ක්‍රෙඩිට් කාඩ් සතු නොපියවූ ශේෂය රු.බි. 206 ඉක්මවයි


  • 2026 වසරේ මේ දක්වා ක්‍රෙඩිට් කාඩ්පත් ​102,526ක් අලු‍තින් නිකුත් කරලා

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් නිකුත් කර ඇති දේශීයව සහ ගෝලීය පිළිගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සතු නොපිය වූ ශේෂය මේ වසරේ ජූනි මාසය අවසන් වනවිට රුපියල් බිලියන 206ක් (රුපියල් මිලියන 206,285ක්) බවට පත්ව ඇතැයි ඇතැයි වාර්තා වෙයි. 

මෙය පසුගිය මැයි මාසයේදී වාර්තා වූ රුපියල් බිලියන 200ක සිට රුපියල් බිලියන 6ක වැඩිවීමක් වන අතර, මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 16.57 ක වැඩි වීමක් ලෙසත් සටහන්ව තිබේ. 2025 වසර අවසන් වනවිට මෙම නොපියවූ ශේෂය රුපියල් බිලියන 189.70ක් විය. 

මහ බැංකුව නිකුත් කළ ආසන්නතම සතිපතා ආර්ථික දර්ශකය තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. මෙම දත්ත අනුව 2026 ජූනි මාසය අවසන් වන විට මෙරට ඇති සත්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,268,712 කි. මේ අතරින් කාඩ්පත් 7,738 ක් දේශීයව පිළිගන්නා කාඩ්පත් වන අතර, 2,260,974ක් ගෝලීයවද පිළිගන්නා කාඩ්පත් වෙයි.

ඒ අනුව මෙය 2026 මැයි මාසයේ පැවැති කාඩ්පත් 2,254,573 ට සාපේක්ෂව අලු‍තින් කාඩ්පත් 14,139 ක වැඩිවීමකි. එසේම 2025 දෙසැම්බර් මාසයේ පැවැති කාඩ්පත් 2,166,186 සිට කාඩ්පත් 102,526 ක් අලු‍තින් නිකුත් කිරීමක් ලෙසද සටහන්ව තිබේ.