කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ කණ්ඩායමට ඉන්දියන් ඔයිල් සමාගමෙන් විශේෂ මුදල් ත්‍යාගයක්


ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ලිහිසි තෙල් අලෙවිකරණය සහ නිෂ්පාදනය) ප්‍රශාන්ට් රවුට් මහතා විසින් නායක ධනංජය ලක්ෂාන් වෙත චෙක්පත නිල වශයෙන් ප්‍රදානය කරන ලද අවස්ථාව. කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ උප සභාපති සහ ක්‍රිකට් කමිටු සභාපති චමින්ද මෙන්ඩිස් සහ ජිතේන්ද්‍ර ශර්මා යන මහත්වරු ද මෙහි වෙති.

යොහාන් භාසුර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ (2025/2026) ශූරතාව දිනූ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ කණ්ඩායමට ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීය.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජ කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස අයි.ඕ.සී. සමාගම කටයුතු කරයි.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුවිශේෂී ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටි කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම ධනංජය ලක්ෂාන්ගේ නායකත්වයෙන් වසර 14 කට පසුව මෙවර පළමු පෙළ ලීග් ක්‍රිකට් ශූරතාව දිනාගැනීම කැපී පෙනේ.


එම සුවිශේෂී ජයග්‍රහණය ලැබූ කෝල්ට්ස් කණ්ඩායම ඇගයීමේ උත්සවයක් එම ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී පසුගිදා පැවැත්විණි.
චමින්ද වාස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ඩිල්රුවන් පෙරේරා වැනි දැවැන්තයන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට දායාද කළ වසර 150කට අධික ඉතිහාසයක් ඇති කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග මහතා ද එහිදී උප සභාපති සහ ක්‍රිකට් කමිටු සභාපතිවරයා ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු තේරීම් කමිටු සමාජික චමින්ද මෙන්ඩිස් මහතා ද කටයුතු කරති.
මෙවර ලීග් ශූරතාව දක්වා පැමිණි ගමනේදී චමින්ද මෙන්ඩිස් මහතාගේ කැපවීම සහ දායකත්වය එම උත්සවයේදී සියලු‍ම දෙනාගේ ඇගයීමට ලක්විය.
ඉන්දියන් ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ලිහිසි තෙල් අලෙවිකරණය සහ නිෂ්පාදනය) ප්‍රශාන්ට් රවුට්, එම සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (විකුණුම්) ජිතේන්ද්‍ර ශර්මා සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපති නිශාන්ත රණතුංග යන මහත්වරු ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සවය පැවැත්විණි.