IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කුලභේද , ජාතිභේද ගැන තැකීමක් නැහැ - නිම්මි මනෝහාරී


ඇත්තටම මම හිතනවා දක්ෂ රංගන ශිල්පිනියක් වීමට නම් විවිධ චරිත රඟපාන්න ඕනෑ කියලා මම මේ දවස්වල ඒ අභියෝගයට මුහුණ දෙන්න  උත්සාහ කරමින් ඉන්නවා. ඒත් සමහර තැන්වලදී වරදිනවා. තවත් සමහර තැන්වලදි හරි යනවා.


නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පැමිණි ඇය දැන් පිරිමි ළමයි හි මැණිකා ලෙසින් රංගනයේ වෙනස් ආරක් ස්පර්ශ කරමින් සිටියි.සීමිත චරිත කිහිපයකින් ප්‍රේක්ෂකයා අතරට පැමිණ තිබුණ ද ඇය ඒ හැම චරිතයක්ම මතකයේ රැඳෙන චරිතයක් කර අවසන්. මෙවර සඳැල්ලෙන් අපිට හමුවන මේ කලා තරුව නිම්මි මනෝහාරී යි. මේ ඈ සමග කළ සොඳුරු කතාබහයි..

  • නිම්මි කොහොමද මේ දිනවල කලා කටයුතු?

මේ දිනවල නම් වැඩිපුරම නිරතවෙලා ඉන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි. ඊට අමතරව සමීර හසුන්ගේ තවත් අලුත් වැඩක රූගත කිරීම් පටන් ගත්තා. ටික කාලයකින් ඒකෙ විකාශන කටයුතු බලාපොරොත්තු වෙන්න පුළුවන්.

  • ඔබ දැන් තරමක වෙනස් වෙනස් චරිතවලින් දැකගන්න ලැබෙනවා නේද?

ඇත්තටම මම හිතනවා දක්ෂ රංගන ශිල්පිනියක් වීමට නම් විවිධ චරිත රඟපාන්න ඕන කියලා මම මේ දවස්වල ඒ අභියෝගයට මුහුණ දෙන්න  උත්සහ කරමින් ඉන්නවා. ඒත් සමහර තැන්වලදී වරදිනවා. තවත් සමහර තැන්වලදි හරි යනවා. කොහොම වුණත් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.

  • පිරිමි ළමයි ටෙලි නිර්මාණයේ ඔබේ චරිතය ගැන කතා කරමු?

පිරිමි ළමයි ටෙලි නාට්‍යය ශිවගුරුනාදන් මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. සද්ධාමංගල සූරිය බණ්ඩාර මහත්මයාගේ තිර රචනයක්. IMPAS ආයතනයේ නිෂ්පාදනයක්. මෙතනදි මගේ චරිතය දේවාල‍යේ බෙර වාදකයාගේ බිරිඳ කියන චරිතය. ඒ චරිතය නමින් මැණිකා. මාත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මට වඩා වයසින් මුහුකුරා ගියපු ග්‍රාමීය හුරුවක් සහිත ගැහැණියකගේ චරිතයක් තමයි  මෙතනදි ලැබිලා තියෙන්නේ. 

  • ඒ වගේ වයසින් වැඩි චරිතයකට පණ පොවන එක ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

මුලදි මට මේ චරිතය ලොකු අභියෝගයක් වුණා. ඇත්තටම මේ චරිතය මට ලැබෙන්නෙ අහම්බයකින්. ඒ චරිතය සඳහා නිර්දේශ වෙලා හිටියේ නවක රංගන ශිල්පිනියක්. නමුත් ඇය මේ ටෙලි නිර්මාණයේ තිබුණු එක දර්ශනයකට අකමැති වීම නිසා නාට්‍යය මගදී දාල යනවා. ඊට පස්සේ තමයි IMPAS ආයතනයෙන් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගෙන් මට ඒ චරිතයට ආරාධනාව ලැබුණේ. ඉතින් මම ඒ ආරාධනාව භාරගත්තා. නමුත් මුලදී පොඩි පොඩි අපහසුතාවන්ට පත් වුණා. කෙසේ හෝ නාට්‍යය ඉදිරියට කරගෙන යනකොට සද්ධා මංගල සූරිය බණ්ඩාර සර් ගේ සහ ඔහුගේ බිරිඳ ගේ මඟ පෙන්වීම් යටතේ මට ඒ අඩුපාඩු හදාගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ ගුරුහරුකම් ඔස්සේ තමයි මේ චරිතය ගොඩනගා ගත්තේ.

  • මේ වගේ චරිතයක් භාරගැනීම ඔබේ ඉදිරි රංගන කටයුතුවලට ගැටලුවක් වෙයි කියලා හිතුණේ නැද්ද?

හිතුණා. නමුත් මම මේ ක්ෂේත්‍රයට එන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේම නිර්මාණයකින්. මම හිතපු දේ තමයි ඕනැම චරිතයක් භාර ගනිද්දී ඒකට අනිවාර්යයෙන්ම අභියෝගයක් තියෙනවා කියන දේ. එහෙම හිතලා මේ චරිතය භාරගත්තා. ඉතින් මට මෙහෙම චරිත ඉදිරියටත් ආවොත් ඒවා භාරගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම මා සතු කාර්යභාරයක්. එතනදිත් මට යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුනොත් මම ඒවා බාර ගනිවී. නමුත් එහෙම නැතිනම් මම ඒවා ප්‍රතික්ෂේප කරාවී. 

  • මේ නිර්මාණය ඇතුළේ කුල භේදය කියන කාරණාව දකින්න ලැබෙනවා. නුවර කෙනෙක් විදිහට ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

මගෙන් ඔය ප්‍රශ්නය නිතරම අහන දෙයක්. නුවර කියනකොට මැණිකෙලා නේද?නිලමෙලා නේද කියලා අහනවා. ඇත්තටම මගේ හිතකවත් එහෙම අදහසක් නැහැ. ඇත්තටම කුලභේදය ජාතිභේදය වගේ දේවල් ගැන මට තැකීමක් නැහැ. මට මතකයි ඉස්සර උසස් පෙළ පන්තිවල දී සන්නස්ගල සර් නිතරම කියන දෙයක් තමයි ජාති ආගම් කුල භේද කියල කිසිම දෙයක් නැහැ. මේ මුළු පන්තියම සමානයි කියන දේ. ඒ ආභාෂය නිසාද දන්නෙ නැහැ මට එහෙම විශේෂයක් දැනෙන්නෙ නැත්තෙ. ඇත්තටම මම කුල මොනවද කියන්නවත් දන්නේ නැහැ. මටනම් වටින්නේ මනුස්සකම විතරයි.

  • නිම්මිට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැනත් කියමු?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන වියළි ටෙලි නාට්‍යයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතුවේ නැහැ වියළි වගේ ටෙලි නාට්‍යයක් ජනගත වෙයි කියලා. ඒක කොටස් සීමිත සංඛ්‍යාවක සම්භාව්‍ය ගණයේ ටෙලි වෘතාන්තයක්. ඒ වගේ කලාත්මක නිර්මාණ ජනතාව මේ තරම් ඉහළින් භාරගනී ගනියි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් වියළි ටෙලිනාට්‍යයේ නයෝමි ගේ චරිතයට මට ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඒ වගේම තමයි පිරිමි ළමයි ටෙලි නාට්‍යයත්. මේක ගැමි සමාජයත් එක්ක ගොඩක් සමීප ඇසුරක් තියෙන නිසාදෝ මේ නිර්මාණයත් මගේ ප්‍රේක්ෂකයෝ හරිම ආදරයෙන් භාරගෙන තියෙනවා. මම පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් සීමිත ටෙලි නාට්‍ය සංඛ්‍යාව වැඩකරත් ඒ සීමිත ටෙලි නාට්‍ය සංඛ්‍යාව හරි ආදරයෙන් ජනතාව භාරගෙන තියෙන එක ගැන මට හරිම සතුටුයි.

  • ඔබ රංගනය ගැන හදාරා තිබෙනවද?

මම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් තමයි ක්ෂේත්‍රයට එන්නේ. එතනදී තමයි මම තේරුම් ගන්නේ මේ කලාවත් අනිවාර්යයෙන්  කෙනෙක් හැදෑරිය යුතු විෂය ක්ෂේත්‍රයක් කියන දේ. අපි වෙන ඕනැම වෘත්තියක් සඳහාත් කුසලතාවන්, දැනුම, ඇති කරගන්න ඒ වෙනුවෙන් අධ්‍යාපනය ලබනවා නේ. ඉතින්  මෙතැනදිත් ඒක පොදුයි. ඒ අනුව මම සද්ධාමංගල සුරිය බණ්ඩාර මහත්මයාගේ IMPAS ආයතනයෙන් රංගනය පිළිබඳ මූලික හැදෑරීම්වලට යොමු වුණා. ඉන් පසුව මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේත් රංගනය පිළිබඳ හැදෑරීමක් සිද්ධ කළා. දැන් ආශ්‍රය කරන සමාජයත් එක්ක, කලා වැඩකටයුතුත් කරන ගමන් ස්වයං අධ්‍යයනයෙන් සහ සතතාභ්‍යාසයෙන් ඒ දේවල් ඉදිරියටත් අධ්‍යයනය කරනවා.

  • 2025 වර්ෂයේ කලාවේ අලුත් වැඩ කටයුතු මොනවාද?

අලුත් අවුරුද්දෙත් ටෙලි නාට්‍ය කිහිපයක්ම සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ කටයුතු සිද්ධ වෙනවා. ඒවා ස්ථිර වශයෙන්ම සිද්ධ වෙයිද නැද්ද කියලා හරියටම දන්නේ නැහැ. නමුත් ආරාධනා ලැබිලා තියෙනවා. නිෂ්පාදන කටයුතු ආරම්භ කළොත් ඒවට දායක වෙනවා. ඒ වගේම වියළි වගේ නාට්‍ය කිහිපයක්ම තියෙනවා තාම විකාශය වෙලා නැති. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒවට නියමිත වටිනාකමක් ලැබිලා, නාළිකාවලින් ඒ දේවල් බලන්න අවස්ථාව ලැබේවි කියලා. මොකද ඒ නිර්මාණ ඔස්සේ නිම්මි කියන කෙනා වෙනස් වෙනස් විදිහට ප්‍රේක්ෂකයාට දකින්න පුළුවන් වෙයි. 

  • ඔබ හා ජනප්‍රිය ගායන තරුවක් සම්බන්ධ ආදර කතාවක් ගැන කට කතාවක් තියෙනවා. ඒක ඇත්තක් ද?

මගෙන් නිතරම වගේ ඒ ගැන අහනවා බොහෝ දෙනෙක්. ඇත්තටම ඒ කියන පුද්ගලයා සහ මම අතර තියෙන්නෙ මිත්‍රත්වයක් විතරයි. ඔහුට අදාළ පෙම්වතියක් ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ කලා කටයුතුවලට යෙහෙළියක් වශයෙන් මම මට පුළුවන් උපකාරයන් කරනවා. ඔහුත් මට ඒ විදිහට උදව් කරනවා. ඒක කතාවක් විතරයි.  

  • ඒ කියන්නේ නිම්මි දැන් ආදරවන්තියක් නෙවෙයි?

ඔව් දැනට මම ආදරවන්තියක් නෙමෙයි.

  • රිදී තිරයේ වැඩ කටයුතු කොහොම ද?

රිදී තිරයේ සුළු සුළු චරිත කිහිපයක් කරලා තියෙනවා. ඒ නිර්මාණත් ඉදිරියේදී එළි දක්වයි. ඒ නිර්මාණ ඇතුළේ හරිම පොඩි ස්ක්‍රීන් ටයිම් එකක තමයි මම ඉන්නේ. නමුත් ඒ පොඩි වෙලාවෙදිත් මම මට කරන්න පුළුවන් උපරිමය කරල තියෙනවා.

  • ඔබ දැන් වෘත්තීමය රංගන ශිල්පිනියක් ද?

දැනට වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක්

  • මේ වෘත්තිය ගැන තෘප්තිමත් ද?

මම මුලින් වැඩකළේ සංචාරක ක්ෂේත්‍රයේ. කොවිඩ් නිසා ඒ කටයුතු අඩපණ වීමත් එක්ක තමයි මට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. එතනදි අම්මගේ බල කිරීම මත තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. මම ඒ දවස්වල ඉඳන්ම මේකට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මම මගේ නිදහසට ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. සංචාරක ක්ෂේත්‍රයේ වැඩ කරද්දීත් විවිධ රූප රචනාවලට, නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණත් මම ඒවට සම්බන්ධ නොවුණේ මගේ නිදහස නැතිවෙයි කියලා හිතපු නිසා. නමුත් මෙතැනට ආවට පස්සේ මට ගොඩාක් ලොකු ආදරයක් හමුවුණා. මම දැන් ඒ ආදරේට හරිම ලෝබයි සහ ඒ ආදරේට ඇලුම් කරනවා. මට දැන් ඒ ආදරේ නැතුව බැහැ. ඉතින් මම හිතනවා මට මේක පෙර වාසනාවකට ලැබුණ දෙයක් කියලා. 

  • කලා ක්ෂේත්‍රයේ ඉදිරිගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම කලින් කිව්වා වගේම අම්මගේ බල කිරීමට තමයි මම ක්ෂේත්‍රයට පා තබන්නේ. ඉතින් මගේ පවුලේ අම්මා තාත්තා මල්ලි මේ හැමෝගෙන්මත් මගේ නෑදෑයෙන්ගෙනුත්, මිතුරන්ගෙන් කලා කටයුතුවලට හොඳ සහයෝගයක් ලැබෙනවා.

  • බොහෝ තරුණ කලාකරුවන් දැන් ව්‍යාපාරිකයන්. නිම්මිට ඒ වගේ බලාපොරොත්තු නැද්ද?

ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. හැබැයි තවම මට ඒකට අවශ්‍ය තරම් ප්‍රාග්ධනයක් නැහැ. ඉස්සරහට ප්‍රාග්ධනය එකතු කරගන්න පුළුවන් වුණොත් මමත් කැමතියි සුළු වශයෙන් හෝ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. 


දුලක්ෂි ලියනගේ.


 



අදහස් (0)

කුලභේද , ජාතිභේද ගැන තැකීමක් නැහැ - නිම්මි මනෝහාරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site