ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වැනි වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීයත්වයේ නොසැලෙන බැඳීම මනාව පෙන්වා දෙමින්, පාරිභෝගික මනාපයෙන් තෝරාගනු ලබන මෙම අසමසම ජයග්‍රහණය, එම සම්මාන වැඩසටහන දියත් කළ වසරේ සිට මේ දක්වා සෑම වසරකම දිනාගත් මෙරට එකම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් තම අද්විතීය ස්ථානය තවදුරටත් තහවුරු කර තිබේ.
කීර්තිමත් ගෝලීය අලෙවිකරණ දත්ත පර්ෙ ය්ෂණ හා විශ්ලේෂණ ආයතනයක් වන කැන්ටාර් සමග එක්ව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ඉදිරිපත් කරන මෙම ජනතා සම්මාන උළෙල, පූර්ණ වශයෙන්ම පදනම් වී ඇත්තේ ස්වාධීන ජාතික සමීක්ෂණයක ප්‍රතිඵල මත වේ. පාරිභෝගික ඡන්දවලින්ම පමණක් තීරණය වන මෙම සම්මාන, මෙරට ජනප්‍රියතාවේ වඩාත්ම අව්‍යාජ වූ පිළිබිඹුවක් ලෙස සැලකේ.
ඉහළම මහජන ප්‍රසාදය සමගින් දිවෙන සෙලින්කෝ ලයිෆ් හි වසර 20ක අඛණ්ඩ ගමනට සමගාමීව ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් සමග 2025 දී සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව 22 වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකයා වීමටද සමත් විය. 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා සමාගම රුපියල් බිලියන 44.18 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 72.43 ක මුළු ආදායමක් වාර්තා කළ අතර, එහි ජීවිත අරමුදලෙහි වටිනාකම රුපියල් බිලියන 200 ක සන්ධිස්ථානය ද ඉක්මවා ගියේය. පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් සමාගම මෙම වසර තුළ ඔප්පු හිමියන්ට ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 37.07 ක් ගෙවා ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් හි විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජීවිත රක්ෂණ සමාගම ලෙස අඛණ්ඩව වසර 20ක් පුරාවට තේරී පත්වීම අප නිහතමානීව හා කෘතඥපූර්වකව පිළිගන්නා ඉහළම ගණයේ ගෞරවයක්. අප කරන සෑම කාර්යයකටම අනුබල දෙන අපගේ රක්ෂණ ඔප්පු හිමියන් අප වෙත තබා ඇති නොසැලෙන විශ්වාසයට මෙම සන්ධිස්ථානීය සම්මානය උපහාරයක්. මෙම අසමසම ගමනට දායක වූ අපගේ මිලියනයකට අධික රක්ෂණ ඔප්පු හිමියන්ට, අපගේ කැපවූ සේවක පිරිසට සහ උපදේශකයන්ට, අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ අනෙකුත් සියලුම කොටස්කරුවන්ට අප බෙහෙවින් කෘතඥ වෙමු.”
ඔහු තවදුරටත් පැවසුවේ, “අපගේ සාර්ථකත්වය සෑමවිටම රඳා පවතින්නේ සරල නමුත් බලගතු දර්ශනයක් තුළය. එනම් විශ්වසනීය හා වටිනාකම් මත පදනම් වූ ජීවිත රක්ෂණ විසඳුම් හරහා අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත හා ඔවුන්ගේ අභිලාෂ ආරක්ෂා කිරීම මෙන්ම ඔවුන් අවදානම්වලින් නිදහස් කිරීමේ දර්ශනයයි. ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබුණු මෙම ගෞරවයෙන් තහවුරු වන්නේ අඛණ්ඩතාව, සංවේදනය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය සඳහා අප දැක්වූ කැපවීමෙහි අර්ථාන්විත බව තවදුරටත් ශක්තිමත් වන බවයි.”
2025 දී අඛණ්ඩව 12 වැනි වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් වූ සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පු හිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණුවලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී.
පසුගිය වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙස දෙවරක් තේරී පත් වූ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 අතරට ශ්‍රේණිගත කර ඇත.

