අර්බුදයට මැදි වූ කොසු ඉදල් කර්මාන්තය


 කොස්සකට මිටක් සවි කරන අයුරු


  • මීටි හදන්න ගන්න ලී ප්‍රවාහනය කරන්න බැහැ පොලිසියෙන් අල්ලනවා
  • රැපියල් ‘100’ ට තිබුණ කොහු කිලෝ එක දැන් රැපියල් ‘200’ යි
  • නිෂ්පාදනවලට ඉල්ලුමක් තියෙනවා. එහෙත් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතාව නිසා ඉල්ලුමට සැපයුම කරන්න විදිහක් නැහැ.
  • මේ දේශීය කර්මාන්තය ආරක්ෂා කරගන්න නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික කර්මාන්තකරැවන්ට ලබා දිය යුතුයි.
  • ආරම්භ කරපු කාලෙ නම් හොඳ ආදායමක් ලැබුවා. මගෙ ළඟ සේවකයෝ 15 ක් විතර වැඩ කළා.
  • ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය කිරීම කර්මාන්තය කඩා වැටෙන්න තවත් හේතුවක්
  • අමුද්‍රව්‍යවල හිගය නිසා ඉරටු හා කොහු මිල එකට එකක් වැඩිවෙලා
  • ඉරටු රට යවන නිසා පිට පළාත්වල වෙළෙඳුන් ඇවිත් වැඩි මිල ගණන්වලට ඉරටු අරගෙන යනවා

සඳලංකාව හේමලතා ඩී. හේවගේ


මෙරට ජනතාව අතීතයේ සිට භාවිත කළ පොල් ගසේ විවිධ කොටස් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද කොස්ස, ඉදලට ජනතාව අතර තිබුණේ ඉතා ඉහළ ඉල්ලුමකි. 

දේශීයව නිපදවන ලද කොස්ස හා ඉදලට අද වන විට අත්ව ඇති ඉරණම හා ඒවා නිෂ්පාදනයේ යෙදෙන පිරිසටද තම කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්වයක් පවතින බව එම කර්මාන්තකරුවෝ පවසති.

විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමග විදේශීය රටවලින් විවිධ භාණ්ඩ ආනයනය කිරීම නිසා දේශීය ජනතාව හුරුව සිටි පොල් ඉරටු යොදා ගනිමින් සකසන ලද ඉදල වෙනුවට ප්ලාස්ටික් ඉදල්වලට සහ කොහු භාවිත කරමින් සකසන ලද කොස්ස වෙනුවට  ප්ලාස්ටික් කොස්ස භාවිතයට නැඹුරුවීම මෙරට කොහු ඉදල් කර්මාන්තයට මරු පහරක් එල්ල කිරීමක් බවද එම කර්මාන්ත කරුවෝ පෙන්වාදෙති.

අද වන විට මෙම කොසු ඉදල් නිෂ්පාදනයේ යෙදෙන කර්මාන්ත කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ හඬ අවදි කළේ මෙසේය.

ගිරිඋල්ල ඇත්පන්තිය පදිංචි එච්. එම්. ඉෂාර පැතුම් කොසු සහ ඉදල් සඳහා මිට සකසන ව්‍යාපාරික මහතෙකිග ඔහු තම ගැටලු සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

අපේ රටේ අපේම නිෂ්පාදනයක් කරගෙන යන්න ලැබීම වාසනාවක් විදිහටයි අපි එදා සැලකුවේ. එහෙත් අද ඒ තත්වය ගොඩක් වෙනස්. මම කරන්නේ කොසු, ඉදල්වලට මිට සකස් කරන එක. ව්‍යාපාරය ආරම්භ කරපු කාලේ ගැටලුවක් නැතුව මේක කරගෙන ගියා. එහෙත් අද අපිට මෙම කර්මාන්තය කරගෙන යෑමට නොහැකි තත්වයකයි තියෙන්නේ. මිටි’ හදන්න ගන්න ලී ප්‍රවාහනය කරන්න බැහැ. පොලිසියෙන් අල්ලනවා. ඒක විශාල ගැටලුවක්. මිටක් විදිහට රවුටර් කරලා ප්‍රවාහනය කරන්න පුළුවන්. එහෙත් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ලී මෝල්වල මීටවල් ඒ විදිහට සකස් කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර නැහැ. ඒක නිසා මෝල්වලින් ලී ටික අපි ගෙනැවිත් තමයි රවුටර් කරලා හදන්නේ.

ලැබෙන ලාබය අඩු නිසා සේවකයන් සම්බන්ධ කරගෙන ඔවුන්ට වැටුප් ගෙවලා අද මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ. සේවකයන් වෙනුවට මවගේ උදව් ඇතුව තමයි මේක පවත්වගෙන යන්නේ. නිෂ්පාදනවලට ඉල්ලුමක් තියෙනවාග එහෙත් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුතාව නිසා ඉල්ලුමට සැපයුම කරන්න විදිහක් නැහැ. අපේ මේ දේශීය කර්මාන්තය ආරක්ෂා කරගන්න නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික කර්මාන්ත කරුවන්ට ලබා දිය යුතු වෙනවා. අපි අදාළ බලධාරීන්ට කියන්නේ ඒ මැදිහත්වීම සිදු කරන්න කියලයි.

කොසු සහ ඉදල් නිෂ්පාදනය කරන බෝපිටිය වැල්ලෑව පදිංචි එන්. සංජීව චන්දන කුමාර පැවසුවේ මෙවැන්නකි.
මම මේ කර්මාන්තය පටන් අරගෙන දැන් වසර 25 කට ආසන්නයි අපේ මවුපියොත් කොහු ආශ්‍රිත රැකියාවලයි නිරතවෙලා හිටියේ. මගේ පියා කොහු ලණු ඇඹරුවා. පසුව ඒ කර්මාන්තය මගේ සහෝදරයා කරගෙන ගියා. පසුව මට හිතුණා මේ කොසු ඉදල් හදන්න පටන් ගන්න ඕන කියලා.

ආරම්භ කරපු කාලෙ නම් හොඳ ආදායමක් ලැබුවා. මගෙ ළඟ සේවකයෝ 15 ක් විතර වැඩ කළා. ඔවුන්ටත් හොඳින් සලකගෙන කර්මාන්තය හොඳින් පවත්වගෙන ගියා. කොරෝනා ව්‍යසනයත් සමග අපේ කර්මාන්තය කඩා වැටුණා. ඒ වගේම ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය කිරීම අපේ කර්මාන්තය කඩා වැටෙන්න තවත් හේතුවක්. අද මිනිස්සු බොහොමයක්ම පරිහරණය කරන්නේ ප්ලාස්ටික් කොසු ඉදල්. ඒවා මිල අඩුයි. ඒ වගේම මිට කැඩුණොත් නැවත අලුත් මිටක් සවි කරගන්න පුළුවන්.

අපේ නිෂ්පාදන ප්ලාස්ටික් ඒවා අලෙවි කරන මිලට දෙන්න බැහැ. අමුද්‍රව්‍යවල හිගය නිසා ඉරටු හා කොහු මිල එකට එකක් වැඩිවෙලා. ඉස්සර ගම්වලට ගියහම ඕන තරම් ඉරටු තියෙනවා. ඉරටු රට යවන නිසා පිට පළාත්වල වෙළෙඳුන් ඇවිත් වැඩි මිල ගණන්වලට ඉරටු අරගෙන යනවා. ඒක නිසා අද ඉරටු හොයනවා කියන්නේ හරියට කලුනික හොයනවා වගේ වැඩක්.

මහා පරිමාණ කර්මාන්තකරුවන් පොල්ලෙලි කෑලිවලට කපන නිසා කොහු මෝල් විශාල ප්‍රමාණයක් වැහිලා. ඒක නිසා කොහු හොයාගන්න නැහැ. රුපියල් 100ට තිබුණ කොහු කිලෝ එක දැන් රුපියල් 200 යි. ඉරටු මිලත් එහෙමයි. කොහු ඉරටු වගේම ඒවාට සවිකරන මීටවලුත් හොයාගන්න නැහැ. අද මේ කර්මාන්තයේ යෙදෙන පිරිස විශාල ගැටලුවලට මුහුණ දීලා තියෙන්නේ මේ අමුද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීම නිසා. අපි අදාළ බලධාරීන්ට කියන්නේ අපේ මේ කොසු ඉදල් කර්මාන්තය පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා විදේශ රටවලින් ආනයනය කරන ප්ලාස්ටික් භාණ්ඩ සීමා කරන්න කියලයි.

බෝපිටිය වේවැල්ල පදිංචි චින්තක සඳරුවන් ද මෙම කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරික මහතෙකි. ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.

වසර 06 ක සිට මම කොසු ඉදල් හා ඒවාට සවිකරන මිට හදනවා. කොරෝනා ව්‍යසනයත් සමග ප්ලාස්ටික් කොස්සට ඉදලට මිට  ගෙන්වීම නැවතුණා. ඒ ප්ලාස්ටික් කොස්සට ඉදලට මීට හදන්න ලංකාවේ මුලින්ම පටන් ගත්තෙ මම. ඒ වෙනුවෙන්ම නවීන තාක්ෂණය යොදලා මැෂින් එකක් මම නිර්මාණය කළා. මගේ නිෂ්පාදන වලට හොඳ ඉල්ලුමක් තිබුණා. ​එහෙත් කොරෝනා ව්‍යසනයෙන් පසුව නැවත එම මිට ආනයනය කරන්න පටන් ගත්තාග අපේ කර්මාන්තය කඩා වැටුණා. ඕක තමයි ඇත්ත තත්වය.

මේ වෙද්දි මම ඔය මිටවල් සකසන මැෂින් 35 ක් විතර හදල තියෙනවා. ඒවා මාතර ගාල්ල, තඹුත්තේගම, කෑගල්ල, පොල්ගහවෙල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කර්මාන්ත ශාලාවලට අලෙවි කරලා තියෙනවා. රටට අවශ්‍ය බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් දැනුම හා සම්පත් අපේ රටේ තියනවා. එහෙත් ඒ සෑම දෙයක්ම විදේශ රටවලින් ආනයනය කරනවා. දේශීය කර්මාන්තකරුවා ගැන හිතන්නේ නැහැ.

අනික් කාරණය තමයි අපේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී අද වන විට පවතින නීතිමය ගැටලු. කොස්ස ඉඳල හැදුවට වැඩක් නැහැ ඒකට මිටක් නැත්නම්. අද මිට හදන්න ලී ටිකක් ප්‍රවාහනය කරන්න බැහැ. පොලිසියට අසුවුණොත් දඩ ගහනවා. අපේ කර්මාන්තශාලාවලට අවශ්‍ය ලී ගෙනාවේ කෑගල්ල, මාවනැල්ල, පොල්ගහවෙල ඇතුළු විවිධ ප්‍රදේශවලින්. මුල් කාලයේ ඔවුන් ඒ ලී අපේ කර්මාන්තශාලාවලට ගෙනෙත් දුන්නා. අද අපිට ඒ ලී මෝල්වලට ගිහිල්ලයි ගේන්න වෙලා තියෙන්නේ.

මීට වසර දෙක තුනකට පෙර මගේ ළඟ සේවකයන් 08 ක් වැඩ කළා. අද ඉන්නේ එක්කෙනයි. සේවකයන් නඩත්තු කරන්න ඔවුන්ට වැටුප් ලබා දෙන්න තරම් ආදායමක් අද අපිට උපයන්න අමාරුයි. අපහසුතා රාශියක් මැද්දෙ තමයි අපි අද මේ කර්මාන්තය කරගෙන යන්නේ. අපි රජයෙන් රස්සා ඉල්ලන්නේ නැහැ. වෙන ආධාර ඉල්ලන්නෙත් නැහැ. අපේ කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් තවත් පිරිසකට රැකියා ලබාදෙන්න. කර්මාන්ත කරුවන් හැටියට ඒ අවස්ථාව සකස් කරලා දෙන්න කියලයි අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සකසන ලද කොසු සහා ඉදල්