2004 දෙසැම්බර් 26 දින මුළු ලොවම කම්පා කරමින් උද්ගත වූ සුනාමි (Tsunami) රළ සැඩ පහරින් ලංකාවේ නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු වෙරළ ගොඩ බිම් තීරය සුනු විසුනු වූ ආකාරය ලක් වැසි ජනතාවගේ මතකයෙන් ඈත් වී නැත. එම ව්‍යසනයෙන් මගේ දිවි ගැලවුණේ හාස්කමකින් මෙනි.
ශ්‍රී ලංකාවේ පමණක් 32000 ක් ද ඉන්දියන් සාගර වෙරළබඩ පිහිටි සුමාත්‍රා, ශ්‍රී ලංකා, තායිලන්තය බුරුමය, මැලේසියා සහ ඉන්දියානු රටවල 350,000 ට අධික සංඛ්‍යාවක් ද සුනාමියෙන් මරුමුවට පත් වූහ. යාල වනෝද්‍යානය තුළ මියගිය මිනිසුන් සංඛ්‍යාව 247 කි. ඒ දෙස් විදෙස් සංචාරකයින් ධීවරයින් සහ සංචාරකයින් ලැඟුම් ගෙන සිටි හෝටල් වල සේවකයින්ය.
සුනාමි ව්‍යසනයෙන් විනාශ වී ගිය ගාල්ල මගේ උපන් බිමයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර හතළිහක (40) මෙග් සේවා කාලයෙන් වසර 12 ක්ම සේවය කළේ යාල වනෝද්‍යානයේය. වසර 05 ක් සේවය කළේ උද්‍යාන භාරකරු හැටියටය. දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු (1968) වකවානුවේ මට ගුරුහරුකම්, වන සතුන්ගේ චර්යා රටා කිය දුන් නැසීගිය වන සත්ව අඩවි සහකාර (Range Assistant) කේ. ඩේවිඩ් මට කිසි දා අමතක නොවේ.
මා තනතුරින් ඉහළ ගියත් වනාන්තරයට කැඳවාගෙන ගොස් වසර ගණනාවක් තිස්සේ ඔහු ප්‍රගුණ කර ගත් හැකියාවන් මෙන්ම වනාන්තරයේ පා ගමනින් යන විටදී මඟ දෙපස තිබූ ගස් කොළන් පිළිබඳව කියා දුන් ආකාරය මගේ මතකයේ රැඳී පවතී. මේ ගසේ නම “කහපෙනේල”. සබන් කියල දෙයක් නොතිබූ කාලෙ මේකෙ ගෙඩි පොඩි කරලා ගත් ඉස්ම රෙදි සේදීමට සබන් වෙනුවට පාවිච්චි කළා. යනුවෙන් ඩේවිඩ් මට පවසා තිබේ.
ඩේවිඩ් ඉපිද හැදී වැඩුණේ යාල උද්‍යාන සංකීර්ණය (වපසරිය හෙක්ටයාර් 151180) තුළින් ගලා බසිනා කුඹුක්කන් ඔයට ඔබ්බෙන් පිහිටි කුමන පුරාණ ගම්මානයේය. (L.T.T.E. යුද සමයේ ඉවත් කෙරිණි.)
යාල උද්‍යානයේ මා සේවය කළ සමයේ ඉදිරියට හඹා ආ වියරු වැටුණු අලින්ට නොබියව මුහුණ දෙමින් දකුණු අත්ල දිගු කොට “ඕම් සංසාරදී දිරි සහ ඕම් අගෝරා දිරි” ආදී වශයෙන් ශබ්ද නගා අලියාට ඇසෙන සේ කෑ ගසා කියමින් මන්ත්‍ර බලයෙන් උන් මෙල්ල කොට නතර කිරීමට ඩේවිඩ් මා පුරුදු පුහුණු කළ බව කෘතවේදීව සඳහන් කරමි. (ශාස්ත්‍රය අනුව දිරි යනු ඇද වැටියන් යන්න අදහස් වෙයි. සම්පූර්ණ මන්ත්‍රය සඳහන් කිරීමෙන් වැළකී සිටිමි)
සුනාමි ව්‍යසනය සිදු වූ 2004 වකවානුවේ මා සේවය කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු හැටියා කොළඹ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේය.
එම ව්‍යසනය සිදු වී සතියකට පමණ පසු යාල වනෝද්‍යානයේදී මුණගැසුණු ඩේවිඩ් මට පැවසූ සිද්ධියක් සිහිපත් වෙයි.
ඔබතුමා දන්නවානේ මම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත්තට පස්සේ මගේ ජීප් එකෙන් යාලට දෙස් විදෙස් සංචාරකයින් ගෙනියනවා කියලා. මම අය කළේ දවසෙ වරුවෙ ගමනකට රුපියල් තුන් දාහයි. ඉතින් එදා දෙසැම්බර් 26 දා උෙද් (වසර 2004) මම සුදු මහත්තුරු හතර දෙනෙක් ගේ කණ්ඩායමක් එක්ක යාල ඇතුළෙ හයර් එකක් කරමිනුයි. හිටියේ. උද්‍යානයේ වාහන පිරිලා. දෙසැම්බර් ඉස්කෝල නිවාඩු මාෙසනෙ.
මම උද්‍යානේ මේන් රෝඩ් (Main Road ප්‍රධාන පාර) දිගේ යමින් පට්ටියවල (ජලාශයකි) මහ සීලව කළපුව විලපලා වැව පහු කර ගෙන යන කොට දෑක්තා තිත් මුවෝ රංචු කන්පෙති උඩට උස්සාගෙන එක එල්ලේම මුහුද දිහා බලාගෙන ඉන්නවා.
වෙලාව උදේ හත හමාරට (7.30) විතර ඇති (යාල වනෝද්‍යානයේ දකුණු මායිම ඉන්දියන් සාගරයයි.) මඩ වළවල් වළ ලැගලා ඉන්න කුළු මී හරක් (Wild Buffalo) එක එකා නැගිටලා කැලෑව දෙසට යනවා.
එ් කාලේ මම කියලා ඇති සර්ට වයසට ගිය අන්දරේ ලෙඩ ඇඳේ ඉන්න කොට පුතේ මට යාල වෙලේ හාල් වලින් බතුයි විලපලාවේ කන්කුන් ගෝනලබ්බේ මාළුයි උයලා කන්න ගෙනැත් දීපං කියලා කියාපු කතාව. ඊට ප්‍රතිචාර දක්වමින් මම ඔව් ඩේවිඩ් මට මතකයි අන්දරේ ජීවත් වුණේ හම්බන්තොට කොහොලන්කල කියලත් කීවා. මගේ මතකය අවදි වන්නට විය.
විලපලාව පහු කරලා තව ටිකක් ඉස්සරහට යන කොට අපි බලා සිටියදීම පිට්ටනිවල සිටි මුව රංචු (Spotted Deer) බයවෙලා වගේ කැලෑව ඇතුළට (මුහුදට විරුද්ධ දිසාවට) දුවන්න පටන් ගත්තා. ආකාසේ කුරුල්ලෝ ඇවිස්සිලා වගේ. හේතුවක් හිතාගන්න බැහැ. ඒ පාර මම ඌරණීය බුතව කළපුව මඟ ඇරලා වේපන්දෙණිය (කොටි ගල) කොහොඹගස් වල හරියට යන කොට ඕං අලි රංචුත් කැලෑවට දුවනවා. පටනංගලට හැරෙන හන්දිය කිට්ටු කරන කොට අපි යන පාර හරහා වතුර ගලනවා. (පටනංගල වනාහි සංක්‍රමණික ධීවරයින්ගේ වරායකි.) වතුර මට්ටම එන්න එන්න වැඩි වෙන කොට මට තේරුම් ගියා මුහුද ගොඩ ගලන බව. මගේ වාහනේ ඉන්න සුදු මහත්තුරු ඉංග්‍රීසියෙන් මොනවදෝ කියමින් කෑ ගසනවා. ඒ පාර මම එළියට පිට වෙලා යන්න හිතා ගෙන ජීප් එක හීන් වැව පැත්තට හැරෙව්වා. ඒ ගමන් ඔළුව එළියට දමලා අනික් හිටිය ඩ්‍රයිවර්ලාට කෑ ගැහැව්වා මුහුද ගොඩ ගලනවා එළියට පලයල්ලා කියලා මම අවුරුදු විස්සක් යාල වැඩ කොරාපු මිනිහනේ ඊට පස්සේ සිතුල් පව්ව රාජ මහා විහාරය පැත්තෙන් කතරගමට ගිහින් සුදු මහත්තුරු එයාලගේ හෝටලයට ඇරලුවා.
ඔහුගේ කතාවට සවන් දුන් මම ඊට පස්සේ “ඩේවිඩ් යාල පැත්තේ ගියේ නැද්ද?” යැයි විමසීය. ඔය කියන දවසෙ මමත් හිටියේ යාල උද්‍යානයේ තමයි. හත්වලාමෙ ඒ වගක් මම දැනං හිටියේ නැහැනේ. ඩේවිඩ් නැවතත් කතාව ඇරඹීය. මම ඊට දවස් දහයකට (10) විතර පස්සේ යාලට ගියා. යාල කිසිම ලොකු සතෙක් මැරිලා නැහැ. මුවෝ, අලි, කුළු හරක් පැනලා දිව්වනේ. කොටි වලස්සු ගැන ආරංචියක් නැහැ. මගේ හිතේ උන් දියේ ගිලිලා මැරෙන්න ඇති. මුගටි උරුලෑවෝ මීමින්නො ඉබ්බො (Tortoise) නයි පොළොංගු වගේ බිම් මට්ටමේ විසූ සතුන් ද දියේ ගිලිලා මැරෙන්න ඇති බවයි මම කල්පනා කරන්නේ.
දැවැන්ත පළු බුරුත වීර ගස් පඳුරු මුල් වලින්ම ගැලවිලා බිම ඇදවැටිලා තිබුණු බව ඔබ තුමා දකින්න ඇතිනේ. ඒ ගස් උඩ හිටිය වඳුරෝ (Grey Langur) රිළව් (Toque Monkey) දියේ ගිලෙන්න ඇති.
එම විනාශය සිදු වී වසර 13 ක් ගත වී ගොසිනි. මේ වන විට උද්‍යානයේ ස්වභාවික වෘක්ෂලතා සහ සත්ව ප්‍රජාව නැවත ප්‍රකෘති තත්ත්වයට පත්ව තිබේ.
Forest Regeneration සුනාමි සැඩ පහරින් බිම ඇදවැටුණු පලු ගස් වල වියළී ගිය කඳන් මාර්ගය දෙපස අදට ද දැකිය හැකිය.
ගැල වී ගිය ගස් පඳුරු වෙනුවට නැගී ඇති වෘක්ෂලතා ගස්වැල් උද්‍යානයට නව ජීවයක් ලබා දී ඇති සැටියකි. පෙරපරිදිම තිත් මුවන් අලි රංචු කොටි වලසුන් වඳුරන් රිළවුන් ඇතුළු බිම් මට්ටමේ සියලු සතුන් උද්‍යානය පුරා සිත් සේ සැරි සරති.
කොළඹ (ව.ජී.සං.දෙ.) කාර්යාලයේ සේවය කරමින් සිටි මා යාල උද්‍යානයට පිවිසියේ සුනාමි රළ සැඩ පහර වනෝද්‍යානයට ඇතුළු වී (පෙ.ව. 9.30) පැයකට පමණ පසු එනම් උදේ 10.30 ට පමණය. මා කෙළින්ම ගියේ පටනංගලටය. 1969 වසරේ යාල වනෝද්‍යානයේ රාජකාරි ආරම්භ කළ සමයේ සිටම මඟ දෙපස තිබූ දැවැන්ත පලු බුරුත වීර ගස් මුල් වලින් ගැලවී ඇති ආකාරය හද කම්පා කරවන සුළු විය. සුනාමි මහා රළ පහරේ සැඩපරුෂභාවය මා මුලින්ම වටහා ගත්තේ එම දර්ශනයෙන්ය. බොරලු අතුරා තිබූ මාර්ගය තෙත් බරය.
පටනංගලට මා ළඟා වන විට දෙපාර්තමේන්තු සේවකයින් සුනාමි රළ පහරින් මියගිය අයගේ සිරුරු ට්‍රැක්ටර් රථයකට පටවනවා දුටුවෙමි. ගොඩ බිමට අධික වේගයෙන් කඩා වැදුණු සැඩ පහරට හසු වූ සංචාරකයින්ගේ සිරුරු කටු පඳුරු තුළ හිර වී තිබූ ආකාරය අනුව ඒවා ඉවතට ගන්නා ලද්දේ දැඩි පරිශ්‍රමයකිනි. සමහර සිරුරු පිට කොන්දෙන් නැවී ගල් වී ඇත.
සිරුරු පටවන පිරිස අතර දකුණු ප්‍රදේශය භාර වන ජීවී සහකාර අධ්‍යක්ෂ බී.වී.ආර්. ජයරත්න ද විය. මා පටනංගලට ගියේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ සිටයි. අතර මඟ දී පානීය ජලය බෝතල් සහ බිස්කට් පැකට් මිල දී ගත්තේ පෙර සූදානමක් හැටියටය. වතුර පිපාසයෙන් සහ බඩගින්නේ වැඩ කරමින් සිටි සේවකයින්ට මා ඒවා බෙදු දුන් ආකාරය අදට ද මට සිහිපත් වෙයි.
පටනංගල සංචාරක බංගලාව සුණු විසුණු වී ගොස් ඉතිරිව ඇත්තේ අත්තිවාරම සහ සිමෙන්ති පොළොව පමණයි. සිත්පිත් නැති මහ සයුර කිසිත් සිදු නොකළාක් මෙන් වෙරළට දැවැන්ත රැලි එවමින් සිටී.
මා වනෝද්‍යානයේ භාරකරුව සිටි සමයේ පටනංගල බංගලාවේ අමුත්තන් ලැඟුම් ගෙන නොසිටි දිනවල බංගලාවට පැමිණ රාත්‍රී ආහාරය ගෙන එහි විවේකීව ගත කොට පසු දින උදයේ ආහාරයෙන් පසු කාර්යාලයට යාමට පුරුදුව සිටියෙමි. මගේ නිල රථයේ රියැදුරු සමඟ මොහොතකට විනාශ වී ගිය බංගලාව අසලට පැමිණියෙමි. අවට වනාන්තරයම බිමට පතිත වී ඇත. වන සත්තු පක්ෂියකු පෙනෙන තෙක් මානයේ නැත. ස්වභාව ධර්මය මෙතරම් කුරිරු වූයේ ඇයි මගේ මනසේ උද්ගත වූ සිතුවිල්ලයි.
සුනාමියේ දී යාල සංචාරකයින් මියගිය ප්‍රධාන ස්ථානය පටනංගලයි. මෙම ස්ථානය එදා සිටම වාහනවලින් බැස අවට සිරි නැරඹීමට සංචාරකයින් හට අවකාශ තිබූ ස්ථානයකි. දකුණු ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්ෂ ජයරත්න මා සමග පැවසුවේ “සර් පටනංගලින් සොයා ගත් මළ සිරුරු ගණන හතළිස් හතයි (47). ඉන් දොළොස් දෙනෙක් ජපන් ජාතිකයන්. දෙන්නෙක් ධීවරයින්.” සංචාරකයින් මියගිය අනිත් ස්ථානය ආමදූවයි. (Amaduwa). එයද සංක්‍රමණික ධීවරයන්ගේ වරායකි. එහි ඉදි කොට තිබූ බ්‍රවුන්ස් බීච් Browns Beach සහ යාල සෆාරි හෝටල දෙක එහි පදිංචිව සිටි දේශීය විදේශීය සංචාරකයෝ, කාර්ය මණ්ඩලය, වෙරළේ සිටි ධිවරයෝ මුහුදු බත් වූහ. එහි මියගිය ගණන 200 කි.
පටනංගල සිටි මා ආමදුවට පැමිණි විට දුටු දර්ශනයෙන් මම කම්පාවට පත් වීමි. කරත්ත වලින් පැමිණි පිරිසක් විනාශ වී ගිය හෝටලයේ සහ මියගිය සංචාරකයන්ගේ බඩු බාහිරාදිය රැගෙන යනවා දැක මම එයට විරෝධය පෑවෙමි. මොහොතකින් පැමිණියේ තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන්ය. ඔය එකතු කර ගත්තු බඩු ඔක්කොම තිබූ තැන්වලටම දාපල්ලා. විනාඩි දහයක් දෙනවා උඹලගෙ කරත්ත අරගෙන යන්න. ආයෙත් මෙතැනට ආවොත් පොලිසියට අරං යනවා. පොලිස් අණ විය. එතැන් සිට පොලිස් ආරක්ෂාව යෙදිණි.
සුනාමියේ දී මගේ දිවි ගැලවුණේ හාස්කමකින් මෙනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දකුණේ ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානය 1995 වසරේ ප්‍රකාශයට පත්වූවත් (වපසරිය හෙක්. 23500) නිල වශයෙන් සංචාරකයින් සඳහා විවෘත කිරීම යෙදී තිබුණේ දෙසැම්බර් (2004) 26 දින පෙ.ව. 10.30 ට එවකට වන ජීවී අමාත්‍ය ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙනි. වනජීවී අධ්‍යක්ෂගේ උපදෙස් පරිදි මා ඊට සහභාගී වීම සඳහා එදින හිමිදිරි පාන්දර මගේ නිල කැබ් රථයෙන් (මගේ භාර්යාවද කැටුව) කොළඹින් පිටත්ව අම්බලන්ගොඩ හික්කඩුව ගාල්ල මාතර හම්බන්තොට (එදින සුනාමි රළ පහරින් විනාශ වූ නගර වේ.)
හම්බන්තොට හරහා ලුණුගම්වෙහෙර බලා යන ගමනේ දී දික්වැල්ල පසු කර යමින් දකුණු වෙරළේ හුම්මානයට නුදුරු කුඩා වැල්ලට ගියේ ආහාරය සඳහා මාළු මිලදී ගැනීමටය. වේලාව උදේ 6.30 ට පමණ විය. කැබ් රථය වෙරළේ නතර කොට මගේ භාර්යාවට රථයේ වාඩි වී සිටින්නැයි පවසා මම රියැදුරු සමග වැල්ලට ගියෙමි. එහිදී මගේ මිත්‍රයෙක් හමු විය. ඒ දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල් මැතිතුමාගේ සහෝදරයකු වන ඩී.වී. වික්‍රමරත්න මහතාය.
මා යාල උද්‍යානයේ භාරකරුව සිටි වකවානුවේ ධීවර කර්මාන්තය සඳහා ඔහු නිතර පටනංගලට ආ ගිය අයෙකි. ඔහු මා දුටු සැණින් ඉතා සුහද ලීලාවෙන්, “හා විල්සන් මහත්මය බොහොම කාලෙකින් කොහේ යන ගමන්ද?”
“මම යනවා ලුණුගම්වෙහෙර. නෝනත් කැබ් එකේ ඉන්නවා”
“මොනවද ඕන මාළු. පරව් දෙන්නද?” “හොඳයි මොනව හරි තියෙන දෙයක් දෙන්න.” මගේ පිළිතුර විය. මගේ මිත්‍රයා දුන් මාළු බෑගය රියැදුරු අතට ගති. එතැනින් නික්ම කැබ් රථය අසලට පැමිණියා පමණි. මගේ භාර්යාව මා අමතමින් “විනාඩි පහකට පමණ කලින් මේ කැබ් රථය දෙපැත්තට පැද්දුණා විනාඩි දෙකක් විතර”.
(එහෙත් වැල්ලේ සිටි අයට එවැන්නක් නොදැනිණ.)
“ඔයා අර වැල්ලෙ ගැට ගසා තිබෙන ඔරුයි බෝට්ටුයි රැල්ලට පැද්දෙනවා දැකලා වෙන්න ඇති” විහිළුවට මෙන් මා කී විට ඇය පුන පුනා කීවේ ස්ථිරවම කැබ් රථය දෙපැත්තටම පැද්දුණු බවය. එවිට වේලාව පෙ.ව. 7.00 පමණ විය.
සත්‍ය වශයෙන්ම ඒ වනාහි සුමාත්‍රා (Sumatra) දුපත අසල සාගර පත්ල පැලී විශාල විවරයක් උද්ගත වූ අවස්ථාවයි.
මම කැබ් රථයට නැගගතිමි. “එහෙනම් ප්‍රේමසිරි අපි ඉක්මණට යමු ලුණුගම්වෙහෙරට.” (සංවර්ධනය කරන ලද උද්‍යානය විවෘත කිරීම යෙදී තිබුණේ පෙ.ව. 10.30 ටය). ඒ වන විට මා ඇතුළු ලංකාවේ බොහෝ දෙනෙකු සුනාමියක් ගැන අසා නොතිබුණි. හම්බන්තොට නගරයට ළඟා වන විට කාල වේලාව ප්‍රමාණවත් වූයෙන් නගරයේ සිට කිලෝ මීටරයක් පමණ ගිය තැන මාර්ගයේ දකුණු පසින් මුහුදු වෙරළට නුදුරින් පිහිටා තිබූ හම්බන්තොට වන ජීවී කාර්යාලයට ගොඩවූයේ දුරකථන ඇතුම් කිහිපයක් ලබා ගැනීමටය.
මා සහ භාර්යාව දුටු එහි ප්‍රධාන නිලධාරී තුෂරපාල අප වෙනුවෙන් තේ පිළියෙළ කිරීමට ඔහුගේ සේවකයින්ට උපදෙස් දුණි. ඒ අතර මගේ භාර්යාව තුෂරපාලගේ භාර්යාව සහ වයස අවුරුදු 05 ක් පමණ වූ දියණිය සමග කතා බහේ යෙදිණි.
කෙසේ වෙතත් තේ පිළියෙළ කිරීම ප්‍රමාද වූ බැවින් “තුෂරපාල තේ සූදානම් කරන්න එපා. අපි යනවා.”
“ඔයාට ස්තූතියි.” හම්බන්තොට තිස්සමහාරාම මහා මාර්ගයට පිවිසි මගේ නිල රථය නතර කළේ ලුණුගම්වෙහෙර උද්‍යාන මූලස්ථානයේය.
ඒ වන විට සුනාමි රළ පහර රට තුළට ඇතුළු වී ව්‍යසනය සිදු කොට අවසන්ය. හිමිදිරි පාන්දර මා පසු කරමින් ගිය අම්බලන්තොට හික්කඩුව ගාල්ල මාතර හම්බන්තොට නගරවලට ඇතුළු වූ සුනාමි රළ සැඩ පහරින් සිදු වූ මහා මිනිස් සංහාරය දේපළ විනාශය ගැන නැවත ලිවීම අවශ්‍ය නැතැයි සිතමි.
එදා හම්බන්තොට වන ජීවී කාර්යාලයේ දී අප වෙනුවෙන් තේ පැන් පිළියෙළ කළ තුෂරපාල සුනාමියෙන් සති දෙකකට පමණ පසු හම්බන්තොට දී මට මුණගැසිණි. මා දුටු ඔහු
“හා සර්, සර් නම් දෙවියෙක්. එදා 26 වෙනිදා තව විනාඩි තුනක් හිටියා නම් ඔබ තුමයි නෝනයි ඩ්‍රයිවර් ප්‍රේමසිරියි මුහුදු වතුරට යට වෙලා මැරෙනවා. සුනාමියෙන් මගේ නෝනා ගසාගෙන ගියා. අදටත් දන්නේ නැහැ මොනවා වුණද කියලා. දුව වතුරට ගසාගෙන ගිහින් අසල තිබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහළ උඩ හිටියේ සිහිය නැතිවයි. පහළට ගත්තම මම දැක්කා නාස් පුඩුවල වැලි හිරවෙලා. බිමට අරගෙන මම කකුල් දෙකින් උස්සලා මගේ අතින් පිටට ගහගෙන ගහගෙන ගියා. ඒ සමග වැලි හැලුනා. දුවගේ සිහියත් අාවා. මාගේ කාර්යාල ගොඩනැගිල්ල කඩාගෙන වැටුණා.”
මම තුෂරපාල ඇමතීමි. “ඔයා නෝනා වෙනුවෙන් දානයක් දුන්නද?, දුව කොහොමද?”
“හත් දවසේ දානේ දුන්නා. දුව ඉන්නේ උඩුගම අපේ අම්මලයි ගෙදර.”
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට එම දැරිය වයස අවු. 18 ක තරුණියකි. පියා නැසී ගොසිනි.
හම්බන්තොට වන ජීවී කාර්යාලයෙන් නික්ම ගිය මගේ කැබ් රථය සුනාමි සැඩ පහරට හසු නොවූයේ ඇයි.? ඒ වෙරළේ පිහිටා තිබෙන බාධකයක් හේතුවෙනි. එම මාර්ගයේ පාගමනින් හෝ රථයකින් ගමන් ගන්නා අයට මහා මාර්ගයත් මුහුදු වෙරළත් අතර පිහිටියා වූ අඩි 40 පමණ උසැති වැලි කන්දක් දිස් වෙයි. එය හම්බන්තොට නගරය පසු වූ තැන් සිට වැලිගත්ත ප්‍රදේශය හරහා බූන්දල පුරාණ ගම්මානය දක්වා පැතිර පවතී. මෙම සිද්ධියේදී මගේ දිවි ගැලවුණේ එකී වැලි කන්ද හේතුවෙන් සුනාමි සැඩ පහර ගොඩ බිමට ගලා යාම වැළකී ගිය බැවිනි.
මරු දැක දැක ලුණුගම්වෙහෙර ගිය මට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට නොහැකි වූ තැන විපරම් කිරීමේදී සුනාමි ව්‍යසනය ගැන දැන ගතිමි. 2004 දෙසැම්බර් 26 දා පැමිණි මහා සුනාමි රළ පහරින් ශ්‍රී ලංකාවේ මිනිස්සු 32000 ක් මියගියහ. මා එම ගොඩට නොවැටුණේ ඇයි දැයි වරෙක මට කල්පනා වෙයි.
සුනාමිය.......
වරහෙනැගෙන රළ හෙවත් ජපන් භාෂාවෙන් සුනාමි (Tsunami) ලෙස හැඳින්වෙන ඒ බිහිසුණු අත්දැකීමට ලාංකික අප මුහුණ දී දැනට වසර දහතුනකි. භූමි කම්පා මහා කඳු කඩා වැටීම ගිනිකඳු පිපිරීම් වැනි හේතු නිසා ඇති වන අධික කම්පනයත් සමග සාගර ජලය ඉහළට එසවී විශාල තරංගයක් පැන නගී. එය සුනාමිය ලෙස හැඳින්වේ.
වසර දහතුනකට පෙර අපට සහ අවට රටවලට බල පෑ ඒ සුනාමි තත්ත්වය මෙවරද ඇතිවිය හැකි බවට රාවයක් පවතී. දහ තුන ඉලක්කම ද නපුරුය. ඒත් එවැනි විපතක් ඇති නොවේවායි අප සැවොම ප්‍රාර්ථනා කළ යුතුය.
2004 දෙසැම්බර් මස 26 දින ඉන්දීය සාගරයේ දකුණු සුමාත්‍රා දූපත් බටහිර වෙරළේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 6.58 ට රික්ටර් මාපක 9 ක් ලෙස ඇති වූ සුනාමිය හේතුවෙන් රටවල් එකොළහක පුද්ගලයෝ දෙලක්ෂ අසූ එක් දහස් නවසිය අනූ අටක් (281998) ජීවිතක්ෂයට පත් වූහ.
එම වාර්තාවලට අනුව ඉන්දුනීසියාවේ ජීවිත 228439 ක්, ලංකාවේ 31229 ක්, ඉන්දියාවේ 16413 ක්, මාලදිවයිනේ 82 ක්, මලයාසියාවේ 68 ක්, මියන්මාරයේ 61 ක්, ටැන්සානියාවේ 10 ක්, කෙන්යාවේ 7 ක්, බංගලිදේශයේ එක් අයෙක්, නවසිලන්තයේ 5390 ක් සහ සෝමාලියාවේ 298 ක් වශයෙන් ජීවිත හානි වාර්තා විය.
2004 දෙසැම්බර් මස 26 වැනිදා පෙ.ව. 8.27 අම්පාර හා කල්මුණේට පෙ.ව. 8.30 ට මඩකළපුවට පෙ.ව. 8.40 ට යාලට පෙ.ව. 8.55 ට මුලතිව් පෙ.ව. 9.00 ට ගාල්ල මාතර හම්බන්තොට සහ පෙ.ව. 9.15 ට කොළඹට බල පෑ සුනාමි උවදුර හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහ තුනක ජනතාව පීඩාවට පත් වූහ.
ජගත් කලන්සූරිය
බණ්ඩාරවෙල.
අතීතයේ ශ්‍රී ලංකාවට බල පෑ සුනාමි රළ කිහිපයක්
සමුද්‍ර වාණිජ ජාතකයේ දැක්වෙන සුනාමිය.
බෞද්ධයින්ගේ ජාතක කතාවක් වන සමුද්‍ර වාණිජ ජාතකයේ සුනාමියක් ගැන සඳහන් වෙයි. හැම ජාතක කතාවකින්ම බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයකදී බෝසත් වරයකු වශයෙන් ක්‍රියා කළ අයුරු පිළිබිඹු වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිනා කල්හි දේවදත්ත තෙරණුවන්ට දේශනා කළ ජාතකය මෙසේය.
ජම්බුද්වීපයේ (ඉන්දියාවේ) බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු වාසය කරන කල්හි යහපත් මිනිසකු වාසය කළේය. පොහොසත් අයකු වන ඔහු අසල්වැසියන් ආධාර ඉල්ලා සිටි විට තම වස්තුවෙන් ආධාර උපකාර කළේය. ආධාර ඉල්ලන අය සීඝ්‍රයෙන් වැඩි විය. බැරිම තැන ඔහු බෝට්ටුවකට නැගී බරණැස් නුවරින් ඉවත්ව යන කල්හි දූපතකට ගසා ගෙන ගියේය. එහි ඔහුට අවශ්‍ය ආහාර පලතුරු තිබූ බැවින් ඊට ගොඩ බැස සතුටින් කල් ගෙවීය. ටික කලකින් වඩුවන් දහසක් ඔවුන්ගේ දරු පවුල් සමග නැවකින් පැමිණ දූපතට ගොඩ වූහ. දුපතේ සිටි යහපත් මිනිසා ඔවුනට පැවසුවේ එම දූපත දෙවියන් පිනවන එකක් බැවින් අපවිත්‍ර නොකළ යුතු බවයි.
ඊට කන් නොදුන් වඩුවෝ දූපත අපවිත්‍ර කළහ. එහි විසූ දේවතාවෝ ඉන් උරණ වූහ. එක් නපුරු දේවතාවකුට බාරයක් වූහ. භූමිය අපවිත්‍ර කිරීම මිනිසුන් නතර නොකරන්නේ නම් මුහුදින් විශාල රැල්ලක් පැමිණ ඔවුන් ගිල ගත යුතු බවය. අනිකුත් යහපත් දෙවි දේවතාවෝ මෙය දැනී භූමියේ සිටි අයට අනතුරු ඇඟවීමක් කළහ. එය විශ්වාස කළ පිරිස වහා බෝට්ටුවක නැඟ ඉවත් වී පණ බේරා ගත්හ. භූමියට කෑදරකමක් දැක් වූ පිරිස අනතුරු ඇඟවීම විශ්වාස නොකළ බැවින් රැඳී සිටියහ. ඉක්බිතිව පුන් පොහෝ දිනක මහ මුහුද ගොඩ ගැලීය. ඉවත්ව නොගිය පිරිස ඔවුන්ගේ නිවාස වස්තුව ඉඩම් ද විනාශයට පත් විය. එකල ඉන්දියාව සහ ලංකාව එකම ගොඩ බිමකි. කතාවේ විස්තර කෙරුණු මනරම් පලබර දිවයින ශ්‍රි ලංකාව බව බෞද්ධයෝ විශ්වාස කරති. යහපත් දේවතාවා වූයේ ඉහත ආත්මයක බෝධි සත්ත්ව වූ බුදුරජාණන් වහන්සේමය. නපුරු දේවතාවා වූයේ කෝකාලික තෙරුණුවෝය.
ක්‍රි.පු. 6 වැනි සියවස දී වයඹ දිග වෙරළට ගැසූ සුනාමි රළ
ලංකාව දෙසට පැමිණ පළමු වැනි සුනාමි රළ විජය කුමරු ලංකාවට පැමිණීමට පෙර සිදු වූවකි. ක්‍රි.පූ. 6 වැනි සියවස වයඹ දිග ප්‍රදේශයේ පවතින පුරාවෘත්තයක් අනුව පැරණි කාලයක දී අල්ලරසාමි නම් වූ බිසවක් විසින් එහි වෙරළබඩ ප්‍රදේශයේ පැවති රාජධානියක් පාලනය කළ බව දැක් වේ. ඇය බෝට්ටුවකින් රාජධානියේ වෙරළ දිගේ යාමට පුරුදුව සිටියාය. ඇගේ මාලිගය තිබුණේ විල්පත්තු කුදරමලේට ආසන්නවය. පසු දවසක දී සාගරයේ සිට පැමිණි යෝධ රැල්ලකින් ඇඟේ මාළිගය වළලා දමා ජනතාව ද මරුමුවට පත් කෙරිණ.
ක්‍රි.පූ. 130 කැලණියට ගැසූ සුනාමි රළ
මහා වංශයේ 23 වැනි පරිච්ඡේදයේ සුනාමිය කුමක් දැයි සඳහනක් ඇතුළත්ය. ක්‍රි.පූ. 3 වැනි සියවසේ ගිනිකොණ දිග ප්‍රෙද්ශයේ රුහුණු ජාතික උද්‍යානය ආවරණය වන ප්‍රෙද්ශයේ කුඩා රාජධානියක් වූ කැලණිය පාලනය කරන ලද්දේ කැලණිතිස්ස නම් රජකු විසිනි.
ඔහුගේ සොහොයුරා උත්තීය රජුගේ බිසව සමග ඇති කර ගත් නොමනා ප්‍රේම සම්බන්ධතාව මත ඔහු භික්ෂු වේසයෙන් රහත් භික්ෂූන් පිටුපසින් රජ මාලිගයට පැමිණ රජ බිසවගේ අතට පෙම් හසුනක් බාර දුණි. එය දුටු රජතුමා උත්තිය මරා දමා කිසිත් නොදැන සිටි රහත් භික්ෂුව උණු කළ තෙල් කටාරමක ගිල්වා මරා දැමීය.
මෙයින් කම්පාවට පත් මුහුදට අරක් ගත් දේවතාවෝ භූමිය දෙසට දැවැන්ත රළ පහර එවූහ. රජතුමා කළ වරද නිවැරදි කර ගන්නා ලෙසට රට වැසියන් බල කළෝය. ඉක්බිතිව දෛවඥ උපදෙස් ප්‍රකාරව රජතුමාගේ වයස අවු. 15 ක තරුණ දියණිය රන් ඔරුවක බහා මුහුදේ පා කොට හැරීය.
ගොඩ ගැලූ මුහුදු ජලය බැස ගියේය. රළ පහර ද නතර විණි. දකුණේ කිරින්දට පාවී ගිය ඔරුවේ සිටි රජ කුමරිය මාගම (තිස්සමහාරාම) රජ කළ කාවන්තිස්ස රජු විසින් සරණ පාවා ගැනිණ. ඇය විහාර මහා දේවිය හැටියට නම් කෙරිණි.
2004 සුනාමිය වූ කලී මෙතෙක් වාර්තා කර ඇති ඉතාම විශාල වූ ද විනාශකාරී වූද සුනාමිය වන අතර ඓතිහාසික යුගයේ හට ගත් ඉතාම දරුණු වූ ස්වාභාවික ව්‍යසනය විය.
මිනිසාගේ අයහපත් ක්‍රියාවලට දෙවියන් කෝපයට පත් වී දෙන දඬුවමක් හැටියට සුනාමි ව්‍යසනය සැලකීම වරදක් නැතැයි වරෙක මට සිතේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යාල වනෝද්‍යානයට ආ සුනාමි විපතින් දිවි ගලවා ගතිමි