
ඉහළ තෙල් මිලෙන් ආසියාවම දැවෙයිද?
පසුගිය මස 28 වැනිදා ඇමරිකාව සහ ඊශ්‍රායල ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමග ආරම්භ වූ මැදපෙරදිග යුද ගැටුම් මේ වනවිට 17 වැනි දිනයත් පසුකර හමාරය. දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව ඉරානයේ ඉහළ පෙළේ දේශපාලන සහ ආරක්ෂක ප්‍රධානීන් ඝාතනය කිරීමෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය මූලික වශයෙන්ම අපේක්ෂා කරනු ලැබුවේ ඉතා කෙටි කාලයක් තුළ තම අරමුණු ඉටුකර ගැනීම විය. විශේෂයෙන්ම, ඇමරිකාව විශ්වාස කරනු ලැබුයේ ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීමෙන් ඉරානය තුළ ඇමරිකාවට පක්ෂපාතී පාලනයක් ඇති කිරීමය.
අදවන විට මනාව පැහැදිලිව ඇති කරුණක් වනුයේ මැදපෙරදිග ගැටුම් කෙටි කාලීනව අවසන් වීමට ඇති සම්භාවිතාව ඉතා පහළ බවයි. ඇමරිකානු අපේක්ෂාවලට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධව මේ වන විට යුද ගැටුම් කලාපීයව පැතිරයාමක් සිදුව ඇත. ඉරානය තම අසල්වැසි රටවලට නිරන්තරයෙන්ම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊට හේතුව වශයෙන් ඉරානය දක්වා සිටින්නේ ඇමරිකාව තම අසල්වැසි රටවල සිට ප්‍රහාර එල්ල කරන බවයි.
යුද ගැටුම් නිසා ලෝක ආර්ථීකයට සිදුවන බලපෑම තීව්‍රර කිරීමට ප්‍රධානතම හේතුවක් වුයේ ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කිරීමය. ජාත්‍යන්තර මාධ්‍ය වලට අනුව මේ වනවිටත් ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය අවට භාණ්ඩ ප්‍රවාහනයේ යෙදී සිට ඇති නැව් 20කට පමණ ප්‍රහාර එල්ල කර ඇති අතර නාවුක කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. ලෝක තෙල් සැපයුමෙන් සියයට 20ක් පමණ ප්‍රවාහනය සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වන අතර ඊට අමතරව ගෑස්, පොහොර මෙන්ම අනෙකුත් බොහෝ භාණ්ඩ සහ සේවා සැපයීම මෙම මුහුදු කලාපය හරහා සිදු වේ. ඊට අමතරව යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදන සහ බෙදාහැරීමේ යටිතල පහසුකම්වලට ද සැලකිය යුතු හානියක් සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් මෙන්ම විශේෂයෙන්ම එක්සත් අරාබ් එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය වැනි රටවල ආර්ථික කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් යුද ගැටුම් හේතුවෙන් සිදුව පවතී. ඉරානයේ සහ ඊශ්‍රායලය ආශ්‍රිත ආර්ථික කටයුතුවලට දැඩි බලපෑමක් යුද්ධය නිසා සිදුව පවතී. මෙම යුද ගැටුම් හේතුවෙන් පසුගිය මසට සාපේක්ෂව තෙල් මිල සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති අතර පසුගිය වසරට සාපේක්ෂව බැලූවිට තෙල් මිලේ ඉහළයෑම සියයට 43 ක් පමණ වේ. දැනට ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ඩොලර් 100 ඉක්මවා ඇති අතර මෙම යුද ගැටුම් තවදුරටත් පැවතියහොත් තෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කෙරේ.
තෙල් මිලේ ආර්ථික බලපෑම
ලෝක ආර්ථිකය ඉතිහාසය පුරාම භූ දේශපාලන ආරවුල්, යුද්ධ සහ බලශක්ති වෙළෙඳපොළවල සිදුවන වෙනස්කම් මගින් දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ. වර්තමානයේ මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී ඇති යුද්ධය මෙම තත්වය තවදුරටත් තීව්‍ර කරමින් ලෝක ආර්ථිකයේ ස්ථාවරතාවට විශාල අභියෝගයක් නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම එම ප්‍රදේශය ලෝකයේ ප්‍රධාන තෙල් හා ස්වාභාවික වායු සැපයුම් මධ්‍යස්ථානයක් වන බැවින්, එහි ඇතිවන අස්ථාවරතාව තෙල් හා ගෑස් මිල ඉහළ යාමට හේතු වී ඇත. එය සෘජුවම බලපාන්නේ ඉන්ධන මිල, ප්‍රවාහන වියදම්, නිෂ්පාදන පිරිවැය සහ අවසානයේ පාරිභෝගික මිල මට්ටම් ඉහළ යාමෙන් ලෝක ආර්ථිකය පුරාම මහා පරිමාණ බලපෑම් ඇති කරමිනි.
මැදපෙරදිග කලාපය ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන් විශාල කොටසක් ලබා දෙන ප්‍රදේශයක් ලෙස සැලකේ. මැදපෙරදිග පිහිටි සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, කටාර්, ඉරානය, සහ ඉරාකය වැනි රටවල් ලෝක වෙළෙඳපොළට විශාල තෙල් සැපයුමක් ලබා දෙයි. මෙම ප්‍රදේශයේ පවතින යුද්ධ තත්වය හේතුවෙන් සැපයුම් මාර්ග පිළිබඳ අවිනිශ්චිතතාව වැඩිවීමත් සමගම ලෝක තෙල් වෙළෙඳපොළ අස්ථාවර වී ඇත. මෙම තත්වයෙන් ඉන්ධන මිල ඉහළ යාම ලෝක ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම සෘජු හා වක්‍ර බලපෑම් ඇති කරයි. ඉන්ධන මිල වැඩිවීම ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය වැඩි කරයි. ගුවන් සේවා, නාවික ප්‍රවාහනය සහ භූමි ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍රවලට මෙය බලපායි. ප්‍රවාහන වියදම් ඉහළ යන විට භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගෙවිය යුතු මුදල්ද වැඩිවන අතර, අවසානයේ එය පාරිභෝගිකයන්ට ගෙවිය යුතු මිල වැඩිවීමක් ලෙස පෙන්වයි. මෙම තත්වය ගෝලීය මට්ටමින් මූල්‍ය පීඩනයක් ඇති කරමින් උද්ධමනය වැඩිවීමට දායක වේ. උද්ධමනය වැඩිවීම ලෝක ආර්ථිකයේ වර්ධනයට විශාල අභියෝගයක් වේ. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම තත්වයෙන් දැඩි ලෙස බලපෑමට ලක්වෙයි. ඒවාට තෙල් හා ගෑස් ආනයනය කිරීමට විදේශ විනිමය වැඩියෙන් වියදම් කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස ඉන්දියාව සහ ලංකාව වැනි රටවල් ඉන්ධන ආනයනය මත විශාල වශයෙන් රඳා පවතින බැවින්, මිල ඉහළයාම එම ආර්ථිකයට බරපතළ පීඩනයක් ඇති කරයි. විදේශ විනිමය සංචිත අඩුවීම, වෙළෙඳ හිඟය වැඩිවීම සහ මුදල් ඒකක අගය පහත වැටීම වැනි ගැටලු මතු විය හැක.
ඉහළ යන තෙල් මිලට රටවල ප්‍රතිචාරය
තෙල් හා ස්වාභාවික වායු මිල ඉහළ යාමට ප්‍රතිචාර ලෙස ලෝකයේ විවිධ රටවල් විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටී. සමහර රටවල් ඉන්ධන මිල පාලනය සඳහා රාජ්‍ය සහනාධාර ලබා දීමට පියවර ගෙන ඇත. උදාහරණයක් ලෙස ජර්මනිය සහ ප්‍රංශය වැනි යුරෝපීය රටවල් පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට ඉන්ධන වියදම් අඩු කිරීමට විවිධ ආධාර පැකේජ හඳුන්වා දී ඇත. මෙවැනි පියවර කෙටි කාලීනව ජනතාවට සහන ලබා දෙන නමුත්, රාජ්‍ය අයවැයට අමතර බරක්ද පනවයි. එසේම සමහර රටවල් විකල්ප බලශක්ති මාර්ග වෙත හැරීමට වැඩි අවධානයක් යොමු කරමින් සිටී. සූර්ය ශක්තිය, වායු ශක්තිය සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය ශක්ති මාර්ගවලට ආයෝජනය වැඩි කිරීම හරහා ඉදිරියේදී තෙල් සහ ගෑස් මත පවතින අධික රඳාපැවතිම අඩු කිරීමට උත්සාහ දරයි.
යුරෝපා සංගමය මෙම අරමුණ සඳහා විශාල ශක්ති පරිවර්තන වැඩසටහන් ආරම්භ කර ඇත. එමගින් දිගු කාලීනව ශක්ති ආරක්ෂාව වැඩි කර ගැනීමේ උත්සාහයක් ද දක්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයද මෙම තත්වයට ප්‍රතිචාර දක්වමින් විවිධ පියවර ගෙන ඇත. එක්සත් ජනපදය තම උපායමාර්ගික තෙල් සංචිතවලින් කොටසක් වෙළෙඳපොළට නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබේ. මෙවැනි පියවර මගින් වෙළෙඳපොළේ සැපයුම තාවකාලිකව වැඩි කරමින් මිල ඉහළ යාම පාලනය කිරීමට උත්සාහ කරයි. එමෙන්ම දේශීය තෙල් හා ගෑස් නිෂ්පාදනය වැඩි කිරීමට ද උත්සාහ දක්වයි. ආසියානු රටවල් ද මෙම තත්වය සමග අනුගත වීමට නව ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.
චීනය සහ ජපානය වැනි විශාල ආර්ථික බලශක්ති සැපයුම් විවිධාංගීකරණය කිරීම සඳහා වෙනත් රටවල් සමග දිගු කාලීන ගිවිසුම් අත්සන් කරමින් සිටී. එමගින් එක් ප්‍රදේශයකට පමණක් රඳා නොසිට විවිධ මූලාශ්‍රවලින් ශක්ති සම්පත් ලබා ගැනීමට හැකි වේ. මෙම ගෝලීය තත්වය වෙළෙඳපොළවල ආයෝජන ප්‍රවණතාවලටද බලපායි. ඉන්ධන මිල ඉහළ යාම නිසා බලශක්ති සම්බන්ධ සමාගම්වල ලාබ වැඩිවිය හැකි අතර, ඒ අනුව ආයෝජකයෝ එම ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරති. ඒ අතරම ප්‍රවාහන හා නිෂ්පාදන ක්ෂේත්‍රවල වියදම් ඉහළ යාම නිසා ඒවායේ ලාභදායීතාව අඩුවිය හැක. එමගින් කොටස් වෙළෙඳපොළවල අස්ථාවරතාවද ඇති විය හැක. මැදපෙරදිග යුද තත්වය ලෝක ආර්ථිකයේ සුරක්ෂිතතාවය පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරයි.
ලෝකය තවමත් ඉන්ධන සම්පත් මත දැඩි ලෙස රඳා පවතින අතර, එම සම්පත් බහුලව පිහිටි ප්‍රදේශවල ඇතිවන ගැටුම් ගෝලීය ආර්ථිකයම බලපෑමට ලක් කරයි. මෙම තත්වය නිසා රටවල් ශක්ති ආරක්ෂාව, ශක්ති විවිධාංගීකරණය සහ පුනර්ජනනීය ශක්ති භාවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹී ඇත. ඉදිරියේදී ලෝක ආර්ථිකයේ ස්ථාවරතාව රඳා පවතින්නේ මෙම ගැටුම් කෙසේ විසඳාගන්නේද යන්න මත පමණක් නොව, රටවල් බලශක්ති සම්පත් භාවිතය පිළිබඳ දීර්ඝ කාලීන නව ප්‍රතිපත්ති කෙසේ සැලසුම් කරන්නේද යන්න මතද වේ. මැදපෙරදිග යුද්ධය ලෝකයට ලබා දෙන වැදගත් පාඩම වන්නේ බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථික ස්ථාවරතාව අතර ඇති සමීප සම්බන්ධයයි. ලෝකය අනාගතයේදී මෙවැනි අර්බුදවලට මුහුණ දීමට සූදානම් වීමට නම්, විකල්ප බලශක්ති මාර්ග සංවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ගෝලීය සහයෝගීතාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම අර්බුදය සම්පූර්ණයෙන්ම නිම වූ පසුත්, එය ලෝක ආර්ථිකයට දීර්ඝකාලීන බලපෑම් ඇති කරනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාස කරති. එම නිසා රටවල් කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් දෙකම සලකා බලමින් බලශක්ති ප්‍රතිපත්ති සංශෝධනය කිරීමට පියවර ගනිමින් සිටී. එමගින් අනාගතයේදී ලෝක ආර්ථිකය වැඩි ප්‍රතිරෝධකත්වයක් ඇති පද්ධතියක් බවට පත් කිරීමේ උත්සාහයක් දක්නට ලැබේ. මැදපෙරදිග යුද තත්වය විශේෂයෙන්ම ආසියානු ආර්ථිකවලට විශාල අභියෝගයක් නිර්මාණය කර ඇත. බොහෝ ආසියානු රටවල් තෙල්, ස්වාභාවික වායු සහ පොහොර වැනි මූලික සම්පත් සඳහා මැදපෙරදිග මත විශාල වශයෙන් රඳා පවතින බැවින්, එම ප්‍රදේශයේ අස්ථාවරතාව සෘජුවම ඔවුන්ගේ ආර්ථිකවලට බලපායි.
ආසියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථික කලාපයක් වන අතර එහි බලශක්ති අවශ්‍යතා ඉතා ඉහළය. එහෙත් බොහෝ ආසියානු රටවල් තමන්ට අවශ්‍ය තෙල් සහ ගෑස් දේශීයව නිෂ්පාදනය නොකරන බැවින්, ආනයනය මත දැඩි ලෙස රඳා පවතී. මෙම තත්වය නිසා මැදපෙරදිග යුද්ධය බලපෑමෙන් තෙල් මිල වැඩිවීම ආසියානු ආර්ථිකයට ඉතා සංවේදී බලපෑමක් ඇති කරයි. උදාහරණයක් ලෙස ජපානය තම තෙල් අවශ්‍යතාවෙන් සියයට 75 ක්ම මැදපෙරදිගින් ආනයනය කරයි. එමෙන්ම දකුණු කොරියාව ද විදුලි බල නිෂ්පාදනය සඳහා LNG මත දැඩි ලෙස රඳා පවතින අතර එහි LNG ආනයනයේ වැදගත් කොටසක් කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි ගල්ෆ් රටවලින් ලැබේ.
මෙවැනි තත්වයකදී ආසියානු රටවල් විවිධ ආර්ථික සහ ප්‍රතිපත්තිමය පියවර ගනිමින් එහි බලපෑම් අවම කිරීමට උත්සාහ කරමින් සිටී. උදාහරණයක් ලෙස ඉන්දියාව බලශක්ති සැපයුම ස්ථාවර කර ගැනීමට විශේෂ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. රජය ස්වාභාවික වායු සැපයුම පාලනය කිරීම සඳහා නීතිමය බලතල භාවිත කරමින් වැදගත් කර්මාන්ත සහ ගෘහස්ථ පාරිභෝගිකයන්ට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කර ඇත. මෙය යුද්ධය හේතුවෙන් ඇතිවිය හැකි බලශක්ති හිඟය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස සැලකේ. එමෙන්ම පිලිපීනය වැනි රටවල් ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන පීඩනය අඩු කිරීමට බදු සහනයන් ලබා දීමට සැලසුම් කර ඇත. එහි පාර්ලිමේන්තුව විසින් ඉන්ධන මත පනවා ඇති බදු තාවකාලිකව අඩු කිරීමට හෝ නවතා දැමීමට බලතල ජනාධිපතිවරයාට ලබා දීමට කටයුතු කර ඇත. මෙම පියවර ඉන්ධන මිල ඉහළ යාම නිසා උද්ධමනය වැඩිවීම වැළැක්වීමට ගත් පියවරක් ලෙස සැලකේ.
තවත් උදාහරණයක් ලෙස දකුණු කොරියාව සහ තායිලන්තය දේශීය ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්ධන මිල සීමාවක් (Price Cap) හඳුන්වා දීමට කටයුතු කර ඇත. එමගින් වෙළෙඳපොළේ අධික මිල ඉහළ යාම පාලනය කරමින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට රජය උත්සාහ කරයි. මෙම ප්‍රතිපත්තිය යටතේ රජය සමාගම්වලට වාණිජ අලාභ සිදුවන අවස්ථාවල ආර්ථික ආධාර ලබා දීමට ද සැලසුම් කර ඇත. එවැනි මිල පාලනයකට ගමන් කළ හැකිව ඇත්තේ තායිලන්තය වැනි රටවල් ඉන්ධන අරමුදලක් පිහිටුවා ඇති බැවිනි. ආසියානු කලාපයේ අනෙක් රටවල් ද බලශක්ති පරිභෝජනය අඩු කිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටී.
මෙරට තුළ ඉන්ධන හිඟය පාලනය කිරීම සඳහා රජය දැනටමත් පියවරයන් කීපයක් අනුගමනය කර ඇත. ඉන් එකක් වන්නේ ඉන්ධන (ප්‍රෙටල්, ඩීසල්, භූමි තෙල් සහ ගෑස්) මිල ඉහළ දැමීම වේ. ඊට අමතරව ඉන්ධන කෝටා ක්‍රමයක් හඳුන්වාදුන් අතර මේ සතිය ආරම්භයේ දී රාජ්‍ය අංශයේ තොරාගත් කේෂ්ත්‍ර සදහා සතියේ දින හතරක සේවා ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කරන ලදී. පාකිස්තානය සහ බංගලාදේශය ද ඉන්ධන පාරිභෝජනය පහත හෙළීම සඳහා පියවර කීපයක් පසුගිය සතිය තුළ හඳුන්වාදුන් අතර ඒ අතර පාසල් සහ විශ්ව විද්‍යාලවල කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කිරීමට කටයුතු කරන ලදී. මෙම පියවර ඉන්ධන පරිභෝජනය අඩු කර තෙල් සහ ගෑස් සංචිත සුරක්ෂිත කර ගැනීමට ගත් පියවරක් ලෙස සැලකේ.
ඉන්ධන මිල ඉහළ යාමට අමතරව මැද පෙරදිග යුද්ධය ආසියානු රටවල කෘෂිකර්ම ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් ඇති කරමින් තිබේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පොහොර නිෂ්පාදනය සහ සැපයුම විශාල වශයෙන් ගල්ෆ් කලාපය මත රඳා පවතින බැවිනි. ස්වාභාවික වායු පොහොර නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍යයක් වන අතර එය යුරියා වැනි නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය සඳහා භාවිත වේ. එම නිසා ගෑස් සැපයුම බාධා වීම හෝ ගෑස් මිල ඉහළ යාම පොහොර මිල ඉහළ යාමට සෘජුවම බලපායි. මැද පෙරදිග ගැටුම් තත්වය හේතුවෙන් පොහොර වෙළෙඳාමටද බාධා ඇති වී ඇති අතර ලෝකයේ නයිට්‍රජන් පොහොර අපනයනයෙන් සියයට 25 සිට සියයට 30 දක්වා ප්‍රමාණයක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බව වාර්තා වේ. මෙම මාර්ගයේ නාවික ගමනාගමනය අඩුවීම හේතුවෙන් පොහොර සැපයුම අඩුවී මිල ඉහළ යාම සිදුවී ඇත. ආසියානු කලාපයේ බොහෝ රටවල් කෘෂිකර්මය මත දැඩි ලෙස රඳා පවතින බැවින් පොහොර මිල ඉහළ යාම ඔවුන්ගේ ආහාර නිෂ්පාදනයට සහ ආහාර මිලට දැඩි බලපෑම් ඇති කරයි.
උදාහරණයක් ලෙස දකුණු ආසියානු සහ දකුණු-නැගෙනහිර ආසියානු රටවල යුරියා පොහොර මිල සියයට 40 කට වඩා වැඩි වී ඇති බව වාර්තා වේ. සමහර වෙළෙඳපොළවල එය ටොන් එකකට ඩොලර් 700 කට වඩා ඉහළ ගොස් ඇත. මෙම තත්වය කෘෂිකර්මය මත විශාල බලපෑමක් ඇති කරයි. ගොවීන්ට පොහොර මිල ඉහළ යාම නිසා වගා වියදම් වැඩිවන අතර සමහර අවස්ථාවල ඔවුන් වගා ප්‍රමාණය අඩු කිරීමට ද සිදුවේ. එය අනාගතයේදී ආහාර නිෂ්පාදනය අඩුවීමට සහ ආහාර මිල ඉහළ යාමට හේතු විය හැක. විශේෂයෙන්ම සහල්, තිරිඟු සහ බඩඉරිඟු වැනි මූලික ආහාර භෝග සඳහා මෙය දැඩි බලපෑමක් ඇති කරයි. ආසියානු රටවල් මෙම ගැටලුවට මුහුණ දීමට විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටී. සමහර රටවල් ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමෙන් වගා වියදම් අඩු කිරීමට උත්සාහ කරයි. තවත් රටවල් විදේශීය පොහොර සැපයුම් විවිධාංගීකරණය කිරීම සඳහා නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කරමින් සිටී. උදාහරණයක් ලෙස ඉන්දියාව තම යුරියා අවශ්‍යතාවෙන් සියයට 40 කට වැඩි ප්‍රමාණයක් ගල්ෆ් කලාපයෙන් ආනයනය කරන බැවින්, එම රට දැන් තම පොහොර සංචිත පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින් සිටී.
සාරාංශය
මැදපෙරදිග යුද්ධය ආසියානු ආර්ථිකවලට බලශක්ති සහ ආහාර ආරක්ෂාව පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කර ඇත. ඉන්ධන මිල ඉහළ යාම, ප්‍රවාහන වියදම් වැඩිවීම සහ පොහොර මිල ඉහළ යාම එකට සිදු වූ විට එය උද්ධමනය වැඩිවීමට සහ ජන ජීවිතයේ වියදම් ඉහළ යාමට හේතු වේ. එමගින් ආර්ථික වර්ධනය මන්දගාමී වීම, වෙළෙඳ හිඟය වැඩිවීම සහ රාජ්‍ය අයවැය මත පීඩනය වැඩිවීම වැනි ගැටලු ඇති විය හැක. මෙම අර්බුදය ආසියානු රටවලට දිගුකාලීන බලශක්ති සහ ආහාර ආරක්ෂාව පිළිබඳ නව සැලසුම් සකස් කිරීමට හේතු වී ඇත. බොහෝ රටවල් දැන් පුනර්ජනනීය බලශක්ති මාර්ගවලට වැඩි ආයෝජනයක් කරමින් තෙල් සහ ගෑස් මත පවතින අධික රඳාපවතිම අඩු කිරීමට උත්සාහ කරමින් සිටී. එමෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දේශීය පොහොර නිෂ්පාදනය වැඩි කිරීම සහ නව කෘෂි තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමෙන් ආහාර නිෂ්පාදනය ස්ථාවර කර ගැනීමට උත්සාහ දරයි.
සමස්තයක් ලෙස ගත්විට, මැදපෙරදිග යුද්ධය ආසියානු රටවල ආර්ථිකයන්ට බලශක්ති, කෘෂිකර්ම සහ වෙළෙඳ ක්ෂේත්‍ර තුනම හරහා බහුපාර්ශ්වීය බලපෑම් ඇති කර ඇත. එයට ප්‍රතිචාර වශයෙන් ආසියානු රටවල් බදු සහන, මිල පාලන, බලශක්ති සංචිත භාවිතය, ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සහ පොහොර සහනාධාර වැනි කෙටි කාලීන පියවර ගනිමින් සිටින අතර දිගු කාලීනව බලශක්ති සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති සැලසුම් කළ යුතුව ඇත. විශේෂයෙන්ම, දැනට වඩා නිවසේ සිට වැඩකිරීම ප්‍රවර්ධනය කළ යුතු අතර එය අර්බුද අවස්ථාවක දී පමණක් නොව සාමාන්‍ය තත්වය යටතේදී ද ක්‍රියාත්මක කළ යුතුව ඇත. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඉතා ගැඹුරින් අවධානය යොමු කිරීම ඉක්මනින් කළ යුතු අතර එසේ නොවුණහොත් ඉතා අහිතකර ප්‍රතිවිපාකවලට නුදුරේම මුහුණදීමට සිදුවනු ඇත. දැනට මතුව ඇති සහ ඉදිරියේ දී මතුවෙතැයි සිතිය හැකි අර්බුදකාරී තත්වයට මුහුණ දීමට අවශ්‍ය වන කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් නිසි ක්‍රමවේදයක් තුළ සකස්කිරීම කෙරෙහි ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වෙතැයි අපේක්ෂා කරමු.

ඡායාරූපය : ළහිරු හර්ෂණ

