කෙටි කතාව

ගාටමින් පැමිණි බසයෙන් බැසගත් අයිරා වටපිට බැලුවේ දැන් කරන්නේ කුමක්දැයි සිතමිනි. සිල්ලර බඩු ඇති කුඩා කඩ කාමරයක් හා පැරණි පන්නයේ නිවෙස් දෙකක් ඇති එම තුංමං හන්දිය වූයේ ජනශුන්‍යව ය. කඩ කාමරය ඉදිරියේ මාර්ගය පසක නවතා තිබූ ත්‍රීරෝද රථය දුටු අයිරා ඒ වෙත පා තැබුවාය. තමාට කුලියක් ලැබීමට යන බව ත්‍රීරෝද රියේ රියදුරුගේ දෑස් මත සටහන් වුණි.   


ගල් බොරලු පිරුණ වළවල් හෑරුණ මාර්ගයේ ගැස්සෙමින් පැමිණි ත්‍රීරෝද රථය එක් ස්ථානයකදී නතර කළ විට අයිරා එයින් බැස්සේ අන්දමන්ද වෙමිනි. මෙතනින් එහාට රථයෙන් යාමට තරම් මාර්ගය යහපත් නැති බැවින් ඉතිරි දුර පයින් යාමට සිදුවන බව රියදුරා කීවේය. වෙන කළ හැකි යමක් නොවූයෙන් ඔහුට මුදල් ගෙවූ ඈ ඉදිරියට ඇදුණේ ගමන් බෑගයෙන් ගත් කූඩය ඉහළා ගනිමිනි. පෙරදින වැසී වැටී ඇති බව පෙන්වමින් මාර්ගයේ වූ වළවල්වල මඩ වතුර පිරී තිබුණි. එක් මඩ වළක අයිරා ලිස්සා ගිය අතර නොවැටී බේරුණේ අනූනවයෙනි. එහෙත් ඇගේ සාරියේ යටි කොන මඩ වතුරෙන් පෙඟී ගියේය.   


මාර්ගය අසා දැන ගැනීමටත් අහල පහළක නි​ෙවසක් වූයේ නැත. පටු මාර්ගයේ එක් පැත්තක රබර් යායක් වූ අතර අනෙක් පස වූයේ ලඳු කැලෑවය. ආපසු හැරී යම්දෝ නොයම්දෝ යන දෙගිඩියාවෙන් පසුවන විට ඉදිරියෙන් වූ වංගුවෙන් මතුවන ගැහැනු රුවක් හා කුඩා දරුවන් දෙදෙනකු ඇගේ නෙත ගැටුණි.   


උඩතොල මත නැගුණ දහඩිය අත්ලේන්සුවෙන් පිසදා ගත් අයිරා ඔවුන්ට සමීප වූවාය. ගැහැනිය මැදිවියට ආසන්න වයසක වුවත් ඇය සිටි​යේ ගැබ්බරවය. ඇගේ අත අල්ලාගෙන සිටි දැරිය වයස අවුරුදු පහක පමණ වූ අතර ඉදිරියෙන් ගමන් කළ ​කොලුවා වයස අවුරුදු අටක පමණ වේ යැයි අයිරා අනුමාන කළාය. අයිරාගේ ගාම්භීර පෙනුම දෙස ගැහැනිය හෙළුවේ බයාදු බැල්මකි. කුසුමාගේ නිවස ඇත්තේ මේ ආසන්නයේම බව එම ගැහැනියගෙන් දැන ගන්නට ලැබීම අයිරාට සහනයක් විය.   
වංගුවෙන් හැරී මදක් ඉදිරියට යන විට රබර් යාය අවසන් විය. ඉන්පසු තරමක් ළං ළංව පිහිටි ගෙවල් කිහිපයක් දක්නට ලැබුණි. ගැහැණිය පැවසූ විස්තරවලට අනුව ඒ ගෙවල් අතර වූ මැටි ගඩොලින් තනා අඩක් කපරාරු කොට ගම් උළු සෙවිලි කළ කුසුමාගේ පැරණි පන්නයේ නිවස අයිරාට අඳුනාගත හැකි විය. වික්ටර් මෙවැනි තැනකට වී කුමක් කරන්නේදැයි ඇය සිතන්නට වූවාය.   


නි​ෙවස පැරණි පෙනුමෙන් යුතු වුවත් මිදුල හා වටපිටාව අලුතින් සුද්ධ පවිත්‍ර කොට ඇති බව පෙනෙන්නට තිබුණි. මිදුල ඉදිරියේ වූ ඉද්ද පැළවල මල් පිපී තිබූ අතර මිදුල පසෙකින් දැමූ මෑ කරල් පාත්තියක් සහ නිවිති, වම්බටු ආදී වගාවක්ද විය. දිගු වේලාවක් තිස්සේ ගමනේ යෙදීම නිසා මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් අයිරාට ඇතිවී තිබුණි. එහෙත් නිවස පසෙකින් තරමක් පිටුපසට වන්නට තිබූ පෙඳ පාසි කෑ බිත්තිවලින් යුතු දිරාගිය දොරක් සහිත වැසිකිළිය දුටුවිට ඇගේ එම අවශ්‍යතාවය යටපත් වී ගියේය.   
අයිරා සෙමෙන් දොර අසලට ගියාය. දොර ඇර තිබුණත් අව්වේ පැමිණීම නිසාදෝ නි​ෙවස ඇතුළත අයිරාට පෙනුණේ අඳුරුවට ය. ඇය විදුලි සීනුවක් ඇතිදැයි බැලුවාය. විදුලි සීනුවක් තබා මේ මාර්ගයේ විදුලි කණු හෝ නොවූ බව ඇයට සිහිපත් විය.   
‘‘“ගෙදර කව්ද” යයි අයිරා දෙවරක් හඬ නැගුවාය. තමාට ඇත්තේ ගැඹුරු හඬක් බව බොහෝ දෙනා නොයෙක් වර අයිරාට කියා ඇත. එහෙත් මේ අවස්ථාවේදී තමා නැගූ හඬ තමාටවත් නෑසෙන තරම් සිහින් ස්වරයෙන් යුතු විනැයි ඇයට සිතුණි.   


මද වේලාවකට පසු නිවසේ සිට කුසුමා ඉදිරියට පැමිණියේ ඇඳුමෙන් දෑත් පිස දමමිනි. තමා දුටු විට කුසුමා විස්මයෙන් ගැස්සී ගිය බව අයිරා පැහැදිලිවම දුටුවාය. සෙමෙන් අසලට පැමිණි කුසුමා ‘“‘නෝනා” යයි කීවේ බිම බලා ගනිමිනි. කුසුමා පෙරට වඩා පුෂ්ටිමත්ව ඇතැයි අයිරාට සිතුණි. එසේ පෙනෙන්නේ කුසුමා ඇඳ සිටින ගැබිණියක් අඳින ආකාරයේ ලිහිල් ඇඳුම නිසාද නැතහොත් සැබෑවටම මහත් වී ඇති නිසාදැයි අයිරාට නිශ්චිතව වැටහුණේ නැත.   
“‘‘කුසුමා කෝ වික්ටර් මහත්තයා?’’   
 එවර අයිරා තරමක් තදින් එසේ ඇසුවේ ඇගේ හුරු පුරුදු ගැඹුරු ස්වරයෙනි.   
“ඇතුළේ ඉන්නව නෝනා. මහත්තය දවල්ට කාල ටිකක් හාන්සි වුණා. එන්න නෝනා ඇතුළට ඇවිත් වාඩිවෙන්න”.   
නි​ෙවසට ඇතුළු වුණ අයිරා කුසුමා පෙන්වූ අසුනේ වාඩි වූවාය. එවිට කුසුමා නිවසේ වූ එකම කාමරය තුළට ගියාය. ඇතුළෙන් මුමුණන හඬක් ඇසුණි. සුළු වේලාවක් යද්දී නිවස තුළ වූ අඳුරට අයිරාගේ දෙනෙත් හුරුවිය. ඇය උපැස් යුවළ සාරිපොටින් පිසදා නැවත පැළඳගෙන නිවස පුරා දෙනෙත් යැව්වාය.   
සාලයකින් කාමරයකින් හා කුස්සියකින් යුතු එම කුඩා නිවස මෙතරම් පැරණිව පෙනෙන්නේ වහලට සෙවිළි කොට ඇති ගම්උළු නිසා බව අයිරාට සිතුණි. පොළොවට දැමූ සිමෙන්තිද තැනින් තැන ඉරිතලා තිබුණි. ඇය වාඩි වී සිටි පුටුවට ඉදිරියෙන් තවත් පුටු දෙකක් වූ අතර පසකින් කුඩා මේසයක් විය. ඒ මත පත්තරයක් හා පොත් දෙකක් තිබුණි. සාලයටම බඩු භාණ්ඩ වූයේ එපමණකි.   


මද වෙලාවකට පසු වික්ටර් එළියට පැමිණියේය. සරමක් ඇඳ සිටි ඔහු සිටියේ උඩුකය නිරුවත්ය. වික්ටර් එසේ සිටිනු අයිරා දැක නැත. ඔහු අයිරා ඉදිරියේ වූ පුටුවක වාඩි වූ අතර කුසුමා කාමරයේ උළුඅස්සට හේත්තු වී සිට ගත්තාය. කුසුමා බිම බලාගෙන පයේ ඇඟිලිවලින් පොළොව හාරන්නට තැත් කරමින් සිටියත් වික්ටර් සිටියේ කෙළින්ම අයිරාගේ දෙනෙත් දෙස බලාගෙනය. තමා දැකීමෙන් විස්මයට පත්වූ බවක් තැති ගැනීමක් හෝ පසුතැවීමක් ඔහු තුළ ඇති නොවූ බව අයිරාට වැටහුණි.   
‘“‘ඉතිං අයිරා මෙතන සොයාගන්න අමාරු වුණාද, මොහොකද ආවේ?’’   
වික්ටර් කතා කළේ ඔහුට හුරුපුරුදු සන්සුන් ස්වරයෙනි. එයට පිළිතුරක් නොදුන් අයිරා කුසුමා දෙස බැලුවාය.   
‘‘“මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕන”   


අයිරා කීවේ විධානයක ස්වරයෙනි. කුසුමා දෙස බැලූ වික්ටර් යළි අයිරා දෙස බලා කතා කළේය. පහත් හඬින් කතා කළත් ඔහුගේ ස්වරය නොසැලෙනසුළු විය.   
“‘‘කුසුමා මෙතන හිටියට කමක් නැහැ. අයිරා කියන්න තියෙන දෙයක් කියන්න”   
‘“‘මොකක්ද වික්ටර් මේකේ තේරුම. අපි යමු ගෙදර”   
‘‘“දැන් මේක තමයි අයිරා මගේ ගෙදර”   
‘‘“විකාර කතා කියන්න එපා. මේක මනුස්සයකුට ඉන්න පුළුවන් තැනක්ද? අඩුගානේ මේ ගෙදරට ලයිට්වත් තියෙනවද? අනික මේ හද්ද පිටිසරට වෙලා ඔයා මොනව කරන්නද?”   
‘‘“ලයිට් නැති වුණත් හද්ද පිටිසර උනත් මම මෙතන ඉන්නෙ සතුටෙන්. මේක කුසුමට එයාගෙ අම්මගෙන් ලැබිච්ච ගේ. අම්ම නැති වුණාට පස්සෙ මේක වහල දාල තිබිල තියෙන්නේ. අපි හිතන් ඉන්නෙ. මේ ගේ ටිකක් හදල ගන්න”   


“‘‘ඒ කියන්නෙ ඔයා මා එක්ක හිටියෙ සතුටෙන් නෙ​මේද?”   
එම වචන පෙළ පිටවුණේ ගැඹුරු හඬින් නොව හැඬුම්බර ස්වරයෙන් බව අයිරාට වැටහුණි. එයට පිළිතුරක් නොදුන් වික්ටර් ජනේලයෙන් පිටත බලා සිටින්නට වූයේය. ජනේලය වූයේ අයිරා වාඩිවී සිටි පුටුවට පිටුපසිනි.   


වික්ටර්ගෙන් පිළිතුරක් නොවූ තැන අයිරා නැවතත් කතාව පටන් ගත්තාය. මෙවර ඇය කතා කළේ ආයාසයෙන් කට හඬේ වූ ශෝකී ස්වරය පාලනය කර ගනිමිනි.   
‘‘“කියන්න වික්ටර් ඔයා මා එක්ක හිටියේ සතුටෙන් නෙමේද? අපි අවුරුදු පහළොවක් එකට ජීවත් වුණා. ඒක පොඩි කාලයක් නෙමේ”.   
ඒක ඇත්ත. ඒත් මම හිටියෙ කලකිරීමෙන්. ඔයත් එක්ක ඉන්න කොට මට දැනුනෙ මම අසම්පූර්ණයි වගේ. කොටින්ම කියනවා නම් ඔයා ළඟදී මට දැනුනෙ හරියට මම අවලංගු කාසියක් වගේ. ඒත් දැන් මට දැනෙනව මම ජීවත් වෙනව කියල. අයිරා දන්නවාද මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ”.   
අයිරා කුසුමා දෙස පෙරට වඩා වුවමනාවෙන් බැලුවාය. උදරය තවමත් ඉදිරියට එතරම් නෙරා නැතත් ඇය ලිහිල් ගවුමක් ඇඳ සිටින්නේ එබැවින් යයි අයිරාට සිතුණි. කුසුමාගේ කිව හැකි තරම් රූප සුන්දරත්වයක් නැත. ඇගේ හිසේ තැනින් තැන කෙස්ගස් කිහිපයක් සුදුවී ඇති අයුරුද අයිරාට පෙනුණි. මෙම ගැහැණියගේ වික්ටර් දුටු විශේෂත්වය කුමක්ද? කෙසේ වෙතත් සුන්දර මුහුණක් නැතත් ඇගේ මුහුණේ කාරුණික පෙනුමක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමට අයිරාට නොපුළුවන.   
“ඔයාට දැන් වයස අවුරුදු පනස් පහක්. අනික ඔයා දරුවෙකුට ආසාවෙන් ඉන්න බව මට මතකයක් නැහැ”.   


“වයස ප්‍රශ්නයක් නෙමෙයි. දරුවෙක් මල්ලෙක් ගැන හරි අපේ පෞද්ගලික දෙයක් ගැන හරි කතා කරන්න ඔයාට වෙලාවක්වත් ඕනකමක් වත් තිබුණද? රැස්වීම්වලටයි අරවටයි මේවටයි කිය කියා ඔයා නිතරම හිටියෙ ගෙදරින් පිට. ගෙදර ඉන්න වෙලාවටත් එක්කෝ ඔයාගේ බහුබූත යාලුවො ගෙදර පිරිල සාකච්ඡා තියනව. නැත්නම් ඔයා පොත් ලියනවා”   
“‘‘මාව හම්බවෙන්න ආවේ රටේ තොටේ වැදගත් උගත් මිනිස්සු. ඒ අය ගෙදර ඉන්න වෙලාවට මම ඔයා කොන් කරල තිබ්බෙ නැහැ. ඔයත් අපේ සාකච්ඡාවලට හවුල් කර ගත්ත”.   
‘“‘ඒක තමයි මට තිබුණා ලොකුම කරදරේ. පිට මිනිස්සු ඇවිත් ඉන්න කොට මට මග ඇරල ඉන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඒ මිනිස්සු කරන කතාබහ මට හරියට තේරෙන්නෙවත් ඒවට හවුල්වෙන්න ආසාවක් වත් මට තිබුණේ නැහැ’’   
“‘‘ඒ කියන දේවල් නොතේරෙන්න තරම් ඔයා නූගතෙක් නෙමෙයි වික්ටර්. අනික ඒ මිනිස්සු වැඩිපුරම කතාබහ කළේ මම ලියන පොත්වල අන්තර්ගත ශාස්ත්‍රීය කරුණු ගැන. ඒක ඔයාට කොච්චර සතුටුවෙන්න පුළුවන් කාරණයක්ද. මම වගේ ප්‍රසිද්ධ රාජ්‍ය සම්මාන දිනපු ලේඛිකාවකගේ හස්බන්ඩ් කියන එක ඔයාට ආඩම්බරයක් නොවේද?”   
“‘‘මම මෙහෙම කියනවට ඔයා තරහ වෙන්න එපා අයිරා. ඇත්තටම කිව්වොත් මට ඔයා ලියන පොත්වල තියෙන දේවල් කිසිම තේරුමක් නැහැ. අනික සාමාන්‍ය මිනිස්සු ඒව ගැන කරන විවේචන මට ඇහිල තියෙනව. ගොඩක් දෙනෙක් දරන්නේ මම දරන අදහසට තමයි”.   
“‘‘වික්ටර් ඔයා මාව දාල ආවේ මම පොත් ලියන නිසාද?”   


අයිරා එසේ කීවේ වේගවත් කෝප සහගත හඬිනි. දුක මෙන්ම හටගත් දැඩි කෝපය නිසා ඇගේ දෙනෙත්වල කඳුළු පිරුණි. තමාගේම සැමියා තමාගේ පොත් මෙලෙස විවේචනය කරනු ඇතැයි ඇය නොසිතුවාය.   
‘‘“නැහැ පොත් ලිව්වට කමක් නැහැ. ඒත් ඔයා ඒ එක්ක පෞද්ගලික ජීවිතේ සමබර කර ගත්තේ නැහැ. ඔයා මගේ ඕනෑ එපාකම් ගැන හොයල බැලුවෙ නැහැ. අඩුගානේ මම කන්න ආස කෑම මොනවද කියලවත් ඔයා දන්නවද?”   


“අර තට්ටු බිල්ඩිමේ කුලී ගෙව ගෙවා ඉන්න එකත් මට එපා වෙලා තිබුණේ. දොරින් එළියට බහින්නෙ කොරිඩෝවට. ඊට පස්සේ පඩිපෙළට. මිදුලට බැහැල ටිකක් ඇවිදින්න, ගහක් කොලක් වවන්න එතන පුළුවන්කමක් නැහැ. ඔයාගෙ වැඩවලට එතන හරිම පහසුයි කිය කියා හිටිය මිසක් නිස්කලංක තැනකින් පොඩියට ගෙයක් හදාගෙන ඉන්න ඔයා කැමති වුණේ නැහැ”.   
උපහාසයට අයිරාගේ මුවේ සිනාවක් ඇදුනත් එය සැනෙකින් වියැකී ගියේය. මිදුලේ සිටි කුකුළාගේ තෘප්තිමත් හඬලෑමත් කිකිළියගේ කෙකර ගෑමත් ඇසෙන්නට විය. ගෙල හරවා ජනේලයෙන් පිටත බැලූ අයිරා කල්පනා කරන්නට වූවාය.   


වික්ටර් සතුටුවන්නේ මෙවැනි සරල දේ වලින්ද? සියලු පහසුකම්වලින් සපිරි මහල් නිවාස සංකීර්ණය හැරදා මෙවන් දුෂ්කර පෙදෙසකට ඔහු පැමිණියේ වගා කිරීමට ඇති ආසාවටද? තමා ඉවුම් පිහුම් වැඩ නොකළ බව සැබෑය. එහෙත් අවශ්‍ය කෑමක් සාදවා ගැනීමට නිවසේ මෙහෙකාරියක සිටියාය.   
කලින් සිටි මෙහෙකාරියක ඉවත් කළේද ඇගේ කෑම රස නැතැයි වික්ටර් නිතර නිතර පැවසූ බැවිණි. කුසුමා සේවයට ගත්තේ එයින් පසුව වන අතර ඇය සේවයේ යෙදුණේ වසරක පමණ කාලයකි. ඇය පෙර සිටි මෙහෙකාරියට වඩා වුවමනාවෙන් හා රසවත්ව කෑම පිසින බව අයිරාටද දැනුණි. එහෙත් වික්ටර් ඇය සමග පලාඑනු ඇතැයි අයිරා සිහිනයෙන් හෝ නොසිතුවාය.   


‘‘“අච්චර හොඳ රස්සාවක් දාල ​මේ පිටිසරට ඇවිත් ඔයා ජීවත් වෙන්නෙ කොහොමද? මේ එළවළු පාත්තියක් වගාකරල ජීවත්වෙන්න පුළුවන්ද”   
‘“‘කොහොමත් මම පෙන්ෂන් යන්නයි හිටියෙ. ඒ පඩිය අපි දෙන්නට චාම් විදියට ජීවත් වෙන්න ඇති. ඕන වුණොත් මේ ළඟ ටවුන් එකෙන් මට පොඩි රස්සාවක් හොයා ගන්න පුළුවන්”   


යළිත් ඔවු’නතර නිහඬ බවක් පැතිරී ගියේය. එකිනෙකාගේ මුහුණු දෙස බලමින් කතා නොකර ගෙවී ගිය විනාඩි කිහිපය ඉතා දීර්ඝ කාලයක් සේ අයිරාට දැනුණි.   
වික්ටර් මේසය මත තිබූ පොතක් අතට ගෙන දිගහැර කියවූ කොටස සොයන්නට මෙන් පිටු පෙරළු​වේය. එය රහස් පරීක්ෂක කතාවක් බව පිටකවරයෙන් අයිරාට පෙනුණි. තමාගේ සම්භාව්‍ය කෘති විවේචනය කරන වික්ටර් කියවන්නේ මෙවැනි පොත් දැයි ඇය උපහාසයෙන් යුතුව සිතුවාය.   
‘‘“වික්ටර් දැන් රහස් පරීක්ෂක කතා කියවනවාද?”   


‘“‘මේක හරිම රසවත් කතාවක්. පොත පුරාම කුතුහලය තියෙනව. අතට ගත්තාම කියන්න හිතෙන්නේ නැහැ”.   
ඔහු ඒ කියමනෙන් පහර දෙන්නේ තමා ලියන පොත්වලට යයි ඇයට සිතුනි.   
“‘‘ඔයා එක පාරටම මාව දාල ආවා. මම ජීවත් වෙන්නේ කොහොමද?”   
‘‘“ඇයි ඔයා පොත් ලියනවනෙ”   


“‘‘ඒවයින් මට ආදායමක් ලැබෙන්නේ නැහැ”   
‘“‘එහෙම වෙන්නෙ මිනිස්සු ඒ පොත් ගන්නේ නැති නිසානේ”.   
“මිනිස්සුන්ට කියවන්න ආස හිතෙන පොත් ලියන්න. එතකොට ඔයාට හොඳ ආදායමක් ලැබෙයි. මම ඔයාට මාස්පතා වියදමට මුදලක් එවන්නම්”   
අවසන් වැකිය ඔහු කීවේ වඩාත් කාරුණික හඬිනි.   
තේ එකක් සෑදීමට බව කියමින් කුසුමා එතනින් ඉවත්ව කුස්සියට ගිය විට අයිරා හා වික්ටර් සාලයේ තනි වූහ. මුලදී තනියම කතා කිරීමට අවශ්‍ය බව කීවත් මෙවෙලෙහි තවත් කීමට යමක් අයිරාට ඉතිරි වී නොතිබුණි.   


ගමන් බෑගයත් කූඩයත් රැගෙන නැගී සිටි අයිරා කුසුමා තේ රැගෙන එනතුරුවත් නොසිට වික්ටර්ට පමණක් සමුදී නිවසින් එළියට බැස්සා ය.   
“පරිස්සමින් යන්න”   
වික්ටර් සෙමෙන් පවසන හඬ මිදුලේ මඳදුරක් යද්දී ඇයට ඇසුණි.

 

 

එම්.පී. කිත්සිරි   
කුඹුරුවත්ත, බටපොල.