
ආර්ථික වර්ධනය, උද්ධමනය, පොලී අනුපාත, විනිමය හුවමාරු අනුපාතික, බදුකරණය, රාජ්‍ය ණය, රාජ්‍ය මූල්‍යය ආදායම් සහ මූල්‍ය ප්‍රතිපත්ති යන මූලික ආර්ථික සංකල්ප සම්බන්ධයෙන් පෘථුලව පැතිර ගිය වරදවා වටහා ගැනීම් පවතී.
මෙම දුර්මත, පුවත්පත්, රූපවාහිනී සාකච්ඡා, සහ සමාජ මාධ්‍ය හරහා විවිධ විචාරකයන් විසින් පතුරුවා හරිනු ලැබේ. එවැනි ආර්ථික මිථ්‍යාවන්ගෙන්, ජන මතය විකෘති වී, වෙළෙඳපොළ අස්ථාවරභාවය නිර්මාණය වී, පෞද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකෙහිම විචක්ෂණශීලී නොවන තීරණ ගැනීම්වලට ඒවා හේතුවේ. එසේම ඒවායින් ඉතිරි කිරීම්, ආයෝජන, නිෂ්පාදන ක්‍රියාකාරකම්, ආදිය අධෛර්යවත් වන ප්‍රවණතාවක් මතුවී, වෙළෙඳපොළ භීතිකාවන්ට පවා ඒවා හේතුවිය හැකිය.
එම නිසා පුද්ගලානුබද්ධ අදහස්වලට වඩා ධනාත්මක ආර්ථික ප්‍රවේශයක පිහිටුවනු ලැබූ න්‍යායාත්මක වශයෙන් ප්‍රබල, සාක්ෂි මත පදනම් වූ විවරණ, විචක්ෂණ ශීලී ප්‍රතිපත්ති සම්පාදනවලට හා රටක ආර්ථික අභිවෘද්ධිය උදෙසා තීරණාත්මක ලෙස හේතු වේ. මෙම පසුබිම යටතේ මෙම ලිපි පෙළෙන්, මේ වන විට පැතිර යන ආර්ථික දුර්මත, සම්බන්ධ අවිද්‍යාව දුරු කිරීමට උත්සාහ කෙරේ.
විනිමය අනුපාතිකය කළමනාකරණය කිරීම සම්බන්ධ මිථ්‍යා මත:-
පසුගිය සති කීපයේ පැවති විදේශ විනිමය අනුපාතිකය උච්චාවචනය වීම සම්බන්ධයෙන්, 2023 ක්‍රියාත්මක කළ මහ බැංකු පනත යටතේ විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම තවදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍යයක් නොවන බවට පුවත්පත්වලත් සමාජ මාධ්‍යවලත් දුර්මත පෙළක්ම සංසරණය වූයේය. එම මතයේ සංරචකවලට අනුව විනිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටයි.
අලුත් පනත යටතේ වාණිජ බැංකුවලට අවිධිමත් ලෙස මාර්ගෝපදේශ සැපයීම වැනි සදාචාරවත් නම්මා ගැනීම්වලින් විනා, විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට වෙනත් උපක්‍රමයක් නොමැති බවට ඒවායින් තර්ක කෙරිණි. එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට, මූල්‍ය ප්‍රතිපත්තිය පවත්වා ගැනීමට පවත්නා නිදහස භුක්ති විඳින්නා සේ, ඊටම අයත් විදේශ විනිමය අනුපාත ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමට නිදහස නොමැති වග ඒවායින් කියවිණි.
යථාර්ථය:-
ඉහත කී ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. 2023 ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 7(1) වගන්තියෙ මෙසේ කියවේ.
‘මේ පනතේ විධිවිධානවලට යටත්ව මහ බැංකුවේ බලතල කාර්ය සහ කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතුය.
(අ) මුදල් ප්‍රතිපත්තිය තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
(ආ) විනිමය අනුපාතික ප්‍රතිපත්තිය තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
(ඇ) ශ්‍රී ලංකාවේ නිල ජාත්‍යන්තර සංචිත පවත්වාගෙන යාම සහ ඒ සංචිත වල විචක්ෂණශීලී සහ ඵලදායි කළමනාකරණය සහතික කිරීම.
(ඇ) ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ කළමනාකරණය කිරීම.”
මේ ආකාරයට විනිමය අනුපාතිකය කළමනාකරණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයක් වන්නේ, ඉහත විස්තර කළ දුර්මතයට මුළුමනින් වෙනස්ව යමින්‍් ය. ඇත්ත වශයෙන්ම විනිමය අනුපාතිකය කළමනාකරණය 1950 ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භයේ පටන්ම, 2002 දී එය ඕනෑවට එපාවට මෙන් අතහැර දමන තුරුම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික වගකීමක් වූයේය.
1949 ජෝන් එක්ස්ටර් ගේ නිර්දේශවලින්, බිහි වූ, මූල්‍ය නීති පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික කර්තව්‍යය අතර ලංකා රුපියලේ සාමාන්‍ය වටිනාකම ආරක්ෂා කර ගැනීම ඇතුළත්ව තිබිණි.
2002 දී විනිමය අනුපාතික කළමනාකරණ කටයුතු හිතුවක්කාර ලෙස ඉවත් කිරීම:-
2002 මූල්‍ය නීති පනතට හඳුන්වා දුන් සංශෝධන යටතේ (වාර්තා වන ආකාරයට) එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය දැරූ ඒ.එස්. ජයවර්ධනගේ මූලිකත්වයෙන්, විනිමය අනුපාතිකයේ ස්ථාවර භාවය ආරක්ෂා කිරීමේ තීරණාත්මක කාර්යභාරය ඉවත් කරන ලදී.
ඒ වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු a) ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය b) මූල්‍ය අද්ධතියේ ස්ථාවරත්වය අත් කර ගැනීම යන අරමුණුවලට සීමා කෙරිණි.
මූල්‍ය නීති පනතට සංශෝධන ගෙන එමින් කළ මෙම වැදගත් නොසලකා හැරීම්, මහ බැංකු පනතින් නැවත නිවැරදි කර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික කාර්යභාරයක් ලෙස, විනිමය අනුපාතික ප්‍රතිපත්තිය තීරණය කිරීම සහ ගොඩනැගීම නැවත හඳුන්වා දෙනු ලැබුවේය. එම නිසා එම පනතේ විනිමය අනුපාතික කළමනාකරණය සඳහා විධිවිධාන අඩංගු නොවන්නේය යන කතාව එයින් ප්‍රතික්ෂේප වේ.
විනිමය අනුපාතිකය කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සතු උපක්‍රම:-
ඉහත කී දුර්මතයට මුළුමනින් වෙනස්ව යන්නාවූ, විනිමය අනුපාතිකයේ කෙටිකාලීන උච්ඡාවචන සමනය කරන අතර තුර දීර්ඝ කාලයේදී වෙළෙඳපොළ බලවේග තීරණය කිරීමට ඉඩ සලසන ප්‍රතිපත්තිමය උපක්‍රම කිහිපයක්ම ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී.
ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය වෙනස් කිරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය අනුපාතිකය කෙරෙහි බලපෑම් කළ හැකිය. උදාහරණයකට ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය වැඩි කළහොත්, වෙළෙඳපොළේ පොලී අනුපාතිකය ඉහළ ගොස් ආනයන උදෙසා විදේශ විනිමයට ඇති ඉල්ලුම අඩුවේ. එයින් කෙටි කාලයේදී රුපියල කෙරෙහි ඇති අවප්‍රමාණ පීඩනය ඉහිල් කළ හැකි වේ.
2026 මැයි මාසය අගදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය (OPR) 8.75 දක්වා මූලික ඒකක සියයකින් වැඩි කිරීමට ගත් තීරණයෙන් පසු මෙම තත්වය පිළිබිඹු වූයේය. මෙම පියවර පසුබිමේ සැලකිල්ලට ගත් මූලික කාරණය වූයේ, ආනයනය ඉල්ලුම වැඩි කිරීමට තුඩු දුන් පෞද්ගලික අංශයේ ව්‍යාප්ත වෙමින් පැවති ණය ඉල්ලුමයි. එම පියවරෙන් බාහිර අංශය වෙත පීඩනය එල්ල කෙරිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිත කළ තවත් උපක්‍රමයක් වූයේ, අපනයනකරුවන්, විදේශ විනිමය මෙරට මුදලට මාරු කළ යුතු කාලය මාස තුනේ සිට තනි මාසයක් දක්වා කෙටි කර විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය ඉහිල් කිරීමයි. ඒ අනුව මේ වන විට අපනයනකරුවන් උපයා ගත් අපනයන ආදායම්, ඊළඟ මාසයේ දහවැනි දිනට පෙර ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කළ යුතු වේ.
කෙටිකාලීනව විනිමය අනුපාතිකයේ පවතින අස්ථාවරභාවයෙන් ආරක්ෂා වීමට, විදේශ සංචිත මිලදී ගැනීම හෝ විකිණීම කිරීම හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත මැදිහත් විය හැකිය. 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 211.3 ක ශුද්ධ විකුණුම් සිදුකර රුපියල අප්‍රමාණ වීමේ පීඩනය වළක්වා ගත් බව වාර්තා වූයේය.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය ඉහළ දැමීමේ තරගයක:-
ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය දිනවල ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය ඉහළ දැමීමට ගත් තීරණයට එල්ලවූ විවේචනයක් වන්නේ එය ආයෝජනවලට සහ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට අහිතකර ලෙස බලපාන්නේ යන්නය. මෙම ගැටලුව, හොඳින් තහවුරු වූ ” ඉටු කළ නොහැකි ත්‍රිත්වය” ( Impossible Trinity ) නම් සංකල්පයෙන් විග්‍රහ කළ හැකිය. එයින් කියා සිටින්නේ යම් මහ බැංකුවකට එක විට එළඹිය හැක්කේ පහත සඳහන් ප්‍රතිපත්තිමය අරමුණුවලින් දෙකකට පමණක්ය යන්නයි. ඒවා නම්, ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තිය, නිත්‍ය විනිමය අනුපාතිකය, සහ නිදහස් ප්‍රාග්ධන ගලා යෑම, යන අරමුණු තුනයි.
විනිමය අනුපාතික නම්‍යතාව සහ නිදහසේ ප්‍රාග්ධනය ගලා යන්නට සැලැස්වීම, සිදු කරන පාලනයක් සහිත රටක, මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය යම් තරමකින් කැපකිරීමට ලක් කළ යුතුය. වෙනත් වචනවලින් කිවහොත් මූල්‍ය ප්‍රතිපත්තිය යන්න, විනිමය අනුපාතිකයේ සංචලනය හා ප්‍රාග්ධන ගලා යැමෙන් හුදෙකලා කර තීරණය කළ නොහැකිය.
ශ්‍රී ලංකාව ආශ්‍රිතව, ශ්‍රී ලංකා මහ බැංකුවට, රුපියල අවප්‍රමාණය වෙන අතරතුරදි ආර්ථිකය උත්තේජනය කිරීමේ ක්‍රියාවලිය සඳහා පොලී අනුපාතිකය පහත් මට්ටමකින් පවත්වාගන්නා වාතාවරණය, ආනයනය ඉල්ලුම වැඩිවන්නට හේතු වී, ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම දිරිමත් වේ. එම අවස්ථාවල මුදල අවප්‍රමාණය වීම වේගවත් වන්නේය.
පොලී අනුපාත හා විනිමය අනුපාතික එකිනෙකින් වෙන් කළ නොහැකි ප්‍රතිපත්තිමය උපාය මාර්ග වේ.:-
විවෘත ආර්ථිකයක් තුළ, පොලී අනුපාතික සහ විනිමය අනුපාතික, විදේශ වෙළෙඳාම වෙත සහ ප්‍රාග්ධන ප්‍රවාහ සමග සෘජුවම සම්බන්ධ වෙයි. ඉහළ පොලී අනුපාතික, මුදල අවඅප්‍රමාණ වීම සමනය වීමට මාර්ග කීපයක් හරහා උපකාර වන්නේය. එයින් ණයට ගැනීම් වඩාත් මිල අධික කරවන අතර එයින් ආනයන ඉල්ලුම අඩු වී වෙළෙඳ හිඟය පටු වන්නේය. පොලී අනුපාතික වැඩි කිරීමෙන් විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමද කළ හැකි වන අතර ප්‍රාග්ධනය රටින් පිටව යාම අධෛර්යවත් කෙරේ.
එම නිසා සාපේක්ෂව දේශීය පොලී අනුපාත වැඩිකිරීම, මුදලේ අගය තවදුරටත් පිරිහීමේ පීඩනය පවතින කාලවල නිරන්තරයෙන්ම අවශ්‍ය වන්නේය. ඒ අනුව පොලී අනුපාතික සහ විනිමය අනුපාතික පුළුල් මූල්‍ය ප්‍රතිපත්ති සැලසුම් රටාවක් තුළ එකිනෙකින් වෙන් කළ නොහැකි ප්‍රතිපත්ති උපාංග වේ.
2026 ජූනි 16 Daily FT හි පළවූ ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ

