවර්ධනය සහ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම සඳහා කටයුතු කිරීම එකවර සිදුවිය යුත්තකි.
ආර්ථික පරිවර්තන පනත තුළ අවධානය යොමුකරනු ලබන තවත් අංශයක් වන්නේ කාන්තා ශ්‍රම සැපයුම ඉහළ නැංවීම වේ. දැනට මෙරට කාන්තා ශ්‍රම සහභාගීත්වය ඉතා පහළ මට්ටමක පවතී. උදාහරණයක් ලෙස වියට්නාමය, තායිලන්තය, සහ මැලේසියාව වැනි රටවල කාන්තා ශ්‍රම සහභාගීත්වය සියයට 60ක් පමණ වන අතර මෙරට කාන්තා ශ්‍රම සැපයුම සියයට 34 ක් පමණ වේ. එනම්, වැඩ කළ හැකි වයසේ පසුවන කාන්තාවන්ගෙන් තුනෙන් දෙකක්ම ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොදක්වන පිරිසක් වෙති. වර්තමානය වනවිට එක් පැත්තකින් විදේශගත වන ශ්‍රමිකයන්ගේ පිරිස ඉහළ ගොස් ඇති අතර ජනගහන වර්ධනය පහත වැටෙමින් පවතී. මෙවන් පසුබිමක් තුළ තිරසර ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම මෙන්ම පවත්වාගෙන යාම සඳහා ඉහළ කාන්තා ශ්‍රම සහභාගීත්වයක් අවශ්‍ය කෙරේ.
ආර්ථික වර්ධන සහ සංවර්ධනය සඳහා මෙන්ම ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා ආර්ථිකය තුළ ඵලදායීතාව ඉහළ නංවා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතී. ආර්ථිකය තුළ සමස්තයක් ලෙස පහළ ඉපැයීම සඳහා බලපානු ලබන ප්‍රධානතම කරුණක් වන්නේ මෙරට සමස්ත ඵලදායීතාව මෙන්ම ශ්‍රම ඵලදායීතාව වර්ධනය නොවීමයි. ආර්ථික පරිවර්තන පනත මගින් නව ඵලදායීතා කාර්යංශයක් පිහිටුවීමට අවධානය යොමුකර ඇත්තේ එවන් පසුබිමක් තුළ වීම සුවිශේෂී වූවකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය විසින් නිකුත් කරන ලද මධ්‍ය නිවේදනය මූලික වශයෙන්ම ඉහත සඳහන් කළ ප්‍රතිපත්ති/ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත. විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණවලට මුලපිරීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම මගින් ශ්‍රී ලංකාව නැවත වරක් අපහසුතා ඇති නොවන අයුරින් ආර්ථික කළමනාකරණය කිරීමට හැකි බව පෙන්වා දී ඇත. දැනට අත්කරගෙන ඇති ආර්ථික ස්ථායීතාව, දේශීය හෝ ගෝලීය කම්පන හේතුවෙන් බලපෑමට ලක්විය හැකි වේ. විශේෂයෙන්ම, මෑතකාලීන විදේශ විනිමය ලැබීම්වල වර්ධනය මූලික වශයෙන්ම විදේශගත ශ්‍රමිකයන් විසින් කරනු ලබන විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ඉපැයීම්වලින් සමන්විත වේ. එවැනි ඉපැයීම් විවිධ කම්පන යටතේ පහසුවෙන් කෙටි කාලයේ දී බිඳවැටිය හැකි ඒවා වේ. මේ නිසා විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් වර්ධනය කරගැනීම මෙන්ම විවිධාංගීකරණය කිරීමට ද අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි.
සාරාංශය
සමස්තයක් ලෙස, ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන මෙතෙක් සාර්ව ආර්ථික ස්ථායීභාවය යථා තත්වයට පත් කිරීමට සාර්ථක වී ඇත. උද්ධමනය පාලනය වීම, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වීම, විදේශ සංචිත ඉහළ යාම, බදු ආදායම් වර්ධනය, සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම සාර්ථකතා අතර වේ. එහෙත්, අවසන් සාර්ථකත්වය රඳා පවතින්නේ 2027 දක්වා සහ ඉන්පසු ද පවතින ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, සමාජ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ සියලු පුරවැසියන්ට ප්‍රතිලාභ ලබාදෙන සමාන හා තිරසාර වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම මතයි.
එබැවින්, ශ්‍රී ලංකාවේ IMF වැඩසටහන මෙතෙක් “සාර්ථක” බවට විස්තර කළ හැකි නමුත්, එහි සැබෑ උරුමය තීරණය වන්නේ මෙම සාර්ථකත්වය සියලු දෙනා ඇතුළත් දිගුකාලීන තිරසර සංවර්ධනයක් බවට පත් කළ හැකිද යන්න මතයි. ඒ සඳහා අද දිනයේ ඇති ප්‍රධානතම වගකීම වන්නේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට මුලපිරීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම වේ. මේ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමුවෙතැයි අපේක්ෂා කරමු.

