හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහා භාරතයේ සඳහන්ව ඇත්තේය.   


වෛකුණ්ඩයෙහි වෙසෙන මොහු දෙව්ලොව හෝ මනුලොව පැනනැගුණු ආපදාවලදී ඊට මැදිහත් වූ වාර අපමණය. එවන් අවස්ථාවකදී සුදුසු වේශයක් ගැනීම විෂ්නුගේ සිරිතයි. මත්ස්‍ය අවතාරය, කුර්ම (ඉදිබු) අවතාරය, වරාහ (ඌරු) අවතාරය, නරසිංහ අවතාරය, මාවන අවතාරය, පරශුණම අවතාරය, රාම අවතාරය, කෘෂ්ණ අවතාරය, බුද්ධ අවතාරය යන ස්වරූප නවයකින් විෂ්ණු ලොව පහළවූ බවත්, කල්කී නම් වේශයෙන් අනාගතයෙහි පහළවන බවත් සඳහන් වේ.

මුලින් කී අවතාර පහක් පහළවූයේ ලෝකම්භාරයේදීය. එමෙන්ම මනුලොවින් පිටතදීය. මේ සියල්ල අතරින් සාහිත්‍යකරුවාගේ සිත් වඩාත්ම පැහැරගත්තේ රාමා අවතාරය සහ ක්‍රිෂ්ණා අවතාරය සම්බන්ධ කතා ප්‍රවෘත්තීන්ය.   
රාමා අවතාරය පිළිබඳ මහා භාරතයේ එන කතාව විකාශනය කෙරෙමින් ක්‍රි.පූ. තුන්වන සියවසේදී වාල්මිකී ඉසිවරයා විසින් ‘රාමායනය’ ලියැවුණි. හයවන සියවස මුලදී සිහළදීපයේ රජකළ කුමාර ධාතුසේන රජු එම කතාවම ගෙන ‘ජානකීහරණ’ නම් ශ්‍රේෂ්ඨ සංස්කෘත කාව්‍යය රචනා කළේය. පස්වන සියවස දක්වාත් සිළදීප නමින් හැඳින්වුණු අපේ රට ‘ලංකා’ යන නම ලද්දේ මෙම සාහිත්‍ය කෘතීන්හි බලපෑමෙන් විය හැක. 

 
විෂ්ණු දෙවි ක්‍රිෂ්ණ අවතාරයෙන් ලොව පහළ වී කළ වීර ක්‍රියා රාශියකි. එහෙත් වෘන්දා වනයේ ඔහු මැවූ පෙම් රජදහන සාහිත්‍යකරුවන්ට මීවිතක් බඳු විය. රාධා - ක්‍රිෂ්ණා පෙම් යුවළ අමරණීය කළේ ඔවුන්ය. මේ පෙම්වතුන්ගේ ආදර හැසිරීම් භාරතයේ ඍතු හය සමඟ ගැලපීමෙන් කාලිදාස කවියා ‘ඍතු සංහාර’ මහා කාව්‍යය ලීවේය. ජයදේව නම් බෙංගලා කවියා ක්‍රිෂ්ණාගේ පෙම්වතියන් ගැන ලියූ ‘ගීත ගෝවින්ද’ ගායනා ශෛලියෙන් යුතු රසවත් පද්‍යාවලියකි.   


රාධා - ක්‍රිෂ්ණා චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ටද හොඳ නිමිත්තක් විය. ක්‍රිෂ්ණා අත දැරූ බටනළාවත්, ​ගෝපිකාවන් හා ඔහු කළ ප්‍රේම රංගනයත් භාරත සංගීතයට - නැටුමට එකතු කළේ අසිරිමත් ආලෝකයකි.   


ක්‍රිෂ්ණ පහළවූයේ මනුලොවට විපත්තිකාර කාලයකය. රකුසෝ බලවත්ව මිනිසුන්ට පීඩා කළහ. අදමිටු රජුන් නිසා කරදර දෙගුණ වී තිබුණි. තම පියා රාජ්‍යයෙන් පහකර සිහසුන උදුරාගත්, කන්ස නමැති තරුණ රජෙක් නිසා දෙව්ලොව පවා කැළඹීමක් ඇතිවිය. දෙවිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට විෂ්ණු මේ විපතින් මිනිසුන් මුදාගැනීමට මනුලොව ඉපදීමට තීරණය කළේය.   


කන්ස රජුට දේවක නම් සහෝදරයෙක් විය. ඔහුගේ දියණිය වූ දේවකී, වාසුදේව නම් කුල පුත්‍රයකුට සරණපාවාදීමට තීරණය වී තිබුණි. මංගල්‍යය දවසේ කන්ස රජුට අහසින් ශබ්දයක් ඇසුණි.   


‘‘මෝඩයා! ඔය කැන්දාගෙන යන මනාලියට ලැබෙන අටවැනි දරුවා අතින් තා මැරුම් කන්නෙහිය!’’   


මෙයින් භීතියට පත් කන්ස සූදානම් වූයේ, එවේලේම දේවකීගේ දිවි තොර කරන්නටය. එහෙත් පිරිස මැදිහත්වී, දේවකීට ලැබෙන දරුවන් උපන් හැටියේම කන්සට භාරදෙන පො​රොන්දුව මත ඇය මරණයෙන් මුදාගත්හ. නමුත් කන්ස රජු නව යුවළ නිදහස් නොකළේය. තම මාලිගයේම එක් කොටසක ඔවුන් රඳවා මුරකාවල් සහිතව තැබීය.   
කන්සට අහසින් ඇසුණු නපුරු ආරංචිය කීවේ නාරද සෘෂිවරයාය. සුරලොව සිටියත් මොහුගේ ස්වභාවය වූයේ වාචාලකමයි. විෂ්ණු මනුලොව උපදින ආරංචිය දැනගත් මොහොතේ පටන් එය හැමතැනම කියමින් ඇවිද්දේය. එයින් සිදුවූයේ උපදින්නටත් පෙර ක්‍රිෂ්ණට සතුරෙක් ඇතිවීමයි.   


මාලිගයේ සිරවී සිටි දේවකී වරින් වර පුතුන් හයදෙනෙකු වැදුවාය. කන්ස ඒ දරුවන් උපන් විගසම මරා දැමුවේය. හත්වැනි දරුවා උපන් මොහොතේ උපක්‍රමයකින් මාලිගයෙන් පිටකර ගැනීමට දේවකීත්, සැමියාත් සමත් වූහ. ‘බලරාම’ නම් ලද ඔහු ඈත ගොපලු ගමක රහසේ ඇතිදැඩි විය. අටවැනි දරුවා උපත ලද්දේය. ‘ක්‍රිෂ්ණ’ නම් ඔහු රුවින් අසමාන සුන්දරත්වයක් පෙන්නුම් කළත් පැහැයෙන් අඳුරුවන්ය. කල් තබා සූදානම්ව සිටි මාපිය යුවළ එම දරුවාද ගොපලු ගම්මානය වෙත යැවීමට සමත් වූහ.   


මථුරා පුරයෙන් ඈත, යමුනා නදියෙන් එතෙර පිහිටි වනගත ගොපලු ගමක සිටි නන්ද නම් ගෝපාලයාත්, ඔහුගේ බිරිය යසෝදාත් දරුවන් දෙදෙනාගේ භාරකාරයෝ වූහ. දේවකීගේ දරුවා රහසින් පිටමං කරගෙන ඇති බව දැනගත් කන්ස, අලුත උපන් දරුවන් සියලු දෙනා මරාදමන ලෙස නියෝග කළේය.   


එහෙත්, වනගත ගොපලු ගමේ දෙසොහොයුරෝ නිදහසේ වැඩුණෝය. ගොපලු දරුවන් සමඟ කෙළි සෙල්ලමෙන් දවස ගතකළත්, ගවයන් රැකබලාගැනීමද ඔවුන්ගේ කාර්යයක් විය.   
පැහැයෙන් අඳුරුවන් වුවද බලරාමත්, ක්‍රිෂ්ණත් සෙසු දරුවන් අතර රූපයෙන්ද, ක්‍රියාශීලිත්වයෙන්ද කැපී පෙනුණේය. දස හැවිරිදිව සිටි ක්‍රිෂ්ණගේ සුන්දර මුහුණ සිපගන්නට වැඩිහිටි කතුන් පවා රිසි වූහ. සියලු දෙනාගේ ආදරය මැද, දරු දැරියන් අතර නායකත්වයද නිතැතින්ම ඔහුට හිමි විය.   


ක්‍රිෂ්ණගේත්, බලරාමගේත් භාරකාරිය වූ යසෝදාට ඇතැම් විට ඔවුන්ගේ දඟකාරකම් කරදරයක් විය. වරක් ඇය කෝපවී, ක්‍රිෂ්ණාගේ ​ඉඟටියෙහි කඹයක් ගැට ගසා විශාල ගල් වංගෙඩියක බැඳ තැබුවාය. ඇය ගිය පසු ක්‍රිෂ්ණ එය ඇදගෙන ගොස්, විශාල ගස් දෙකකට සිරකර, ඒවාද උදුරා දැමුවේය.   


වරක් එක් රකුසියක් ක්‍රිෂ්ණ ගොදුරු කර ගැනීමට සිතා, ඔහු ළඟට අඬගසා දෙතනේ කිරි උරනන්ට දුන්නාය. ඒ ගැන සැක සිතූ ක්‍රිෂ්ණ, ඇයගේ ප්‍රාණය නිරුද්ධවන තෙක්ම කිරි ඉරීම නැවැත්වූයේ නැත. කන්ස රජුගේ කීම පිට ක්‍රිෂ්ණ සොයා ආ අයෙක්, ඔහු රථයකට යටකර මරා දමන්නට උත්සාහ කළේය. එයින් ගැලවීගත් කුමාරයා රථය ඔසවා බිම ගසා කුඩුපට්ටම් කළේය. තවත් වරෙක සුළඟේ වේගයෙන් පැමිණි අසුරයෙක් ක්‍රිෂ්ණ ඇදගෙන යන්නට උත්සාහ කළේය.


කුමරා අසුරයා බිමට ඇද පොළොවේ ගසා මැරීය. විශාල ​ද්‍රෝණකාකයෙක් ක්‍රිෂ්ණ අල්ලාගන්නට තැත්කළ විටෙක, ඔහු උගේ හොටසළුව අල්ලා, පයින් පාගා, උඩට නමා කඩා දැමුවේය.   


ක්‍රිෂ්ණගේ රූපයත්, නුවණත්, ශක්තියත් ගොපලු ගමේ සිසාරා පැතිරිණ. යමුනා ගංතෙර වෘන්දා වනයේ නිතර හැසිරෙන ක්‍රිෂ්ණ ඇතුළු ගොපලු දරුවෝ, රංචු ගැසී කවි ගී කියමින් විනෝදයෙන් දවස ගත කළහ. ක්‍රිෂ්ණගේ මියුරු බටනළා වාදනය අසන්නට තුරු වැසි විහඟුන්ද, ගවරැළද, යහළු පිරිසද නිතර කැමැත්තෙන් පසුවූහ.
වෘන්දා වනගැබ අසල විසූ ගෝපිකාවෝ, ක්‍රිෂ්ණගේ බටනළා හඬ ඇසූ විගස ගෙවල්වලින් එළියට බැස එදෙසට ඇදෙන්නේ ​ඉබේටමය. නළා හඬ හදිසියෙන් නැවතුණොත් වනයෙහිම රැඳෙන ලාලනියෝ ඔහු එනතෙක් බලා සිටින්නෝය.  


‘‘අපට ඉතින් ගෙවල්වල වැඩපළක් කරගන්නට ඉඩක් ඇතෑ? මේ නළාහඬ ඇසුණාම දෙපා ඇදෙන්නේ ඒ පැත්තටමයි.’’   


‘‘මටත් ඔය නළාව ගැන තරහයි.’’ එක් කාමිනියක් කීවාය. ‘‘හැමදාම ඒක ක්‍රිෂ්ණගේ තොල්වල රස විඳගන්නවානේ? අපට කෝ එහෙම වාසනාවක්?’’   
‘‘සිහින් නදින් ඇරඹෙන දියඇල්ලක් රිද්මය උච්චවෙමින් කොහේදේ ඈතකට ගලා යනවා වගෙයි නේද? එකවරම ඒක නැවතුණාම මගේ හදවතත් නැවතුණා!’’   
‘‘මට පෙනෙන්නේ මේක අපේ සිත් මෝහනය කරවන ඉන්ද්‍රජාලයක්!’’   


‘‘ක්‍රිෂ්ණ බටනළාව පිඹිනකොට කුරුල්ලෝ ගායනා නවත්වනවා! ඔය තුරුවදුලු අතර වනදෙව්ලියොත් සැඟවිලා අහගෙන ඇති.’’   
‘‘කොල්ලො දඟවුණාට මොන තරම් හික්මීමක් තියෙන්න ඕනැද ස්වර ඛණ්ඩ නොබිඳී ඉහළ පහළ පාකර හරින්න?’’   


‘‘මෙහෙම අපව ගෙනැල්ලා කැලේ අතරමං කරන්න වටිනවද? අහුවුණොත් මං එයාගේ කම්මුල් දෙකේම දත් සලකුණු තියලයි නවතින්නේ!’’   
‘‘කොල්ලො තව පුංචියිනේ... ටිකක් ලොකුවෙනකල් තමයි මාත් ඉන්නෙ!’’ තුෂාරයෙන් පිරුණු එක් සීත ඍතුවක, ගෝපිකාවෝ එකතුව යමුනා නදියේ දිය නෑමට ගියහ. ගංතෙර පාර්වතී දෙවඟනගේ පිළිරුවක් තනා, මල් - පහන් - සුවඳ දුම් පුදා ‘‘ක්‍රිෂ්ණ අප සැමගේ සැමියා කරදුව මැනව’’යි යාඥා කළහ. ඉන්පසු ගං ඉවුරේ ඇඳුම් උනා තබා, දිය කෙළිමින් රිසිසේ නෑවෝය. ක්‍රිෂ්ණ ඒ මොහොතේ උන්නේ ගසට නැගී ගවයන් රැකබලා ගනිමිනි. ගෝපිකාවන්ගේ ළයාන්විත ගී අසා, ඔහු ගසෙන් බැස ඒ දෙසට පැමිණියේය. තරුණියන්ගේ ඇඳුම් ගං ඉවුරේ තිබෙනු දැක, ඔහු ඒවා පොදි බැඳගෙන කොළොම් ගසකට නැග අතු අතරේ සැඟවුණේය. දිය නෑ අඟනෝ ගොඩට විත් බැලූ විට ඇඳුම් දක්නට නොවීය. එකියක් උඩ බැලුවාය. එවිට ක්‍රිෂ්ණ රෙදි පොදිය උකුළ මත තබාගෙන සිනාසෙමින් ගස උඩ සිටිනු දුටුවාය.   
ක්‍රිෂ්ණගේ හිසෙහි නෙලුම් දණ්ඩකින් තැනු ඔටුන්නක් විය. කහ රෙදිකඩෙක් හැඳ සිටියේය. ගෙලෙහි

මල්දමකි. ක්‍රිෂ්ණ දුටු තරුණිය ‘‘ආ.. අන්න ඉන්නවා හාදයා... අපේ හිත් හොරා ගත්තා මදිවාට ඇඳුනුත් අරන්... අන්න කොළොම් ගහේ!’’යි කෑ ගැසුවාය. ඒ ඇසූ යුවතියෝ එදෙසට දිව ආවත්, තමන් නිරුවතින් බව සිහිවී යළිත් ගඟට පැන්නෝය.   


තන මත්තක් දියේ සිටි සුන්දරියන් කොතෙක් ඇවිටිලි කළත් ක්‍රිෂ්ණ නොවේ රෙදි දුන්නේ. ‘‘මේ නෝබිනාකම නම් අපි ගෙවල්වලට කියනවාමයි’’ එකියක් තර්ජනය කළාය. ‘‘අපි පාර්වතියට පුද පූජා කරලා මේ සීතල උදෑසන දිය නෑවේ ඔබ නිසාමනේ! අපේ ඇඳුම් දියන් පැටියෝ!’’ තවෙකෙක් ඇවිටිලා කළාය.   


‘‘එහෙනම් ඉතින් මා ළඟට ඇවිත් රෙදි ගන්ට බැරුවායැ?’’ ක්‍රිෂ්ණ ගසෙන් බැස එතැනම සිටියේය.   


‘‘ඔහු සැමියා කොට පැතූ අප මොකටද ලජ්ජා වෙන්නේ?’’යි කතිකා කරගත් යුවතියෝ නිරුවතින්ම කොලොම් ගස මුලට පැමිණියෝය. ක්‍රිෂ්ණ විහිළු කරමින් ඇඳුම් ආපසු දුන්නේය. ‘‘යසයි... යසෝදාගේ හුරතලා හැදිලා තියෙන තරම! අපි දුප්පත් ගෑනු ළමයි!’’ ආඩාපාලි කියමින් සේවිකාවෝ ​ආපසු ගියහ.   
නෑඹුල් තරුණවියට පත් ක්‍රිෂ්ණ රූප සෞන්දර්යයෙන් අසමසම විය. එක් සරත් ඍතුවක, සඳරැසින් වෘන්දා වනය නැහැවෙද්දී ක්‍රිෂ්ණගේ බටනළා හඬ ඇසෙන්නට විනි. බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිටි යමක් ලැබුණා මෙන් ඒ හඬ ඇසුණු ගෝපිකාවෝ කුල්මත් වූහ. එය ඔවුනට ආරාධනයක් බඳු විය. තම ගේ දොර කටයුතු, මව්පියන් හෝ සැමියන් අමතක කළ සස්වාමික - අස්වාමික රූපිකාවෝ, හොඳින් ඇඳ පැළඳගෙන බට නළා හඬ ඔස්සේ වනය තුළට ඇදී ගියහ.   


රතියෙන් උමතු වූ ලලනාවෝ ක්‍රිෂ්ණ සිටි තැනට පැමිණ, සඳරැසින් නැහැවෙමින් බටනළාව වයන රූමත් තරුණයා වටා හිඳගත්හ. මඳ වේලාවකින් සමාධියෙන් මිදුණු ක්‍රිෂ්ණ, සැමියන් හැරදමා පැමිණි රූපිකාවන්ට දොස් පැවරීය. රිදීවන් සඳරැසින් දිළෙන වනයත්, යමුනා නදී තීරයේ සුන්දරත්වයත්, සංගීතයත් විඳ ආපසු යන ලෙස කියා සිටියේය. ක්‍රිෂ්ණගේ මුවින් ඒ රළු වචන පිටවූ වහාම ලලනාවෝ හඬන්නට වන්හ. සංගීතයෙන් අප රවටා මෙහි ගෙන්වාගත් ඔබ දැන් යන්නට කියනවා! අප ආවේ මේ ටික අහගන්නද?’’   
ඒ ඇසූ ක්‍රිෂ්ණ සිනාසී, ගොපලු ලියන් හට තමන් හා නටන්නට ආරාධනය කළේය. මල්දමින් වටකොට නැටුම් භූමිය සකස් කළ පසු, ගෝපිකාවෝ යමුනා නදියට බැස දිය නෑහ. ගොඩට විත්, හිස සිට උකුළ දක්වා මල්දමින් සරසා ගත්හ. සිය දිගු කෙස්වැටිය සුළඟේ දඟ කරද්දී ක්‍රිෂ්ණ බටනළා වාදනය පටන් ගත්තේය. තරුණියන් අතර සිටි රාධා නම් සුරූපිනිය තමන් ළඟට කැඳවාගත් ඔහු, ගෝපිකාවන් වටකර ගනිමින් නර්තනය ඇරඹීය. 

 
හැම රූපිකාවක්ම සිතුවේ ක්‍රිෂ්ණ තම හිමියන් බවයි. මෝහනීය රංගනයේ සෑහෙන වේලාවක් යෙදුණු පසු ක්‍රිෂ්ණ එතැන නැති බව ඔවුහු දැන ගත්හ. රාධාද සමග ඔහු අතුරුදන්ව සිටියේය.  


බියෙන් හා සොවින් කම්පා වූ ගෝපිකාවෝ වනය පීරා යමින් ඔවුහු සෙවූහ. අවසානයේ තුරුගොමුවක් අතර වැතිර සිටි රාධා ඔවුනට හමුවිය. ඇය සිටියේ සතුටින් ඔද වැඩී මුසපත් වූවකු මෙනි. ක්‍රිෂ්ණ නැති බව දැනගත් පසු ඇයද හඬන්නට වූවාය.  


මැදියම් රැය වනතුරුත් ක්‍රිෂ්ණ සෙවූ රූපිකාවෝ විඩාවෙන් මිරිකී ගංතීරයේ වැතිර ගත්හ. මෙතෙක් සැඟව සිටි ක්‍රිෂ්ණ ඔවුන් ගැන අනුකම්පාවෙන් එතැනට ආවේය. අලුයම් යාමය තෙක් ගෝපිකාවන් සමග සිටි ක්‍රිෂ්ණ, එළිවන්නට පෙර හැමදෙනා ගෙවල්වලට පිටත් කළේ ඔවුන් ප්‍රීතියෙන් කුල්මත් කරවීමෙන් පසුවය.  


පිරිපුන් තරුණ වියට පත් ක්‍රිෂ්ණ තම ජන්ම හතුරා වන කන්ස රජුගේ මාලිගයට ගොස්, ඔහු මරා, එහි සිරකර සිටි සිය දෙමව්පියන් නිදහස් කර ගත්තේය.  

 

 

 

- රන්ජිත්ප්‍රිය

 

 

(හින්දු පුරාණයෙනි)