ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැති 8 වැනි LankaPay Technnovation Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය. එහිදී බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු සඳහා හොඳම සක්‍රීය කරන්නා සහ බැංකු අංශයේ LankaSign ඩිජිටල් අත්සන් සඳහා වසරේ හොඳම සක්‍රීය කරන්නා වෙනුවෙන් රන් සම්මාන දෙකක් හිමි කරගත් අතර, වසරේ හොඳම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සහිත මූල්‍ය ආයතනය වෙනුවෙන් රිදී සම්මානයක් ද, සමස්ත ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ලෝකඩ සම්මානයක් ද දිනාගන්නා ලදී.
මෙම සම්මාන හතර HNB හි ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ දෙකක සාර්ථකත්වය පෙන්නුම් කරයි. ජාත්‍යන්තර ගනුදෙනු සඳහා හිමි වූ රන් සම්මානයෙන් විදේශීය ගෙවීම් පහසු කිරීම සඳහා බැංකුව සතු වර්ධනය වෙමින් පවතින හැකියාව නිරූපණය වේ. විවිධ රටවල් අතර ඩිජිටල් ගෙවීම් දිරිමත් කිරීම සඳහා UPI, CUP, සහ Alipay වැනි ජාත්‍යන්තර සබඳතා සමග එක්ව කටයුතු කිරීම මෙයට බෙහෙවින් ඉවහල් විය. LankaSign ඩිජිටල් අත්සන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හිමි වූ රන් සම්මානයෙන් ශ්‍රී ලංකාව තුළ ලියකියවිලි රහිත සහ ආරක්ෂිත ගනුදෙනු පද්ධතියක් ගොඩනැගීමට බැංකුව ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන්ට ඕනෑම ස්ථානයක සිට ලියකියවිලි, ගිවිසුම් සහ මූල්‍ය අයැදුම්පත් සඳහා ඩිජිටල් ක්‍රමයට අත්සන් තැබීමේ හැකියාව ලැබේ. වසරේ හොඳම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සහිත මූල්‍ය ආයතනය වෙනුවෙන් හිමි වූ රිදී සම්මානයෙන් පිළිබිඹු වන්නේ, තනි පාරිභෝගිකයන්ට මෙන්ම සමස්ත මූල්‍ය පද්ධතියටම සෙත සැලසෙන පරිදි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා HNB අඛණ්ඩව සිදුකරන ආයෝජනයයි.
මෙම සම්මාන හිමිවීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ රුපියල් 10,000 ට අඩු LankaQR ගනුදෙනු සඳහා පනවා තිබූ අයකිරීම් (Merchant Discount Rates) ඉවත් කිරීමට HNB කටයුතු කිරීමයි. එමගින් දිවයින පුරා සිටින වෙළෙඳුන් අතර මුදල් රහිත ගනුදෙනු ක්‍රමවේදය වේගයෙන් ජනප්‍රිය විය. එසේම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ගේ සිට මහා පරිමාණ ජාත්‍යන්තර සමාගම් දක්වා ඕනෑම ව්‍යාපාරයකට තම මූල්‍ය කටයුතු සහ වෙළෙඳ ගනුදෙනු පූර්ණ පාලනයකින් යුතුව මෙහෙයවිය හැකි ‘HNB TXB’ නමැති ඩිජිටල් බැංකුකරණ පද්ධතිය ද බැංකුව විසින් හඳුන්වා දෙන ලදී. මීට අමතරව, ඕනෑම ශ්‍රී ලාංකිකයකුට HNB පාරිභෝගික ඒකකයකට පැමිණීමකින් තොරව තම නිවසේ සිටම බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සහ සේවා ලබා ගැනීමට හැකි ඩිජිටල් පහසුකම් (self-onboarding) ද සලසා දී ඇත. HNB හි පාරිභෝගිකයන්ගෙන් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ඩිජිටල් බැංකු සේවා සක්‍රීයව භාවිත කරන අතර, මෙම සියලු පියවර මගින් ඩිජිටල් බැංකුකරණය සෑම දෙනාටම එක සේ සමීප කරවීමට බැංකුව සතු කැපවීම පෙන්නුම් කරයි.

