නූතන සිංහල සාහිත්‍යය ගැන කතා කරන විට මාර්ටින් වික්‍රමසිංහ අමතක කළ නොහේ. කෙතෙක් රජවරුන් පහළ වුවද දුටුගැමුණු, පැරකුම්බා ආදී මහා රජවරුන් ඉතිහාසයෙන් ඉවත් කළ නොහැක්කේ යම් සේද වික්‍රමසිංහයන් ගම්පෙරළිය ලියා දැනට වර්ෂ හැට හැත්තෑවක් ගත වුවද වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍යයයෙන් වෙන් කළ නොහැකිය. වික්‍රමසිංහ සාහිත්‍ය ලෝකයට එක් වන්නේ උඩින් පහළට නොව පහළින් ඉහළටය. එනම් ඔහු සිංහල භාෂාව, ඉතිහාසය, හෝ ලෝක විද්‍යාවන් ගැන ශාස්ත්‍රාලයීය උගතකු වී ඉන් අනතුරුව සාහිත්‍යයට එබිකම් කළ අයකු නොවේ. ඔහු ස්වෝත්සාහයෙන් තමුන්ගේම මාවතක් ඔස්සේ දැනුම ඔප්නංවාගෙන සිය වචන ඔස්සේ ක්ෂේත්‍ර කිහිපයක්ම එකලු කළ මහ ගත්කරුවෙකි.
මුල්ම රස්සාව
වික්‍රමසිංහයන් මුලින්ම සිය ජීවිකා වෘත්තිය වශයෙන් තෝරාගන්නේ පුවත්පත්වලට කතු කමයි. ඔහු දිනමිණ පුවත්පතේ සෑහෙන කලක් කතුකම කළ අතර අතරමැද කාලයේ සිළුමිණ,ලක්වැසියා, ලක්මිණ ආදී පුවත්පත්වල කර්තෘවරයෙක් ලෙස ද සේවය කළේය. මුල්කාලයේ වික්‍රමසිංහගේ මේ කර්තෘ දිවිය හොඳ ආදායම් මගක් නොවීය. ඒ ගැන පසුකෙලෙක වික්‍රමසිංහගේ පුතණුවන් ලියා ඇති සටහනක ” එකල තාත්තාට ලේක්හවුසියෙන් ලැබුණේ සුළු වැටුපකි. මහන්සි වී පොතපත ලිවීමෙන්ද අමතර මුදලක් ලබාගත් නමුත් ළමයින් හය දෙනෙකුට පොත් සපයන්නට පාසල් ගාස්තු ගෙවන්නට එය ප්‍රමාණවත් නොවූ හෙයින් අම්මාට ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට සිදුවිය. “ යනුවෙන් සදහන් වේ. ඒ අනුව සිය පුවත්පත්කලාවෙන් ලැබූ ආලෝකය ඔස්සේ පොත් පත් ලිවීමට බට වික්‍රමසිංහයන්ට එය හුදෙක් විනෝදාංශයක්ම නොව ආදායම් මගක් ලෙසද වැදගත් මගක් වූ බැව් නිගමනය කළ හැකිය.
ලියන මහත්මයාගේ භූමිකාව
පත්‍ර කතුකමෙක ඇති වගකීම හරිහැටි අවබෝධ නොවූ කොග්ගල ගැමියන් මාර්ටින් වික්‍රමසිංහ හැදින්වූයේ ලියන මහත්මයා යන නමිනි. “ පත්‍රයක වැඩ කිරීම රස්සාවක් ලෙස නොසැලකූ ගැමියෝ මා ලියන මහත්තයා යන නමින් හැඳින්වූහ. මගේ වැඩිමහල් පුතත් දෙවැනි පුතාත් නිවාඩු කාලයේ ගමට ගිය අවස්ථාවක අපේ ගෙදරට ආ ගැමියෙක් ” මේ ලියන මහත්තයාගේ ළමයි ද? “ යි මගේ සහෝදරියකගෙන් ඇසුවේය. “ ආදී ලෙසින් මාර්ටින් වික්‍රමසිංහ තමුන් ගැමියන් ලෙසින් හැදින්වූ ආකාරය දක්වා තිබේ.
අලුත් පරපුරට තල්ලුවක්
පුවත්පත් හි වැඩකරන කාලයේ සාහිත්‍ය කටයුතු කෙරහිද ඇල්මෙන් කටයුතු කිරිමට වික්‍රමසිංහයෝ සැදී පැහැදී සිටියෝය. වර්තමානයේ මෙන්ම එකලද පුවත්පත්වල කෙටිකතා තීරුවලට කෙටිකතා රැසක් ඇදී එන්නට විය. එයින් නොපැහැදිලි අකුරින් තිබූ ජී බී සේනානයකගේ කෙටිකතාවක් මාර්ටින් වික්‍රමසිංහගේ සිත ගත්තේය. ජී බී සේනානායක පසුකලෙක මාර්ටින් වික්‍රමසිංහ යටතේ වැඩකළ ලේඛකයෙක් විය. සිය ජ්‍යෙෂ්ඨයාගේ ඇසුර සාහිත්‍ය දිවියට මහත් රුකුලක් වූ බව සේනානයකයෝම පසුකලෙක කීහ. හේමපාල මුනිදාස වැන්නෝ ද වික්‍රමසිංහ සෙවනේ හැදී වැඩුනෝ වෙති. නව පොතක් පතක් ගැන පුවතක්, සාහිත්‍ය කලා කටයුත්තක් වෙත් නම් සිය කතුකම යටතේ වූ පුවපත්පත් හි ඉඩක් වෙන්කර දීමට සෑම කාලයකදීම වික්‍රමසිංහ නොමසුරුව දායක විය.
පුළුල් දැනුම් පරාසය
වික්‍රමසිංහයන් ලියූ පොත් පත් රැස දෙස බලන කල ශාස්ත්‍රීය නවකතා ආදිය මෙන්ම සාමාන්‍ය කෙටිකතා ආදියද වේ. සත්ව විද්‍යාව, පුරා විද්‍යාව, කලාව, රට රටවල දේශපාලනික තත්වය ආදී විවිධාකාර මාතෘකා රැසක් යටතේ වික්‍රමසිංහ පොත පත පළ කොට තිබේ. ඒ දැනුම ලැබීමට පුවත්පත් කලාව වික්‍රමසිංහට මහත් ආලෝකයක් වන්නට ඇත. ඔහු තාගෝර්ගේ ලංකා ගමනය නිමිති කොටගෙන පුවතක් පළ කරන්නට ගත් වෙහෙස පහත දැක්වේ. “ මම රෑ දහයට පමණ ගෙදර ගොස් කෑම කා අවුරුදු පහකට පමණ උඩදී කියවූ ඊ ජේ තොම්සන් ගේ “තාගෝර් චරිතය” යළිත් අතරින් පතර කියවීමි. තාගෝර්ගේ නිබන්ධන සංග්‍රහයක් හා කාව්‍යක් ද පළින් බල කියවීමි. අනතුරුව ලිපිය ලියන්නට පටන් ගෙන රෑ දෙකට අවසන් කළෙමි. එය දිනමිණෙහි තීරු 4ක පමණ ලිපියකි.තාගෝර් එන දවසේ ඒ ලිපිය දිනමිණ පළමු පිටුවේ පළ විය. “ අද මෙන් සට සට ගා අන්තර්ජාලයෙන් සෙවූම් කර ලිපිලිවීමට නොහැකි වූ එකල විවිධ විෂයයන් ගැන ලියනු පිණිස බොහෝ කියවන්නට සිදුවීමම වික්‍රමසිංහයන්ගේ ලේඛනවල පරාසය වැඩිකරන්නට හේතු වන්නට ඇත.
පත්තර බස
යටත්විජිත කාලයේ හමාර වීමත් සමගම සිංහල භාෂාව ගැන ප්‍රබෝධයක් ඇති වූ අතර ඒ අතර කුමාරතුංගු මුණිදාස වැන්නෝ භාෂාව ගැන දැඩි නීතිරිතිවල එල්බගෙන සිටියෝය. එහෙත් වික්‍රමසිංහ බස යනු අදහස් සන්නිවේදනයට යොදාගන්නා මෙවලමක් ලෙස සලකා එය කාලයට අනුව යාවත්කාලීන විය යුතුයැයි නිතර ඇදහීය. ඔහුගේ පුවත්පත් බස මෙන්ම පත පොත ලියූ බසද වඩාත් ජනයාට කාවදින ලෙසින්ම ලියන්නට ඔහු උත්සුක වීය.
මෙය වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය කලාව නම් ග්‍රන්ථයේ ඇතුළත් ඡේදයකි. එසේම වික්‍රමසිංහ පුවත්පත් කලාවට බහින අවස්ථාව වන විටත් සිංහලයේ වූ බැඳි අකුරු මුද්‍රණය කිරීමේ අපහසුතා විය. ඒ අනුව මුද්‍රණයට පහසු ආකාරයට අක්ෂරමාලාව සංස්කරණය කොට ගෙන නිමකිරීමටත් වික්‍රමසිංහයෝ නොමද වෙහෙසක් ගත්හ. එකල ඇතැම් පාර්ශ්ව සිංහල බස වුවත් දැනට මැසේජ් කරන්නා සේ සිංග්ලිස් ආකාරයෙන් පළ කිරීම මැනැවැයි යන මතයක්ද ගෙන ගියේය. එහෙත් බහුතර මතය වූයේ සිංහල බස සිංහල අකුරෙන්ම නිම විය යුතුය යන්නය.
වෙබ් අඩවිවල හෝ බ්ලොග් ෆේස්බුක් ආදියේ ඇනෝ හෝ වෙනත් ව්‍යාජ නම්වලින් පෙනීසිටිමින්, ලියන අදහස් වලට පස්පඩංගුවේ බැණවදින්නන් ගෙන් අද කාලේ හිඟයක් නැත. වික්‍රමසිංහ යනු ඇතැම් දේ සම්බන්ධ ආන්දෝලනාත්මක දේ ලියූ අයෙකි. බුදුන් වහන්සේ යනු කතාන්දර වල දැක්වෙන සේ මහත් වූ ආශ්චර්ය විශ්වකර්ම වලින් තොර සාමාන්‍ය මනුෂ්‍ය චරිතයකැයි දැක්වෙන මතයක් වික්‍රමසිංහගේ විය. ඒ ගැන අවසාන කාලයේ ඔහු ලියූ ‘බව තරණය’ පොතේ සඳහන් විය. පසුකලෙක වික්‍රමසිංහයෝ මිය පරලොව ගියද වික්‍රමසිංහගේ ප්‍රගතිශිලී මත ගැන උරණ වූ ඇතැමෙක් දැන් මාටින් වික්‍රමසිංහ අවීචි මහා නිරයේයැයි අදහස් පළ කරන්නට ද වූහ.
“ ඔය ලිපි ලියන අත කොර වෙයි, ඒ පැත්තේ අංශභාගෙ හැදෙයි. අපායක් නැත, අමුතුවෙන් මැවුන කොටසකට පොළොව පළාගෙන යයි. පවුල හැත්ත වරිගේ හැඳිගෑවෙයි” යනුවෙන් වික්‍රමසිංහට නිර්නාමිකව තර්ජන ලිපි එන්නට විය. “සවසක උඹේ පපුවට පිහියෙන් ඇන ඒ සිදුරට කට තබා ලේ උරා බොනවා. උඹට ඒක කරන්න උඹේ පැටවු ටික නිසා මට කනගාටුවක් තියෙනවා” යනුවෙන්ද ලිපියක් වික්‍රමසිංහගේ ලේඛන ගැන තරහ ගත් අය විසින් ඔහුට එවා තිබේ. එහෙත් එයින් සැලුණේ ඔහු නොවේ.
වික්‍රමසිංහ සාහිත්‍ය ලකුණ
වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය කලාවට පූර්වගාමියෙකු නැත. එය ඔහු විසින්ම පුවත්පත් කලාවෙන් සහ තමුන්ම පොත් පත් කියවා වැඩිදියුණු කරගත් ඥානයෙන් ගොඩනගාගත් දෙයකි. ඔහු විශ්ව විද්‍යාලයකට අධ්‍යාපනය පිණිස නොගියේය. එහෙත් වික්‍රමසිංහගේ පොත් පත් අදද විශ්ව විද්‍යාලවල සිංහල සාහිත්‍ය ගැන කතාකරන තැන්වල ඉහළින්ම සාකච්චාවට ගැනේ.
දෙගුරුන් විසින් තම
දරුවන්ට දෙන නොමඳ දන නම්
වියතුන් සබා මැද
ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි
දරුවන්ට දිය හැකි උතුම්ම දායාදය වියත් සබාවන්හි ඉදිරිපස සිටින්නට මග පෙන්වීම යයි ලෝකෝපකාරයෙහි තිබේ. වික්‍රමසිංහ ඔහු ලියූ පොත් පත් නැමැති දරුවෝ ඔහුට ත් ඉදිරියෙන් ගොස් අදද වියත් සබාවන් හි ඉදිරිපෙළ සාකච්ඡාවට බදුන් වේ. ඒ නයින් ඔහු අප සිංහල සාහිත්‍යයට වගකීම් ඉටුකළ සාහිත්‍ය පීතෘවරයෙක්ම විය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පුවත්පතින් පොතට බැස්ස මාර්ටින් වික්‍රමසිංහ